1. සලායතන - සෝවාන් වීම පිණිස


1. සලායතන හෙවත් ආයතන 6





(ප්‍රධාන ලිපිය - නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු )


සත්වයා නිරතුරුවම තමා සතුව පවතින බාහිරට විවෘත වූ දොරටු 6ක් යොදාගනිමින් ලෝකය තුල පවතින විවිධ වූ දෑ හඳුනාගැනීම සිදුකරනු ලබයි. මේ දොරටු 6 ඒ ඒ දොරටුවට සුවිශේෂිත වූ  කාර්යභාරයන් වල නියැලෙන බැවින් ඒවාට ආයතන යැයි ව්‍යවහාර කරනු ලැබේ. මෙම ආයතන 6ට සලායතන යැයි කියනු ලැබේ.

1. ඇස 

ඇස යනු දර්ශනය වන රූපයන්, විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි. මෙහිදී ඇස මගින් දකින රූපය වෙතට සත්වයාගේ අවධානය යැවීම සිදුවේ. එවිට එකී දර්ශනය අරඹයා සිතන ලද බවක් එනම් චේතනාවක් හටගනී. චේනතාව නිසා ඇස කෙරෙහි ඉලක්කගත වූ සිතක් උපදීම සිදුවේ. මේ උපදින සිත මගින් දකිනු ලැබූ රූපය දැනගැනීම සිදුකරයි. 

* දැනගැනීම ලබාදෙන සිතට විඤ්ඤාණය යැයි කියනු ලැබේ. එබැවින් ඇස හරහා රූපය දැනගත් සිතට චක්ඛු විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

* යම් අරමුණක් අරඹයා ඇතිවන්නේ හුදෙකලා වූ තනි සිතක් නොවේ. ඒ අරමුණ සමඟ බද්ද වූ එකකට එකක් සම්බන්ධ වනසේ පරම්පරාණුගතව උපදින සිත් දාමයක් උපදීම සිදුවේ. මේ සිත් දාමයට චිත්ත වීතියක් යැයි කියනු ලැබේ.

* විඤ්ඤාණය හැරුනු කොට වෙනත් විවිධ කර්තව්‍යයන් සිදු කරන සිත් එම චිත්ත වීතිය තුල පවතී. නමුත් ඒවාට විඤ්ඤාණ යැයි නොකියනුයේ ඒවා "අරමුණ දැනගැනීමේ" කාර්‍ය සිදු නොකරන නිසාය.






* මෙහිදී සත්වයා එලෙස බාහිරින් දකින රූපය කෙරෙහි අවධානයකින් සිටියේ නම් පමණක් එකී දර්ශනය අරඹයා සිතනු ලබන බවක් (සංස්කාරය) ඇතිවී චක්ඛු විඤ්ඤාණය උපදී.

* සත්වයා අසිහියෙන් හෝ හැරුණු දෑසින් නිද්‍රාගතව සිටින විට හෝ මැරුණු පසුව හෝ එසේ ඇසට රූපයක් දර්ශනය වීම සිදු වුවද ඇස වෙතට සත්වයාගේ අවධානය යොමුවීමක් සිදුනොවේ. එබැවින් සංස්කාර (සිතනු ලබන බව) නූපදී. එබැවින් චක්ඛු විඤ්ඤාණයද නූපදී. එමනිසා අදාල රූපය සත්වයා විසින් දැනගැනීමක් සිදුනොවේ. 

* සලායතන විස්තරය තුල විශේෂයෙන්ම කිවයුතු දෙයක් වන්නේ "ඇස" ලෙසට හඳුන්වන ආයතනය අප සාමාන්‍ය ව්‍යවහාරයේදී ගනු ලබන ඇසට දර්ශනය වන ලේ, මස්, නහර ආදී ශරීර කොටස් මගින් සැදුම් ලත් ඇස නම් වූ ඉන්ද්‍රිය නොවේ.

ඇස නම් ආයතනය යනු අපට පෙනෙන දෙයක් නොවේ. ඇස නම් ආයතනය පවතිනුයේ කය (එනම් ශරීරය) නම් ආයතනය තුල වූ ඉන්ද්‍රියක් තුලය. මෙම ඉන්ද්‍රියට ඇස ලෙස ව්‍යවහාර නොකරන්න. එම ඉන්ද්‍රියද කය නම් ආයතනයේම කොටසක් වේ. 
    
2. කන

කන යනු ශ්‍රවනය වන ශබ්දයන් විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි. 

* කන මගින් ශබ්දය දැනගත් සිතට සෝත විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

* කනද ඇස මෙන්ම නොපෙනෙන්නා වූ ආයතනයකි. එය කායාතනය තුල ඉන්ද්‍රියක් තුල පවතී. 
  


3. නාසය 

නාසය යනු ආඝ්‍රාණය වන ගන්ධයන් විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි. 

* නාසය මගින් ගන්ධය දැනගත් සිතට ඝාණ විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

* නාසයද ඇස මෙන්ම නොපෙනෙන්නා වූ ආයතනයකි. එය කායාතනය තුල ඉන්ද්‍රියක් තුල පවතී. 


4. දිව 

දිව යනු දැනෙන්නා වූ රසයන් විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි. 

* දිව මගින් රසය දැනගත් සිතට ජිව්හා විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

* දිවද ඇස මෙන්ම නොපෙනෙන්නා වූ ආයතනයකි. එය කායාතනය තුල ඉන්ද්‍රියක් තුල පවතී. 


5. ශරීරය

ශරීරය යනු දැනෙන්නා වූ ස්පර්ශයන් විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි. 

* ශරීරය මගින් ස්පර්ශය දැනගත් සිතට කාය විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

* කය යනු සෙසු ආයතන මෙන් නොපෙනෙන්නා වූ ආයතනයක් නොවේ. ඊට හේතුව කය සතුව දර්ශනය වන්නාවූ රූපයන් පැවතීමයි.

ඒ අනුව කය යනු ඇස,කන,නාසය,දිව යන ආයතනයන්ගේ පැවැත්මට වාසස්ථාන සපයන අප සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන ශරීරයම වේ. 


6. මන

මන යනු සිතනු ලබන ධම්මයන් විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි.

* මන මගින් ධම්මයක් දැනගත් සිතට මනෝ විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

* මන යනු දර්ශනය නොවන්නාවූ ආයතනයකි. නමුත් මන ආයතනය, සෙසු ඇස, කන, නාසය, දිව මෙන් ශරීරය තුල යම් ඉන්ද්‍රියක වාසය කරන ආයතනයක් නොවේ.

එබැවින් ශරීරයක් නොමැති අවස්ථා වලදී පවා මන ආයතනය සත්වයා තුල පවතී.

        උදා -: අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ශරීරයක් නොපවතී. එම බ්‍රහ්මයන් මන ආයතනය                     පමණක් සහිතව ජීවත් වේ.


මනට සිතෙන ලබන ධම්මයන් වන්නේ 

          (1) විවිධ අරමුණු පිළිබඳව සංඤාවන් 
          (2) මතකයන් 
          (3) ලෝකය පිළිබඳව ධර්මතාවයන් 
          (4) විවිධ විචාරයන් මගින් උපන් සිතිවිලි 

                                   ආදී දේවල්ය.
    


උදා -:      (i) චක්ඛු විඤ්ඤාණය මගින් දුටු රූපයකට "මේ මාගේ අම්මාය" ලෙසට සංඤා                              පැනවීම ධම්මයකි.
           (ii) ඊයේ ඔබ රෑට කාපු දේ පිළිබඳව මතකය ධම්මයකි.
          (iii) ආස්වාදය ලබාදෙන පංච උපාදාන ස්කන්ධයෝ "අනිත්‍ය" වේ යන ධර්මතාව                             ධම්මයකි.
          (iv) මා හෙට නගරයට යා යුතුයි ලෙසට සිතනු ලැබීම විතර්කයකි. එහි වන්නාවූ මම,                     හෙට, නගරය, ගමන් කිරීම ආදිය පිළිබඳව සිතිවිලි ධම්මයන් වේ.

           (v) ඔබගේ යහලුවෙක් පිළිබඳව මතකයක් නැගුනු පසු ඔහු හෝ ඇය පිළිබඳව වැඩිදුර                  සිතීම විචාරයකි. එම විචාරය තුල පැනනැගෙන්නාවූ විවිධ වූ සිතිවිලි ධම්මයන්                        වේ.    



පරිහරණයට ත්‍රිපිටකය

 

[අභිධර්ම පිටකය - විභංගප්‍රකරණය I - ධාතු විභංගය - 264 , 266, 268 කොටස්]

[අභිධර්ම පිටකය - විභංගප්‍රකරණය I - ආයතන විභංගය - 231, 238, 241 කොටස්]

[සූත්‍ර පිටකය - සංයුක්ත නිකාය - බන්ධ වර්ගය - දිට්ඨි සංයුක්තය - සෝතාපත්ති වර්ගය - වාත සූත්‍රය]

[අභිධර්ම පිටකය - ධම්මසංගණීප්‍රකරණය - 3 නික්ෂේප කාණ්ඩය - දුක නිර්දේශය - චූළන්තර දුකය]

[අභිධර්ම පිටකය - කථාවස්තුප්‍රකරණය 3 - තුදුස්වන වර්ගය - අනන්තරපච්චය කථා]



Comments

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස