5. සෝවාන් වූ පසු - දස සංයෝජන ධර්ම ප්‍රහාණය

 


5. සෝවාන් වූ පසු - දස සංයෝජන දර්ම  









01) සත්කාය දිට්ඨිය 


ප්‍රධාන ලිපිය කියවා (හෝ වෙනත් අයුරකින්) සෝවාන් වන ධර්මය ඔබට මනා ලෙස අවබෝධ වූවා නම් සත්කාය දිට්ඨිය ඔබට දැන් නැත. එහිදී ඔබ විසින් පංච ස්කන්ධය තුල මමය, මගේය ලෙස ගත හැකි නිත්‍ය වූ ආත්මයක් නොපවතී යන්න අවබෝධ කරගන්නට ඇත. මේ පංච ස්කන්ධය පිළිබඳව නිවැරදි දෘෂ්ටියට පත්වීම තුලින් සත්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමයි.

ඒ අනුව සත්කාය දිට්ඨිය පිළිබඳව විස්තරය පහත පරිදි යලිත් සවිස්තරව ප්‍රකාශ කල හැකිය. 
  
තමාගේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යන තමාගේ පංච ස්කන්ධය සමග බද්ධ වී පවතින ආත්මයක් පවතී යන ආත්මානු දිට්ඨිය සත්කාය දිට්ඨිය ලෙස හැඳින්වේ.

සත්කාය දිට්ඨිය යන්නද මිත්‍යා දෘෂ්ටියක් වුවද දැඩි මිත්‍යා දෘෂ්ටි ඝණයට අයත් නොවේ. එනම් ලෝකය පිළිබඳව හොඳ අවබෝධයක් පවතින බුද්ධිමත් මිනිසුන්, දෙවියන් වැනි සත්වයනට පවා සත්කාය දිට්ඨිය පවතී. ඒ අනුව සියලු ලෝකවාසී සත්වයින්ගෙන් මගපල ලාභීන් හැර සෙසු සියල්ලන්ටම සත්කාය දිට්ඨිය පවතී.   

බුදු, පසේ බුදු (ප්‍රත්‍යක බුද්ධ), රහතන් ඇතුලු සියලුම මාර්ග ඵල ලාභීන් හට සත්කාය දිට්ඨිය නොමැත. ඊට හේතුව ඒ සියල්ලන් හට සම්මා දිට්ඨිය පැවතීමයි.

මෙම ආත්මීය දිට්ඨිය, එනම් සත්කාය දිට්ඨිය ආකාර 2කින් විවිධ පුද්ගලයෝ තුල විවිධ ලෙස පවතී. ඔබද මේ අතරින් එක් අයෙක් යැයි හැඟුන හොත් බිය හෝ දුක් නොවන්න. ඔබ ඔබට අවංක වීමම ඔබව සෝවාන් ඵලය කරා තල්ලු කරනවා නොඅනුමානය.

  1. ශාශ්වත දිට්ඨිය 
  2. උච්ඡේද දිට්ඨිය 


1. ශාශ්වත දිට්ඨිය 


මේ පුද්ගලයින් තමාගේ ආත්මය යන්න මරණයේදී හෝ විනාශයට පත් නොවන සංසාරය පුරා ගමන් කරන නිත්‍ය වූ සාරවත් දෙයක් ලෙසට පිළිගනී. ඔවුන් සිතන්නේ යමෙක් ලී උලකින් ඇන තමාව ඝාතනය කලද තමන් සැබැවින්ම මරණයට පත් නොවන බවයි. එනම් එකී ශරීරය තුලට ලී උල බැස ශරීරය පමණක් විනාශ වන බවයි. ඒ අනුව "මම" යන්න නිත්‍ය වූ විනාශ කල නොහැකි ආත්මයක් ලෙසට ඔවුන් විශ්වාස කරති. මෙහිදී තමා ආත්මයක් ලෙසට විශ්වාස කරන ඔවුන්, ආත්මය යන්න විනාශයට පත් නොවන සාරවත් වූ දෙයක් ලෙසට විශ්වාස කරති. එබැවින් මෙයට ශාශ්වත දිට්ඨිය යැයි කියනු ලැබේ.

ශාශ්වත දිට්ඨිය තුල පහත දිට්ඨීන් 3 පවතී. 

(i) ආත්මය රූපවත් කොට ගැනීම සිදු කරයි    

මොවුන් සිතන්නේ නිත්‍ය වූ ආත්මයට විවිධ රූපයන් විවිධ කලට පවතින බවයි. ඒ අනුව මරණයේදී ආත්මය විනාශ නොවී එම අවස්ථාව වන විට ආත්මයට අයත් රූපය පමණක් විනාශ වනු ඇතැයි මොවුන්ගේ දිට්ඨියයි.  

උදාහරණ ලෙස යම් ඇඳුමක් හැඳ සිටින මිනිසෙකු එම ඇඳුම ඉරී ගිය පසු වෙනත් ඇඳුමක් මාරු කරන්නේ යම් සේද, එසේ ආත්මයද රූප ස්කන්ධය තුල විවිධ රූපයෝ කාලෙන් කාලෙට මාරු කරන්නේය.




ඉහත රූප මගින් දැක්වෙන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතයේ රූපය කාලය සමග වෙනස් වී ගිය ආකාරයයි. ඉහත දෘෂ්ඨියට අනුව එම පුද්ගලයාගේ ආත්මය කාලය සමග වෙනස් වීමට ලක්වන ඒ ඒ රූපය අත්කර ගැනීම සිදු කරයි.  

(ii) ආත්මයෙහි රූපය ඇතැයි ගැනීම සිදු කරයි 

මේ පුද්ගලයින් සිතන්නේ නිත්‍ය වූ ආත්මය තුල අනිත්‍ය ස්වභාව ඇති රූපය පවතින බවය. ඒ අනුව ආත්මය එක් දෙයක් ලෙසත්, "රූපය" යන්න ආත්මය තුල පවතින්නා වූ වෙනත් දෙයක් ලෙසත් සිතනු ලබයි. එබැවින් මරණයේදී රූපය විනාශ වුවද, ආත්මය වෙනත් දෙයක් බැවින් එය විනාශයට පත් නොවන බව ඔවුන් සිතයි.

උදාහරණ ලෙස ගමක් තුල පවතින එක ගෙයක් ගින්නෙන් විනාශ වී ගියද එමගින් මුලු ගමම විනාශයට පත් නොවන්නෙ යම් සේද, එසේ ආත්මය තුල පවතින රූපය වැනසී ගියද ඉන් ආත්මයට හානියක් නොවී පවතී.     

(iii) රූපයෙහි ආත්මය ඇතැයි ගැනීම සිදු කරයි 

මේ ආකාර පුද්ගලයින් සිතන්නෙ රූපය යනු අනිත්‍ය ස්වභාව ඇති එක් දෙයක් බවත් ආත්මය යනු එකී රූපය තුල පවතින නිත්‍ය වූ වෙනත් දෙයක් බවත්ය. එබැවින් මරණයේදී රූපය විනාශ වුවද, ඒ සමගම ආත්මය රූපය තුලින් නික්ම ගොස් වෙනත් රූපයක් තුලට ගමන් කර විනාශ නොවී පවතින බවත් ඔවුන් සිතනු ලබයි. 

උදාහරණ ලෙස යම් ගමක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියද එම ගම තුල සිටින මිනිසෙකුට ගින්නට පෙර එම ගමින් පිටව ගොස් වෙනත් ගමකට පැමිණ දිවි බේරා ගත හැකිවන්නේ යම්සේද, විනාශයට පත්වන රූපයෙහි ආත්මය පවතී ලෙසට ඔවුන් සිතනු ලබයි. 



මෙලෙස රූපයට පමණක් නොවේ. සියලුම ස්කන්ධ 5 ම ඉහත 3න් ආකාරයෙන් ආත්මය සමග පවතී ලෙසට දෘෂ්ටීන් 15ක් ( 5 x 3 ) ලෙසට ශාශ්වත දිට්ඨිය විවිධ ලෙස සත්වයා තුල පවතී.      


2. උච්ඡේද දිට්ඨිය 


මේ පුද්ගලයන් තමාගේ ආත්මය යන්න මරණයේදී නියත වශයෙන්ම විනාශ වී අවසන් වන දෙයක්ය ලෙසට විශ්වාස කරනු ලබයි. ඒ අනුව මරණයේදී පංච ස්කන්ධය විනාශ වන බැවින් ඒ සමගම තම ආත්මයද විනාශ වී යයි ලෙසට සිතයි. එබැවින් මේ ජීවිතයෙන් මතු තවත් ජීවිතයක් තමාට නොවේ යැයි ලෙසට ඔවුන් තර්ක කරනු ලබයි. එලෙසම මින් පෙරද වෙනත් භවයක් තමාට නොවූ බවද ඔවුන් තර්ක කරනු ලබයි. ඒ අනුව තමාට ඇති එකම ජීවිතය වන්නේ මේ ජීවිතය පමණි. 

ඒ අනුව තම ආත්මය යන්න මරණයේදී නියත වශයෙන්ම විනාශයට පත්වන නිසරු දෙයක් ලෙසට ඔවුන් විශ්වාස කරනු ලබයි. එබැවින් මෙයට උච්ඡේද දිට්ඨිය යැයි කියනු ලැබේ.

උච්ඡේද දිට්ඨිකයින් පසු භවයක් නැතැයි විශ්වාස කරන බැවින් මෙලොව පාප කර්ම කිරීමටද බියක් නොදක්වයි. මරණයෙන් මතු තමා යලි නූපදී යැයි සිතා සිටියි. 

උච්ඡේද දිට්ඨියට අනුව 

  • රූපය යන්න ආත්මයම වේ. ඒ අනුව රූපය මරණයේදී විනාශ වන විට ආත්මයද විනාශ වේ ලෙසට ඔවුන් විශ්වාස කරයි. 

  • උදාහරණ ලෙස යම් පොතක ඇති කොල සියල්ල විනාශ කලවිට එම පොතද විනාශ වන්නේ යම් සේද, ඒ අයුරින්ම රූපයේ වැනසීමත් සමගම එකවිට ආත්මයද විනාශ වන්නේය.      

මෙලෙස රූපයට පමණක් නොවේ. සියලුම ස්කන්ධ 5ම ඉහත ආකාරයෙන් ආත්මය සමග වන්නේය ලෙසට ගත් දෘෂ්ටීන් 5ක් ( 5 x 1 ) ලෙසට උච්ඡේද දෘෂ්ටියද විවිධ ලෙසට සත්වයන් තුල දක්නට ලැබේ.



මේ අයුරින් සත්කාය දිට්ඨිය යන්න උච්ඡේද දිට්ඨිය හා ශාශ්වත දිට්ඨිය ලෙසට දිට්ඨීන් 20 ක් ලෙසට සත්වයා තුල පවතිනු ලබයි.


02) විචිකිච්ඡාව


විචිකිච්ඡාව යනු බුද්ධාදී 8 තැන්හි ඇති සැකයයි

  1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය
  2. බුදුන් දේශනා කල ධර්මය පිළිබඳ සැකය 
  3. බුද්ධ ශ්‍රාවක වූ සංඝයා වහන්සේ පිළිබඳ සැකය 
  4. ත්‍රි ශික්ෂාව පිළිබඳ සැකය 
  5. පෙර භවය පිළිබඳ සැකය 
  6. පසු භවය පිළිබඳ සැකය 
  7. පෙර පසු භව දෙකම පිළිබඳ සැකය 
  8. පටිච්ඡ සමුප්පාද ධර්මතාව පිළිබඳ සැකය 

01) බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය 

තමා විසින්ම සියල්ල අවබෝධ කරගත්, භවය උදුරා දැමීමේ ක්‍රමවේදය පිළිබඳ ලෝකයට දේශනා කරන, සුගතියට පත් වූ මහා පුරුෂයෙකු ඇතිදැයි යන සැකය

02) බුදුන් දේශනා කල ධර්මය පිළිබඳ සැකය 

දුකින් මිදීමේ මාර්ගය වන ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යන්නක් පවතීද යන සැකයද ඇතුලුව චතුරාර්‍ය සත්‍යය පිළිබඳව හටගත් සැකය

03) බුද්ධ ශ්‍රාවක වූ සංඝයා වහන්සේ පිළිබඳ සැකය 

බුද්ධ දේශනාව අනුගමනය කරමින් සුගතියට, එනම් නිවන් මගට පත් වෙමින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මගඵල ලබාගත් ගිහියන් හෝ පැවිද්දන් සිටීද යන සැකය.   

04) ත්‍රි ශික්ෂාව පිලිබඳ සැකය  

ති දොරින් සංවර වීම මගින් ලෞකික මෙන්ම ලෝකෝත්තරද වශයෙන් සුභ ප්‍රතිඵල ගෙනදේද යන සැකය   

05) පෙර භවය පිළිබඳ සැකය

සත්වයා (තමාද ඇතුලු) මේ භවයේ පමණක් උපත ලැබූ අයෙක්ද ? නැතිනම් සත්වයා මීට පෙරද භවයන්හි උපත ලැබූ අයෙක්ද ? එසේ පෙර භවයක් පැවතීමට සාධාරණ හේතු පවතීද යන සැකය 
  

06) පසු භවය පිළිබඳ සැකය 

සත්වයා මරණින් මතු යලි නොම ඉපදේද ? එනම් මරණින් සියලු දුක් අවසාන වී යයිද ? නැතිනම් සත්වයා අනිවාර්යෙන්ම මරණින් මතු උපත ලබන්නේමද ?ඒ අනුව කිසිඳු ධර්ම මාර්ගයක ගමන් කිරීමෙන් හෝ සත්වයාගේ මීලඟ භවය ඇතිවීම වළකාලිය නොහැකි වේද ? ආදී පසු භවය පිළිබඳ සැකය 

07) පෙර පසු භව දෙකම පිළිබඳ සැකය

සත්වයාට අතීත මෙන්ම අනාගතද භවයක් පවතීද යන කරුණට අදාල සැකය. එනම් අගක් හෝ මුලක් මෙතෙක් යැයි කියා කිව නොහැකි සංසාරයක සියලු සත්වයෝ සිටිත්ද යන සැකය 

08) පටිච්ඡ සමුප්පාද ධර්මතාව පිළිබඳ සැකය 

ඇතැමුන් ශාශ්වත දෘෂ්ටියේ සිටිත්. ඇතැමුන් ඊට විරුද්ධ මතය වන උච්ඡේද දෘෂ්ටියේ සිටිත්. සියල්ල ශාශ්වතද වේ, උච්ඡේදද වේ යන දෘෂ්ටි 2කින්ම සැදුම්ලත් දෘෂ්ටියකද ඇතැමුන් සිටිත්. තවත් පිරිසක් එම දෘෂ්ටි 2ම වැරදී ලෙස ගනිමින් සියල්ල ඉබේ හටගත් දෑය යන මතයේ සිටිත්. 

මෙකී දෘෂ්ටීන් 4ටම එපිටින් පවතින වෙනත් සත්‍යයක්, එනම් මධ්‍යම ප්‍රතිපදාවක් පවතීද යන සැකය පටිච්ඡ සමුප්පාද ධර්මතාව පිළිබඳ සැකයයි. 


උදාහරණ කීපයක් 


01) ලොව සියල්ල පිළිබඳව දෘෂ්ටීන් 

(i) උච්ඡේද දෘෂ්ටිය 
  • සියල්ල තමා විසින් පමණක් කරන ලදැයි යන මතය 
(ii) ශාශ්වත දෘෂ්ටිය
  • සියල්ල අනුන් විසින් කරන ලදැයි යන මතය 
(iii) දෙකම පිළිගත් දෘෂ්ටිය
  • සියල්ල තමන් හා අනුන් යන දෙපිරිසම විසින් කරන ලදැයි යන මතය 
(iv) දෙකම බැහැර කල දෘෂ්ටිය
  • සියල්ල ඉබේ හටගත් දේය යන මතය 


02) ලෝකයේ ප්‍රමාණය පිළිබඳව දෘෂ්ටීන් 

(i) උච්ඡේද දෘෂ්ටිය
  • ලෝකය අන්තවත් වේ. එනම් ලෝකයට කෙලවරක් පවතී. ඉන් එපිට කිසිවක් නැත. ඒ අනුව ලෝකය ගමනින් කෙලවර කල හැකි වේ.
(ii) ශාශ්වත දෘෂ්ටිය
  • ලෝකය අනන්තවත් වේ. එනම් ලෝකය කිසිදා ගමනින් කෙලවර කල නොහැකි වේ.


03) සත්වයාගේ පැවැත්ම පිළිබඳව දෘෂ්ටීන් 

(i) උච්ඡේද දෘෂ්ටිය 
  • සත්වයාගේ පැවැත්ම ස්ථිර වශයෙන්ම කෙලවර වේ. එනම් සියලු සත්වයෝ නියත වශයෙන්ම නිර්වාණයට පත්වේ.  
(ii) ශාශ්වත දෘෂ්ටිය
  • සත්වයාගේ පැවත්මේ කෙලවරක් නොමැත. සත්වයා ස්ථිර වශයෙන්ම සදාකල් විශ්වයේ සිටී.


04) සත්වයාගේ ආත්මය පිළිබඳව දෘෂ්ටීන් 

(i) උච්ඡේද දෘෂ්ටිය 
  • සත්වයා මරණින් සියල්ල කෙලවර කරයි 
(ii) ශාශ්වත දෘෂ්ටිය
  • සත්වයා යනු විනාශයට පත් නොවන්නා වූ නිත්‍ය වූ ආත්මයකි. එබැවින් මරණින් මතුද සත්වයාගේ පැවැත්ම ස්ථිරය.


05) දුක පිළිබඳව දෘෂ්ටීන් 

(i) උච්ඡේද දෘෂ්ටිය 
  • දුක යන්න තමා විසින්ම කරවන ලද්දකැයි යන මතය. ඒ අනුව තමා මරණයට පත් කිරීමෙන් දුකින් මිදෙන බවට වන මතය. 
(ii) ශාශ්වත දෘෂ්ටිය
  • දුක යන්න අනුන් විසින් කරන ලද්දකැයි යන මතය. ඒ අනුව තමාගේ ශුද්ධිය හෙවත් නිර්වාණය තමාට තීරණය කල නොහැක. අනුන් විසින් තමාව දුකින් මිදවිය යුතුය යන මතය. 
(iii) දෙකම පිළිගත් දෘෂ්ටිය
  • දුක, තමාද අනුන්ද යන දෙපිරිසම එක්ව කරවන ලද්දකැයි යන මතය. ඒ අනුව තමාද, අනුන්ද යන දෙපිරිසම තීරණය කිරීමෙන් තමාව දුකින් මිදවිය හැකිය යන මතය. 
(iv) දෙකම බැහැර කල දෘෂ්ටිය
  • දුක යනු කවුරුන් විසින් හෝ කරවන ලද්දක් නොවේ. එය ඉබේ හටගත් දෙයක් වේ. ඒ අනුව ශුද්ධිය ගැන කිසිවක් පැවසිය නොහැක. එබේම වන්නකි.  



මෙකී මතයන් 4ම වැරදිය. මධ්‍යම ප්‍රතිපදාවෙන් පමණක් විසඳුම් ලැබේ.

උදා :-

දුක යනු හේතූන්ගේ ප්‍රත්‍යයෙන් පටිච්ඡ සමුප්පාදයට අනුව නිර්මාණය වන්නකි. තෘෂ්ණාවද, අවිද්‍යාවද දුක්ඛ මූලයන් වේ. ඒ අනුව 

  • දුක තමා විනාශයෙන් කෙලවර නොවේ.
  • දුක අනුන්ගේ විනිශ්චයකින් කෙලවර නොවේ 
  • දුක තමන් හා අනුන් යන දෙපිරිසේම ක්‍රියාවෙන් කෙලවර නොවේ 
  • දුක ඉබේම කෙලවර නොවේ 

ඒ අනුව පටිච්ඡ සමුප්පාදයට අනුව තෘෂ්ණාවද, අවිද්‍යාවද නිරෝධයෙන් ප්‍රත්‍යයන්ගේ අභාවයට අනුකූලවම දුකින් මිදීම සිදුවේ.

ඒ අනුව ප්‍රත්‍යයන් ගේ උප්පත්තියට අනුකූලවම ලොව සියල්ල ඇතිවේ. එම නිසා ප්‍රත්‍යයන් නිරුද්ධයෙන් ලොව සියල්ල කෙලවර වේ. මේ පටිච්ඡ සමුප්පාද ධර්මතාවයි. මේ මධ්‍යම ප්‍රතිපදාවේ දහමයි. මේ මධ්‍යම ප්‍රතිපදාවේ මාර්ගය ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වේ.

බෝධි සත්වයින් මධ්‍යම ප්‍රතිපදාවට පැමිණියේ ශරීරයට අධික සැප දීම මගින් හෝ ශරීරයට අධික දුක්දීම මගින් පව් ගෙවීම සිදුකොට දුකින් මිදිය නොහැකි බව අවබෝධ කල නිසාය. ඒ අනුව "ප්‍රත්‍යයන් නිරුද්ධයෙන් විමුක්තියට පත් වේ" යන ධර්මය උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස වඩන ලදී.

මෙසේ විස්තර වූ පටිච්ඡ සමුප්පාදය පිළිබඳ සැකය ද විචිකිච්ඡාවකි.


03) සීලබ්බත පරාමාසය  


" ශීලයෙන් පරිපූර්ණ වීම නිවන් අවබෝධයට හේතුවේ " හෝ තමාගේ ශුද්ධියට හේතුවේ හෝ ලෙසට ගත් මිත්‍යා දෘෂ්ටිය සීලබ්බත පරාමාසයයි.

සෝතාපන්නබාවයට පත් නොවූ සියලු සත්වයෝ තුල සීලබ්බත පරාමාසය නම් සංයෝජනය පවතී.

බොහොමයක් අය පොත පතින් ලත් දැනුම මගින් හෝ යම් පිළිගත් ගිහි හෝ පැවිදි අයෙකු විසින් ප්‍රකාශ කරන ලද නිසා හෝ ශීලය රැකීමෙන් නිවනට පැමිණිය නොහැකි බව අසා දැනගනී. එහෙත් ඔහුද සීලබ්බත පරාමාසයෙන් මිදුනු අයෙක් නොවේ.

එයට හේතුව නිවන අහුරණ දෙය කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයට පැමිණි නිසාවෙන් තමා විසින්ම සීලබ්බත පරාමාසය වැරදී යැයි ලෙසට තර්කයෙන් වටහා නොගන්නා නිසාය. 

එහෙත් යම් අයෙක් බුද්ධ ධර්මය අසා එය තමාගේ නුවණින් විමසා කටයුතු කිරීම නිසා නිවන ඇහිරීමෙන් තමාට ලැබෙන ආදීනව වූ දුක පිළිබඳ අවබෝධයට පැමිණේ. කුමකින් කෙසේ නිවන අහුරා පවතී දැයි යන දුකට හේතුව පිළිබඳ අවබෝධයට පැමිණේ. එනයින් නිවන අහුරණ හේතුව නිරෝධය හැර අන් කිසිවක් මගින් දුක්ඛ නිරෝධය සිදු නොවේ යන අවබෝධයටද පැමිණේ. මෙසේ චතුරාර්‍ය සත්‍ය මනාකොට අවබෝධ වූ තැනැත්තා සෝතාපන්න මගඵලයට පැමිණේ.

එහිදී ඔහු / ඇයි විසින් ශීලය පූර්ණ කිරීම නිවන ලබාගන්නා මග නොවන බව අවබෝධ කරගනී.

ඒ අනුව යමෙක් සෝතාපන්න ඵලයට පත්වන විට සීලබ්බත පරාමාසයෙන් මිදීම සිදුවේ.


04) කාම රාගය (ලෝභය)


යම් කාම වස්තුවක් අරමුණු කර, එහි ඇති        
  • රූපයේ දැකීම ප්‍රිය ලෙසට හෝ 
  • ශබ්දයේ ඇසීම ප්‍රිය ලෙසට හෝ 
  • රසයේ දැනීම ප්‍රිය ලෙසට හෝ 
  • ගන්ධයේ ආඝ්‍රාණය ප්‍රිය ලෙසට හෝ 
  • ස්පර්ශයේ පහස ප්‍රිය ලෙසට හෝ 

ඇති කරගන්නා ඡන්ද රාගය කාම රාගයයි. මේ චෛතසික වූ ආස්වාදමය සෝමනස්සයයි.


උදාහරණ - 

කාම රූපයන් 
  1. නටනු, ගයනු, වයනු, ආදී රූ නැරඹීම තමාට කාම සැප ගෙනදේ නම් ඒවා කම රූපයෝ ලෙසින් හඳුන්වනු ලබයි.
  2. ස්වාමී, බිරින්දෑ, දරු ආදී 
  3. කෙත්වතු, යාන වාහන ආදිය 

කාම ශබ්ද 
  1. මිහිරි ගීත, සංගීතයෝ, කට හඬ, ස්ත්‍රී හඬ, පුරුෂ හඬ 

කාම රස 
  1. මිහිරි පළතුරු, මී පැණි ආදිය, මස්, කිරි 

කාම ගන්ධ
  1. පළතුරු සුවඳ, මල් සුවඳ, සුවඳ විලවුන් 

කාම ස්පර්ශ 
  1. ස්ත්‍රී පහස, ලිංගික පහස, සැප පහසු ආසන, යහනාවන් 

* කාම වස්තූන් "කාමයෝ" වූයේ නම් කිසිදා කාමය නිරුද්ධ කල හැකි නොවේ. (මන්ද කෙසේ නම් අප මේ වස්තූන් සියල්ල විනාශ කරන්නේද) 


05) පටිඝය (ද්වේශය)


යම් කාම වස්තුවක් අරමුණු කර, එහි ඇති        
  • රූපයේ දැකීම අප්‍රිය ලෙසට හෝ (රූපයේ නොදැකීම ප්‍රිය ලෙසට ගැටුනු සිතින් යුතුව හෝ)
  • ශබ්දයේ ඇසීම අප්‍රිය ලෙසට හෝ (විරුද්ධ අර්ථය ප්‍රිය ලෙසට හෝ)
  • රසයේ දැනීම අප්‍රිය ලෙසට හෝ (විරුද්ධ අර්ථය ප්‍රිය ලෙසට හෝ)
  • ගන්ධයේ ආඝ්‍රාණය අප්‍රිය ලෙසට හෝ (විරුද්ධ අර්ථය ප්‍රිය ලෙසට හෝ)
  • ස්පර්ශයේ පහස අප්‍රිය ලෙසට හෝ (විරුද්ධ අර්ථය ප්‍රිය ලෙසට හෝ)

ඇති කරගන්නා ඡන්ද රාගය පටිඝයයි. මේ චෛතසික වූ දෝමනස්සයයි.


උදාහරණ - 

පටිඝ රූපයන් 
  1. විරූපී මිනිසුන්
  2. තුවාල 
  3. සතුරන් ,... 

පටිඝ ශබ්ද 
  1. බිය ගෙනදෙන ශබ්ධ
  2. පීඩාකාරී ඝෝෂාමය ශබ්ධ, ... 

පටිඝ රස 
  1. අප්‍රිය වූ අහරක රස ,... 

පටිඝ ගන්ධ
  1. දුර්ගන්ධය, ...

පටිඝ ස්පර්ශ 
  1. දැවිල්ල 
  2. කැක්කුම 
  3. දැඩි සිසිලස, ...



* යම් පුද්ගලයෙකු හෝ වස්තුවක් කෙරෙහි දැඩි කාමාශාව හෝ ද්වේශය පහල වීම පාලනය කල නොහැකි නම් පහත දෑ 5 වඩන්න 


අදාල කාම වස්තුව මත ඒවා 
  • අනිත්‍ය, දුක්ඛ, රෝග වශයෙන් සංඤාව පුරුදු කරන්න 
  • එවිට කාමය ඇති කරන ස්පර්ශය නිරෝධ වේ 
**********************************************
  • සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රීය වඩන්න 
  • එවිට පටිඝය ඇති කරන සංඤා නිරෝධ වේ 


06) රූප රාගය (රූප ධ්‍යානමය රාගය)


වස්තූන් අරමුණු කරගත් රාගය (කාම රාගය) ඉක්මවූ පසු එකී පුද්ගලයා අලෝභීව වාසය කරයි. 

මේ ආකාරයට තමාගේ කයද ඇතුලුව සියලුම රූපයන් කෙරෙහි කාම ආස්වාද විඳීමේ රාගයෙන් වෙන්වී ගියද, මේ අලෝභී තැනැත්තාටද තවදුරටත් රූපයන් කෙරෙහි මන බඳින දෑ පවතී.

උදාහරණ 

  • රූපමය දෑ අත්පත් කරගැනීම කෙරෙහි රාගය (ලෝභය හෙවත් කාම රාගය) නොමැති වුවද, පිරිස් සමග වාසය කිරීමට ඇති රාගය (රූප දකිමින් කල් ගෙවීමට ඇති රාගය)
  • සත්වයින්ට මෛත්‍රී, කරුණා කරමින් (සත්වයින් අරමුණු කිරීමේදීම රූපයන් අරමුණු වේ) ශීල සම්පන්න දෙවියෙක්ව විසීමට ඇති රාගය 
"මම මේ ශීලයෙන් සමන්වාගත දෙවියෙක්ව අසවල් දෙව් ලොව ඉපදෙමියි" ලෙස ආස්වාදය කිරීම 
  • කාමයන්ගෙන් වෙන්වූ ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ත ධ්‍යානය තෙක් මේ රූප ධ්‍යාන 4 තුල තමාට ආස්වාදයක් ඇති කරන දෑ
               - කායික විවේකය 
               - ධ්‍යාන සුවයෙන් ලද ශාන්ත වූ කායික සිසිලස 

යන මේවා රූප රාගයන්ට උදාහරණ වේ. 


07) අරූප රාගය (අරූප ධ්‍යානමය රාගය)


රූපයන් අරමුණු කරමින් රූප රාගය ඉක්මවූ පසු එකී පුද්ගලයා තෘෂ්ණාව තුලින් අතිශය ශාන්ත වූ අවස්ථාවකට පැමිණේ.

රූප අරමුණු නිසා පැවැති සිතේ දැඩි උද්ධච්ඡය අඩු මට්ටමකට පැමිණේ. 

මේ ආකාරයට සර්ව ප්‍රකාරයෙන් රූපයන් කෙරෙහි අරමුණු ගැනීම (රූප සංඤා) ඉක්මවුවද, අරූපමය ස්කන්ධයන් උපාදානය කරමින් මන බඳින කාරණාද තවදුරටත් එම පුද්ගලයාට පවතී. 

උදාහරණ   

ආකාසාඤ්ඤායතනයේ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් අත්විඳින (අරූප ධ්‍යාන තුල වූ)

  • උපේක්ෂා වේදනාව
  • ආකාසය අනන්තයි ලෙසට ගත් ශාන්ත වූ සංඤාව තුල ජීවත් වීමට ඇති රාගය 
  • විඤ්ඤාණය අනන්තයි ලෙසට ගත් ශාන්ත වූ සංඤාව තුල ජීවත් වීමට ඇති රාගය
  • සියල්ල හිස් බවකි යන ශාන්ත වූ සංඤාව තුල ජීවත් වීමට ඇති රාගය
  • මම වෙමියි ලෙසට ගත් සංඤාව ශාන්ත වූ ලෙසට වින්දනය කරමින් ජීවත් වීමට ඇති රාගය      
යන මේවා අරූප රාගයන්ට උදාහරණ වේ. 


08) මානය 


ලෝකයට බැඳෙන ආකාරයට තමන්ද ලෝකයද අතර සිදුකරනු ලබන මැනීම් "මානයන්" නම් වේ. 

අරූප රාගයෙන්ද මිදුනු අනාගාමී ආර්‍යයා රාගයෙන් හා ද්වේශයෙන් 100% ක් නිදහස්ය. එහෙත් ශේෂව පවතින මෝහය හේතු කොටගෙන 

"මම සන්සුන්මි, මම නිමීයෙමි, මම උපාදාන නැතියෙමියි" ලෙසට අති සියුම් වූ මානයක සිරවේ. එය වටහා ගැනීම අසීරු විය හැක.

සැබැවින්ම මෙම "මානය" කෙතරම් සියුම් දෙයක්ද යත් තෘෂ්ණාවෙන් මිදුනු තැනැත්තා පවා තවදුරටත් සංසාරයට බැඳ තැබීමට කටයුතු කරන, අනාගාමී ආර්‍යයන් වහන්සේ නමක් සතු පවිත්‍ර වූ ඤාණයට පවා ගෝචර නොවනසුලු දෙයකි. ඒ කෙසේද යත්, තෘෂ්ණා ඇතිව හෝ නැතිව හෝ මම යන්නෙක් පවතිමියි යන දැඩි බන්ධනය මානය මගින් ඇතිකරන නිසාය. 

දස සංයෝජන තුල අවබෝධයෙන් යුතුව ප්‍රහාණය කල යුතු අවසාන සංයෝජනය ලෙසද මානය සඳහන් වේ. ඒ මානය සංසිඳවීමෙන් සසර දුක් කෙලවර වන බව දහම තුල සඳහන් වන නිසාය. එසේ වීමට හේතුව වන්නේ මානය සංසිඳුනු කල සම්මා සමාධියට පැමිණීම වලක්වනු ලබන උද්ධච්ඡය සහමුලින්ම පහව යාමෙන් එම සම්මා සමාධිය ලැබ අවිද්‍යාවෙන් එතෙර වීමය.


මූලික වශයෙන් මානය 3 වැදෑරුම් වේ. එය 9 විද ලෙසද දක්වයි



1) මම උසස්මි යන මානයන් 3  
  1. මම හීනයාට වඩා  උසස්මියි මානය (උදා - මිනිසෙකු වූ මම, ප්‍රේතයන්ට වඩා උසස්මි යන මානය)
  2. මම සමානයාට වඩා උසස්මියි මානය (උදා - මිනිසෙකු වූ මම, මා වැනි අනෙකුත් මිනිසුන්ට වඩා උසස්මි යන මානය) 
  3. මම උසස් වූවහුටද වඩා උසස්මියි මානය (උදා - මිනිසෙකු වූ මම, දෙවියන්ටත් වඩා උසස්මි යන මානය)    

2) මම සමානයෙමියි යන මානයන් 3
  1. මම හීනයාට සමානවෙමියි මානය (උදා - මිනිසෙකු වූ මම, ප්‍රේතයන්ටද සමානවෙමි යන මානය)
  2. මම සමානයාට සමානවෙමියි මානය (උදා - මිනිසෙකු වූ මම, මනුෂ්‍යන්ට සමානවෙමි යන මානය)
  3. මම උසස් වූවහුට සමානවෙමියි මානය (උදා - මිනිසෙකු වූ මම, දෙවියන්ට සමානවෙමි යන මානය)

3) මම හීනයෙමියි යන මානයන් 3 
  1. මම හීනයාටත් වඩා  හීනයෙමියි යන මානය (උදා - මිනිසෙකු වූ මම ප්‍රේතයන්ටත් වඩා පහත් වෙමියි යන මානය)
  2. මම සමානයාට වඩා හීනයෙමියි යන මානය (උදා - මිනිසෙකු වූ මම, අනෙකුත් මනුෂ්‍යන්ට වඩා පහත් වෙමියි යන මානය) 
  3. මම උසස් වූවහුට වඩා හීනයෙමියි යන මානය (උදා - මිනිසෙකු වූ මම දෙවියන්ට වඩා පහත් වෙමියි යන මානය)


ලෙසට අමතරව ඇතැම් තැන්වල මානය 6 ආකරයෙන්ද 19 ආකාරයෙන්ද ලෙසට විස්තර වන අවස්ථාද දැකිය හැකිය. 


* එම 19 මානයන් තුල සඳහන් වන අස්මීමානය යන්න ඉතාම සියුම් වූ අරහත්වය පෙනි පෙනී තිබියදී ඉතිරිව පවතින අවසාන මානය වේ. 


අස්මීමානය යනු - 

පංච ස්කන්ධය මම වෙමියි, මාගේ වෙමියි, මාගේ ආත්මය වෙමියි ලෙසට ඉහත් 3න් ආකාරයෙන් හෝ එක්ම ආකාරයකින් හෝ ඇති කරගන්නා මානය අස්මීමානයයි.  



සියුම් වූ මානයන්ට උදාහරණ


01) අරහත්වය ලැබුමට ආසන්න දිනයක අනුරුද්ධ තෙරුන්ට මෙසේ සිත් විය  

"මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍ර ලෝක ධාතුව බලමි"
මේ අනුරුද්ධයන්ගේ මම උසස් වූවහුටත් වඩා උසස් වෙමියි මානයයි.


02) යම් මහණෙක් මෙසේ අසනු ලබයි.

"අසවල් මහණ විසින් සියලු කෙලෙසුන් නැසීමෙන් ආස්‍රවක්ෂය සහිත අරහත්වයට පත් විය"

මෙසේ ඇසූ මහණ හට "මම කවදා අරහත්වයට පත්වෙම්දෝ" යන මම උසස් වූවහුට හීන වෙමියි යන මානය ඇතිවිය.


03) සෝවාන් ඵල ලාභියෙකුට මෙසේ සිතෙයි 

"මා වැනි චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් සෝතාපන්න වූ කවුරුන් මෙම ආරාමයේ සිටීදැයි"

යන මම සමානයාට වඩා උසස් වෙමියි යන මානයයි.


04) සත්කාය දිට්ඨිය බිඳුණු කල පංච උපාදාන ස්කන්ධය තුල සත්වයෙක් නොපවතී යන අවබෝධය ලැබේ. එතෙකුදුත් මෙසේ ඇති වෙමින් නැතිවෙමින් පවතින පංච උපාදාන ස්කන්ධය මම වෙමියි, මාගේ වෙමියි ලෙසට ගැනීම මානයයි. (අස්මී මානය)


05) නොදන්නා දෙයෙහි දන්නා බව මානයකි. (මම උසස්මියි මානය) 


06) ප්‍රථම ධ්‍යානයට පත්වූ පුද්ගලයා හට මෙසේ සිතේ  

" මෙහි කාමයෝ නිරුද්ධය. කවුරුන් විසින් මෙසේ පුන පුනා කාමයෝ නිරුද්ධ කොට වාසය කෙරෙත්ද ? " 

ඒ මම වෙමියි ලෙසට මානය නගයි  


09) උද්ධච්ඡය 


මෙවැනි ගැඹුරු සංයෝජන දර්මයෝ පිළිබඳව මැනවින් විස්තර කරදීමට ඒවා පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් නොලද මා අපොහොසත්මි. 

එලෙසම ත්‍රිපිටකය තුලින්ද මෙය ඉතා ගැඹුරින් හා දීර්ඝව විස්තර කෙරෙන ස්ථානයක් සොයාගැනීමට මා අපොහොසත් වූ නිසා සූත්‍ර පිටකය තුලින් මා දුටු අදහස මෙසේ ඉදිරිපත් කරමි.

* සරලවම කිවහොත් - සිත සමාධිය කෙරෙන් වෙන්වීම උද්ධච්ඡයයි 


* මීට මදක් විස්තරාත්මකව පැවසුවහොත් - සිත එක් අරමුණක පිහිටුවන විට එය අවුරවමින් නානා අරමුණයන්හි සිත විසිර යාම උද්ධච්ඡයයි.
  

* තව දුරටත් විස්තර කලහොත් - "උද්දේස විභංග සූත්‍රයට" අනුව බාහිර අරමුණෙහි විඤ්ඤාණය විසිරීම හා ගෝචර ආධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් පිහිටීම උද්ධච්ඡයයි. 


එහි බාහිර අරමුණෙහි විඤ්ඤාණය විසිරීම යනු 
  • බාහිර අරමුණු යනු සලායතන මගින් හඳුනාගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන්ය. තමාගේ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය හා මනෝ විඤ්ඤාණයන් එලෙස හඳුනාගත් බාහිර අරමුණු, අස්සාද නිමිති වශයෙන් ගෙන එම අරමුණු වල වෙලී බැඳී යාම බාහිර උද්දච්ඡයයි

එහි ආධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් පිහිටීම යනු 
  • දැහැන් වල ඇති ප්‍රීති, සුඛ හා උපේක්ෂාව අස්සාද නිමිති වශයෙන් ගනිමින් තම විඤ්ඤාණයන් එම නිමිති වල ඇලී බැඳී සිටීම ගෝචර ආධ්‍යාත්මයේ පිහිටන උද්දච්ඡයයි
එනම් දස සංයෝජනයන්හි 8 වැන්නේ ඇති " මානය ” ද බිඳහෙලූ විට තමාගේ සය විඤ්ඤාණ අතුරින් කිසිදු විඤ්ඤාණයකට බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් අස්සාද නිමිත්තක පිහිටිය නොහැක. මෙම අවස්ථාවේදී එම අර්යයා උද්දච්ඡයෙන් මිදීම සිදුවන බව අපට මෙයින් පැහැදිලි වේ.



ධ්‍යාන වඩන විට පංච නීවරණ තුල ඇති උද්ධච්ඡ නීවරණය ලෙසට විස්තර වන්නේ උද්ධච්ඡය නම් සංයෝජනයෙන් යම් මට්ටමකට වෙන්වී යාමයි. ඒ අනුව උද්ධච්ඡය යම් මට්ටමකට පහව ගිය පසු සෙසු නීවරණද යටපත් වීමෙන් ප්‍රථම ධ්‍යානයට පැමිණිය හැකිය. 

නමුත් සම්මා සමාධිය යනු උද්ධච්ඡය ස්ථිර වශයෙන්ම හා මුලුමනින්ම තමන් තුලින් ප්‍රහාණය නිසා ලැබෙන පූර්ණ වූ සමාධියයි / ධ්‍යානයයි. මෙය සිදුවන්නේ අනාගාමී ආර්‍යයන් වහන්සේ නමක් විසින් රූප රාග, අරූප රාග සේම ශේෂ වූ මානයන්ගේද ප්‍රහාණය සිදු කරන ලද ධ්‍යානයේදීය (සමාධියේදීය). 


උදාහරණයක් ලෙස මූලික වශයෙන් මීට ප්‍රථමයේදී අරූප රාගය තෙක් සංයෝජන ප්‍රහාණය කල අනාගාමී ආර්‍යයා විසින් යලි විටකදී උපේක්ෂාවට පමණක් සිත තබමින් චතුර්තයක් ධ්‍යානයට සමවදින විට ශේෂ වූ මානයද ප්‍රහාණය කල මොහොත, එම ආර්‍යන් වහන්සේ ස්ථීර වශයෙන්ම හා මුලුමනින්ම උද්ධච්ඡයෙන් වෙන්වී යන මොහොත සේ සැලකිය හැකිය. 



මේ අනුව පැහැදිලි වන්නේ උද්ධච්ඡය කෙරෙහි 

  • විවිධ දෘෂ්ටීන් හි පවතින මෝහය (සෝවාන් වීම මගින් ප්‍රහාණය වේ)
  • කාම රාගය (අනාගාමී වීම මගින් ප්‍රහාණය වේ) 
  • පටිඝය (අනාගාමී වීම මගින් ප්‍රහාණය වේ)
  • රූප රාගය (අනාගාමී අතරතුර ප්‍රහාණය වේ)
  • අරූප රාගය (අනාගාමී අතරතුර ප්‍රහාණය වේ)
  • මානය (අනාගාමී ජ්‍යෙෂ්ඨත්වයේදී ප්‍රහාණය වේ)

යන ඕනෑම සංයෝජනයක් කෙරෙහි තමා තුල පවතින රාගය හෝ ද්වේශය හෝ මෝහය බලපාන බවයි. 

එනම් අවසාන මොහොතේ සිටින අනාගාමී ආර්‍යයන් වහන්සේ හට යම් යම් දෑ කෙරෙහි තමා තුල රාග, ද්වේශ පූර්ණ ලෙස ප්‍රහාණය වී තිබුනද, ශේෂ ව පවතින මෝහය නිසා යම් යම් දෑ මානයට පත්කිරීම පමණක් ඇතිවේ. ඉන්ද මිදුනු විට උද්ධච්ඡය පූර්ණ ලෙසම තමා තුලින් ඉවත්ව ගොස් සම්මා සමාධිය නම් ලොව උත්තරීතරම වූ සමාධිය ලැබීම සිදුවේ.



දුතීය අනුරුද්ධ සූත්‍රය - අරහත්වයට ඉතා ආසාන්නයේදී අනුරුද්ධයන්ගේ උද්ධච්ඡය  

අරහත්වය පෙනි පෙනී සිටිනා සමයේදී අරහත්වය ලැබුමට අපොහොසත් වූ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුණුවන් වෙත එලඹ මෙසේ පවසයි.

කියග ශාරිපුත්‍රයෙනි, 


1. ” මා විසින් වීර්ය අරඹන ලදී, නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. ප්‍රමුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. ”


2. ” එහෙත් මාගේ සිත උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් නොමිදින ”


එකල්හි ඊට පිළිතුරු දුන් සැරියුත් තෙරණුවෝ අනුරුද්ධයන් වහන්සේ හට මෙය පෙන්වා දුන්හ.

මේ (1 හි සඳහන්) කරුණ තොපගේ උද්ධච්ඡයයි. මේ (2 හි සඳහන්) කරුණ තොපගේ කුක්කුච්චයයි.


පසුව නුදුරේම දිනක අනුරුද්ධ තෙරණුවන් මානයද, මෙකී උද්ධච්ඡ - කුක්කුච්චයෝද අවබෝධ කොට ඒවා ප්‍රහාණය කරමින් ශ්‍රාවකයන් අතර දිවැස් ලාභීන්ගේ අග්‍ර වූ රහතන් වහන්සේ බවට පත්විය. අනුරුද්ධ මහ රහතන් වහන්සේ සහස්‍රයක් ලෝක ධාතුවම දිවසින් දකින ලදී.



දැන් ඔබටද ආස්‍රවක්ෂය පිණිස සිත යොමුකිරීමට සුදුසුම කාලයයි.


10) අවිද්‍යාව (මෝහය නිසා රැවටීයන ස්වභාවය)


අත්‍යවශ්‍යයෙන්ම අවබෝධ කල යුතු සත්‍ය අවබෝධ කරනොගැනීම නිසා නිර්වාණයට පැමිණීම පූර්ණ වශයෙන්ම ආවරණයට පත්කරන අනවබෝධය නම් සංයෝජනය අවිද්‍යාවයි. 


අවිද්‍යාව යනු සෝවාන් පටන් ක්‍රම ක්‍රමයෙන් ප්‍රහාණය වන සංයෝජනයකි 


1. සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසය යන සංයෝජනයෝ සෝතාපන්න බව සමග ප්‍රහාණය වී යයි. මේ තුන් සංයෝජනයෝ පෘථග්ජන බව තුල සත්වයා රඳවන ඉතාම දැඩි වූ අවිද්‍යා කොටස් 3යි. 


2. පංච උපාදාන ස්කන්ධයේ ඇති නැතිවන ආකාරයත්, එහි ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යන කරුනු (සැකෙවින් චතුරාර්‍ය සත්‍ය) පිළිබඳව සෝවාන් මගින් ලද අවබෝධය හේතුකොටගෙන, එදිනෙදා ජීවිතයේදී කාමයන් අත්විඳින විගසම එම කාමයන්හි යථා ස්වභාවය අවබෝධයට පත්වීම අනාගාමී මගින් සම්පූර්ණ වේ. 

මෙහිදී සෝවාන් බවින් අනතුරුව ශේෂ වූ අවිද්‍යාව තරමක් තුනීවී යාම නිසා (සමුච්ඡේද ප්‍රහාණයකි) කාමරාග - පටිඝය ඇතිවීමට මූලික වූ අවිද්‍යාව මුලුමනින්ම විනාශ වී යයි. එබැවින් අනාගාමී වන විට තවදුරටත් කාමරාග - පටිඝ ඇතිවීම සිදුනොවේ. 

නමුත් එම අවිද්‍යා කොටස් ප්‍රහාණය සිදුවන්නේ මූලික වශයෙන්ම සමථ භාවනා හෙවත් ප්‍රථම සිට සිව්වැනි තෙක් ඇති ධ්‍යානයන් මගිනි. එම ධ්‍යාන මගින් ඔබගේ රාගය තුච්ඡ වූ කාමයන්ගෙන් ඔබ්බට යොමු කර ධ්‍යාන සැපයේ ආස්වාදය තුල රඳවනු ඇත. ඒ අනුව තව දුරටත් ඔබට තුච්ඡ වූ කාම රාගය නොපවතින අතර රූප රාගයන් හා අරූප රාගයන් පමණක් ශේෂ වේ.  


3. එලෙසම රූප රාග, අරූප රාග පිණිස හේතු වූ මෝහ කොටස් සමුච්ඡේද ලෙසම ප්‍රහාණය වී යාම නිසා රූප රාග, අරූප රාග ඇතිවීමටද හේතු වූ අවිද්‍යාවද අනාගාමී ඵලයේ සිටියදීම ප්‍රහාණය වී යයි. 

අරූප ධ්‍යාන වැඩෙත්ම ඔබගේ රාගය රූපයන්ගේ මිදී යයි. අරූප ධ්‍යානද බහුලව වඩමින් චතුර්ත ධ්‍යානට යලිත් පැමිණෙමින් විදර්ශනා නගන විට අරූප රාගයද ඔබගෙන් ප්‍රහාණය වී යයි. 


4. ඉන් පසු චතුර්ත ධ්‍යානය ලබමින් මානය ප්‍රහාණය වත්ම අරහත්වයට ඉතාම ආසන්න මොහොත දක්වා වන අවිද්‍යා කොටස් මුලුමනින්ම ඔබ තුලින් ප්‍රහාණය වී යාම සිදුවේ.


5. මෙවිට ලබන චතුර්ත ධ්‍යානය උද්ධච්ඡයෙන් මුලුමනින්ම පිරිසිදු වූ නිසා එම සමාධිය සම්මා සමාධිය ලැබීම ලෙසින් හඳුන්වනු ලබයි. 

එම අවස්ථාවේදී ආර්‍යානන් වහන්සේ විසින් ආශ්‍රවක්ෂයට සිත යොමු කරන විට අපද්‍රව්‍ය මගින් කැලඹුනු ජල බඳුනක් නිශ්චල වන්නාක් මෙන් තම සිත සහ සිහිය පැහැදිලි වී නිසල වී යයි. ඒ සමගින් මෙතෙක් සංසාරයේ තමාට තේරුම් ගැනීමට නොහැකි වූ චතුරාර්‍ය සත්‍යයේ යථා ස්වභාවය ඒ ආර්‍යන් වහන්සේගේ අවබෝධය තුලින් අත්දකිනු ලබයි. 

ඒ සමගින් උන්වහන්සේව සංසාරයට බැඳ තැබූ අවසන් මාර බන්ධනය වන අවිද්‍යාවේ අවසාන කොටසද මුලුමනින්ම විනාශ වී යයි. ඒ අනුව යථාභූත ලෝකය යථාභූත ලෙසම උන්වහන්සේ අවබෝධ කරගනී. ඒ පහලවන ඤාණයෝ ත්‍රිවිද්‍යා ලැබීමයි. සත්‍යාවබෝධයයි. මේ සම්මා ඤාණ ලැබීම නම් වේ. 


ත්‍රිවිද්‍යා නම් 

  1. පෙර විසූ කඳ පිළිවෙත සිහි කරනා නුවණ (පුබ්බේ නිවාසානුස්සති ඤාණය)
  2. සත්වයන්ගේ චුති හා උප්පත්ති දැකීමේ නුවණ (චුතුපපාත ඤාණය)
  3. ආස්‍රවයන් ක්ෂය කිරීමෙහි නුවණ (ආස්‍රවක්ෂය ඤාණය)





අනාගාමී ආර්‍යයන් වහන්සේ විසින් මෙසේ සම්මා ඤාණ ලැබීම මගින් උන්වහන්සේ සම්මා විමුක්තියට පත්වීම සිදුවේ.


මෙසේ පෘථග්ජනයෙකුගේ අරහත්වය සනිටුහන් වීම සිදුවේ.


                                                               ***


















Comments

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

1. සලායතන - සෝවාන් වීම පිණිස

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස