2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස


2. පංචස්කන්ධය හෙවත් ස්කන්ධ 5




මෙය තරමක් ගැඹුරු කොටසක් බැවින් මෙය අධ්‍යනයට පෙර සලායතන පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න.


පංචස්කන්ධය යනු 
  1. රූප 
  2. වේදනා 
  3. සඤ්ඤා 
  4. සංකාර 
  5. විඤ්ඤාණ 
                                                යන ස්කන්ධ 5යි. 
  


(01) රූප ස්කන්ධය 


අපෝ    - යනු ද්‍රවයන් හෙවත් වැගිරෙන ස්වභාවයයි 
තේජෝ  - යනු ගින්දර හෙවත් තාපමය ස්වභාවයයි 
වායෝ   - යනු වායූන් හෙවත් සුලං ස්වභාවයයි 
පථවි    - යනු ඝණ ද්‍රව්‍යයන් හෙවත් තද ස්වභාවයයි 




මේවා සතර මහා ධාතූන් ලෙස හඳුන්වයි. අප මේ දකින ලෝකය පහත පරිදි ප්‍රධාන කොටස් 2 කට බෙදිය හැකිය. 

  • භෞතික දෑ 
  • අභෞතික දෑ 
භෞතික දෑ අපට ඇසින් හෝ කනින් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ ශරීරයෙන් හෝ නිරීක්ෂණය කල හැකිය. එනම් භෞතික දෑ අපගෙ පංචේන්ද්‍රයන්ට ගෝචර වේ.  

* ලෝකය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව වන භෞතික විද්‍යාව මුලුමනින්ම ගොඩනැගී ඇත්තේ පංච ඉන්ද්‍රියන්ට හසුවන්නා වූ නිරීක්ෂණයන් පාදක කරගෙනය. එබැවින් පංච ඉන්ද්‍රියන්ට ඔබ්බෙන් වන්නාවූ ලෝක සත්‍යතාවයන් භෞතික විද්‍යාවේ මූලධර්ම යොදාගනිමින් පැහැදිලි කිරීම අපහසු වේ.

අභෞතික දෑ ඉහත පරිදි නොවේ. ස්නායු යනු ශරීරය තුල සංවේදන සිදුකරන අභෞතික වූ සංඤා විශේෂයකි. එසේම අපගේ සිත අපගේ පංචේන්ද්‍රයට හසු නොවන අභෞතික දෙයකි. එහෙත් මෙහිදී පටලවාගත යුතු නොවන කරුණ නම් ඇතැම් අභෞතික දෑ භෞතික දෑ ඇසුරින් පංච ඉන්ද්‍රියන් හරහා ග්‍රහණය කරගත හැකිය යන කරුණයි. මෙයට හේතුව ඇතැම් අභෞතික දෑ හි ක්‍රියාකාරීත්වය නිසා භෞතික දෑහි නිරීක්ෂණය කල හැකි වන වෙනස් කම් සිදුවීමයි. 

උදා - කෙනෙකුට තරහ යන විට මුහුණ යම් වෙනසකට භාජනය විය හැක. එමගින් බාහිර සිට යමෙකුට තව අයෙකුගේ සිත නිරීක්ෂණය කල හැකිය.  

* එහෙත් අති බහුතර අභෞතික දෑහි ක්‍රියාකරීත්වය භෞතිකය සමග අසම්බන්ධව ක්‍රියාකරන බැවින් ඒවා සත්‍ය දැයි තහවුරු කිරීම පංච ඉන්ද්‍රියන් මගින් සිදු කිරීම අපහසු වේ.

මේ අනුව විශ්වයේ ඇති භෞතික දෑ රූප යටතට ගැනෙන අතර අභෞතික දෑ නාම යටතට (විඤ්ඤාණයද ඇතුලත්ව) ගැනීම සිදුවේ. 



ඒ අනුව රූප යනු සතර මහා භූතයෝ මෙන්ම සතර මහා භූතයන් මගින් ඉපදීමට ලක්වූ දේද ඇතුලුව සියලුම භෞතික දෑ  වේ. 

එහි

සතර මහා භූතයෝ යනු 
  • ඇසට දර්ශනය වන රූපයෝය
  • කයට ස්පර්ශ වන ස්පර්ශයෝද          
යටතට ගැනෙන අපෝ, තේජෝ, වායෝ, පථවි වෙති. 

සතර මහා භූතයන් මගින් ඉපදීමට ලක්වන දෑ යනු 

අපෝ, තේජෝ, වායෝ, පථවි අංශූන් හි විවිධ ගුණ නිසා ඇතිවන ඝට්ටනය හා කම්පන නිසා ඇතිවන 
  • කනට ශ්‍රවනය වන ශබ්දයෝය
  • නාසයට ආඝ්‍රාණනය වන ගන්ධයෝය
  • දිවට දැනෙන රසයෝද
අපෝ, තේජෝ, වායෝ, පථවි ඇසිරි කොට පවතින්නා වූ 
  • පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය ආදී මනට දැනෙන්නාවූ ඇතැම් ධම්මයන්ද
යන ඒවා වෙති.

* ජීවිත ඉන්ද්‍රිය යනු යම් දෙයක ආයුෂයක් පවතින ගුණයයි. ඒ අනුව පංච ස්කන්ධයටම විවිධ වූ ජීවිත ඉන්ද්‍රියන් පවතී. රූපයන්ටද ඒවා පවතින ආයුෂයන් පවතින හෙයින් රූප ස්කන්ධයටද ජීවිත ඉන්ද්‍රියයන් ඇතැයි කියනු ලැබේ. 


විශ්වයේ ඇති සියලුම දෑ, එනම් පංච ස්කන්ධයම ආයතන 12ක් මගින්ද ඉදිරිපත් කල හැකිය. 
ඒවා ඇස, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධ, දිව, රසයන්, කය, ස්පර්ශයන්, මන, ධම්මයන් වේ.

එම ආයතන 12න් ආයතන 10ක්ම මුලුමනින්ම රූප ස්කන්ධයට අයත් වේ. එක් ආයතනයක් යම් ප්‍රමාණයකින් රූප ස්කන්ධයට අයත්ය. එක් ආයතනයක් මුලුමනින්ම රූප ස්කන්ධයට අයත් නොවේ.

* ඇස,කන,නාසය,දිව,ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ යන ආයතන 10 මුලුමනින්ම       රූප ස්කන්ධයට අයත්ය. 
* ධම්ම ආයතනය තුල ඇතැම් ධම්ම (උදා -: ජීවිත ඉන්ද්‍රිය) පමණක් රූප ස්කන්ධයට                 අයත්ය.   
* මන ආයතනය මුලුමනින්ම රූප ස්කන්ධයට අයත් නොවේ. 


රූපයෝ අප සලායතන වලට ග්‍රහණය වන ආකාරය සලකා 6 ආකාරයෙන් ඉදිරිපත් කල හැකිය. 
  1. රූපය නම් වූ රූප 
  2. ශබ්දය නම් වූ රූප 
  3. ගන්ධය නම් වූ රූප 
  4. රස නම් වූ රූප 
  5. ස්පර්ශ නම් වූ රූප 
  6. ධම්මයන්ට අයත්වන රූප 
ලෙසට 6 ආකාරකින් පවතී.


මේ අයුරින් රූප ස්කන්ධය යනු සියලුම රූප ඇතුලත් වූ රූප ගොන්න වෙති. ඒ අනුව 

  1. ආධ්‍යාත්මික රූප 
  2. බාහිර රූප 
  3. ඕලාරික රූප 
  4. සූක්ෂ්ම රූප 
  5. හීන රූප 
  6. ප්‍රණීත රූප 
  7. දුර පවතින රූප
  8. ලඟ පවතින රූප 
  9. අතීත රූප 
  10. වර්තමාන රූප 
  11. අනාගත රූප 
යන 11 ආකාරයනට අයත් වන සියලුම රූපයන් කැටි කොට හකුළුවා "රූප ස්කන්ධය" ලෙසට හඳුන්වනු ලබයි. 

  1. ආධ්‍යාත්මික රූප යනු - තමා සතු තමා කෙරෙහි වන්නා වූ රූප යන්නයි 
  2. බාහිර රූප යනු - අන්‍යයන් සහ බාහිර ලෝකය කෙරෙහි වන්නාවූ රූප යන්නයි 
  3. ඕලාරික රූප යනු - ඇස,රූපයන්, කන, ශබ්දයන්, නාසය, ගන්ධයන්, දිව, රසයන්, කය, ස්පර්ශයන් යන රූපයි 
  4. සූක්ෂම රූප යනු - මේ ඇසට නොපෙනෙන්නා වූත්, කනට නෑසෙන්නා වූත්, නාසයට, දිවට, කයට නොදැනෙන්නා වූත් "ධම්ම" ඝණයට අයත් වන රූපයන් සූක්ෂම රූප වේ. උදා - ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, හිස් අවකාශය... ආදී
  5. හීන රූප යනු - සත්වයන්ගේ ගරු බුහුමන් නොලබන, අවමානයට පත් වන අප්‍රිය ජනක යැයි සම්මත කරගත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය හීන රූප වේ.
  6. ප්‍රණීත රූප යනු - සත්වයන්ගේ ගරු බුහුමන් ලබන, අවමන් නොකරන ප්‍රිය ජනක යැයි සම්මත කරගත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය ප්‍රණීත රූප වේ.
  7. දුර පවතින රූප යනු - තමාට දුරින් පවතින රූපයන් වේ.
  8. ලඟ පවතින රූප යනු - තමාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය මෙන්ම තමාට ලඟින් පවතින රූපයන් වේ.
  9. අතීත රූප යනු - පෙර මොහොතක හෝ පෙර භවයක හෝ පැවැති රූපයි 
  10. වර්ථමාන රූප යනු - වර්ථමානයේ විද්‍යාමානව පවතින රූපයි 
  11. අනාගත රූප යනු - මීලඟ මොහොතක හෝ මීලඟ භවයක හෝ උපදීමට නියමිත රූපයි   




(02) වේදනා ස්කන්ධය 

ලෝකයේ ඇති භෞතික මෙන්ම අභෞතික දෑ සත්වයා විසින් ස්පර්ශ කරන විට එයින් සත්වයා වෙත ලබාදෙන්නා වූ "වේදනාව" නම් වූ අභෞතික ගුණයක් ඇත. ඒ අනුව සලායතන මගින් ග්‍රහණය කරන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම සතුව වේදනා පවතී. ඒවා සත්වයා විසින් ස්පර්ශයේදී විඳිනු ලබයි. 


වේදනාවෝ ප්‍රධාන කොටස් 2කි 
  1. කායික වේදනා 
  2. මානසික වේදනා 

(i) කායික වේදනා - කයට දැනෙන වේදනා 
  • සුඛ වේදනාව 
  • දුක වේදනාව 
(ii) මානසික වේදනාව - සිතට දැනෙන වේදනා 
  • සෝමනස්ස වේදනාව  (සතුට, ප්‍රීතිය ආදී)
  • දෝමනස්ස වේදනාව (ශෝකය, බය, ආදී)
  • උපේක්ෂා වේදනාව (සෝමනස්සයත් දෝමනස්සයත් යන 2ම නොමැති මධ්‍යස්ථ බව)

ඒ අයුරින් 5ස් ආකාර වේදනාවෝ වේදනා යටතට ගනු ලැබේ 




සලායතන මගින් ග්‍රහණය කරන දෑහි 5 ස් ආකාර වේදනා ඇත්තේ මෙසේය 

* පරිසරයේදී අපට හමුවන රූප, ශබ්ද, ගන්ධ, රස, යන ඒවා ස්වභාවයෙන්ම උපේක්ෂා වේදනීය දෑය.

* ස්පර්ශයන් තුල කායික සුඛ මෙන්ම කායික දුක යන වේදනා පවතී.

* ධම්මයන් කායික වේදනා ගෙන නොදේ. එහෙත් මානසික වේදනා පැමිණවිය හැක.

පටිච්ච සමුප්පාදයේ ස්ඵර්ශය හේතුවෙන් අදාල රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය පිළිබඳව විශ්ලේෂණයන් ඇතිවී රාගයෙන් යුතු හෝ ද්වේශයෙන් යුතු හෝ මෝහයෙන් යුතු හෝ මේ කිසිවකින් තොර හෝ සිතිවිලි එනම් සංඤාවෝ (ධම්මයන්) ජනිත වේ.

ඒ අනුව ධම්මයන් තුල සෝමනස්සය, දෝමනස්සය, උපේක්ෂාව යන වේදනා පවතී.


ඒ අනුව වේදනාවෝ අප සලායතන වලට ග්‍රහණය වන ආකාරය සලකා 6 ආකාරයෙන් ඉදිරිපත් කල හැකිය. 
  1. රූපය තුල ඇති වේදනාව (උපේක්ෂාවකි)
  2. ශබ්දය තුල ඇති වේදනාව (උපේක්ෂාවකි) 
  3. ගන්ධය තුල ඇති වේදනාව (උපේක්ෂාවකි)
  4. රසය තුල ඇති වේදනාව (උපේක්ෂාවකි) 
  5. ස්පර්ශය තුල ඇති වේදනාව (සුඛ හෝ දුක් වේ)
  6. ධම්මයන් තුල ඇති වේදනාව (සෝමනස්ස, දෝමනස්ස හෝ උපේක්ෂාවකි)
ලෙසට 6 ආකාරකින් පවතී.

මේ අයුරින් වේදනා ස්කන්ධය යනු සියලුම වේදනා ඇතුලත් වූ වේදනා ගොන්න වෙති. ඒ අනුව 

  1. ආධ්‍යාත්මික වේදනා
  2. බාහිර වේදනා
  3. ඕලාරික වේදනා
  4. සූක්ෂ්ම වේදනා
  5. හීන වේදනා
  6. ප්‍රණීත වේදනා 
  7. දුර පවතින වේදනා 
  8. ලඟ පවතින වේදනා 
  9. අතීත වේදනා 
  10. වර්තමාන වේදනා  
  11. අනාගත වේදනා 
යන 11 ආකාරයනට අයත් වන සියලුම වේදනාවන් කැටි කොට හකුළුවා "වේදනා ස්කන්ධය" ලෙසට හඳුන්වනු ලබයි. 




(03) සංඤා ස්කන්ධය


සංඤාව යනු යම් භෞතික හෝ අභෞතික හෝ දෙයක් යම් සත්වයෙකු විසින් හඳුනා ගන්නා බවයි.

පටිච්ච සමුප්පාදයට අනුව ඇසින් රූපයක් දැකීම ආදී සලායතන මගින් ග්‍රහණය කරන ඕනෑම දෙයක් නිසා,
         - අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ආදී කොට ගොස් ස්ඵර්ශය බිහිවීම සිදුවේ. 

මෙහිදී චක්ඛු විඤ්ඤාණය, ඇසත්, රූපයත් යන 2 සමග එකතු වී විනිශ්චය කිරීම සිදුවේ. ඒ අනුව අදාල රූපය කුමක්දැයි ලෙසට සංඤාවෝ ඉපදීම සිදුවේ.

උදා :- ඔබ ඔබගේ මව දකින විට ඒ "අම්මා" ලෙස හඳුනා ගත්තද වෙන අයෙක් ඔබගේ මව දකින විට ඒ "නැන්දා" ආදී ලෙස විවිධ ලෙසට හඳුනා ගනී. එනම් විවිධ සංඤාවෝ ඇතිකරයි. 

උදා :- ඇපල් ගෙඩියක් දකින විට එය එක් අයෙකු විසින් "ප්‍රිය දෙයක්" ලෙසට හඳුනා ගත්තද, වෙනත් අයෙකු විසින් එය "අප්‍රිය දෙයක්" ලෙසට හඳුනා ගත හැක.

උදා :- කායික වේදනාව නිසා එය ගෙන දෙන ස්පර්ශය මත "දුක් වේදනාවකි" යන සංඤාව ඇතිවේ.

උදා :- ඔබට පරණ දුක්ඛිත මතකයක් (සංඤාවක්) නැගෙන විට "එය මට අමිහිරි මතකයකි" යන සංඤාව නැගිය හැක.

උදා :- ඔබට රාගී සිතක් උපදින විට (විඤ්ඤාණයක්) "එය රාගී සිතකි" යන සංඤාව නැගිය හැක.

උදා :- ඔබ යමක් සිතන විට (සංස්කාර) "මම සිතන ලදුයෙමි" යන සංඤාව නැගිය හැක.

මේ සියලු සංඤාවෝම අප සලායතන වලට ග්‍රහණය වන විවිධ දේ මත්තෙහි ඇතිවන හඳුනා ගැනීම් වේ. එබැවින් සංඤාවෝ
  1. රූප සංඤා
  2. ශබ්ද සංඤා
  3. ගන්ධ සංඤා
  4. රස සංඤා
  5. ස්පර්ශ සංඤා
  6. ධම්ම සංඤා
ලෙසට 6 ආකාරකින් පවතී.


මේ අයුරින් සංඤා ස්කන්ධය යනු සියලුම සංඤා ඇතුලත් වූ සංඤා ගොන්න වෙති. ඒ අනුව 

  1. ආධ්‍යාත්මික සංඤා
  2. බාහිර සංඤා
  3. ඕලාරික සංඤා
  4. සූක්ෂ්ම සංඤා
  5. හීන සංඤා
  6. ප්‍රණීත සංඤා 
  7. දුර පවතින සංඤා 
  8. ලඟ පවතින සංඤා 
  9. අතීත සංඤා
  10. වර්තමාන සංඤා  
  11. අනාගත සංඤා 
යන 11 ආකාරයනට අයත් වන සියලුම සංඤාවන් කැටි කොට හකුළුවා "සංඤා ස්කන්ධය" ලෙසට හඳුන්වනු ලබයි. 




(04) සංස්කාර ස්කන්ධය

සංස්කාර යනු යම් භෞතික හෝ අභෞතික දෙයක ඇති උත්පාදවන ස්වභාවයයි. 

ඒ ඒ සංස්කාරය ඇතිවීමට ඊට අදාල වූ හේතූන් විද්‍යාමාන වියයුතුය. ඒ අනුව සංස්කාර යනු හේතූන් නිසා උපත ලබන බවයි. විශ්වයේ අහේතුකව උපත ලබන යමක් ධර්මය අධ්‍යනය කිරීමේදී අපට හමු නොවේ. එබැවින් විශ්වය තුල ඇති සියල්ලම තුල සංස්කාරය පවතී.

මෙකී සංස්කාරයෝ ඉපදීමට ලක්වන්නේ යම් යම් හේතූන් නිසාවෙන් බැවින් එකී හේතූන්ද යම් යම් හේතූන් නිසා උපත ලද සංස්කාරයෝම වෙති. එබැවින් මෙලොව ඇතිවන ඕනෑම දෙයක් එහි හේතූන් නිසාම ඒවා ප්‍රත්‍යකොටගෙන පවතින බැවින්, එකී හේතූන්ගේ නිරුද්ධය සමගම එම උපත ලද දෙයද විනාශයට පත්වේ.

එබැවින් " සියලුම සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය ". උපත ලැබූ ඕනෑම දෙයක් නියත වශයෙන්ම විනාශයට පත්වේ.

උදා :- පහනක් දැල්වීම යනු පහන් දැල්ලේ සිදුවන උත්පාදයයි. ඒ අනුව එහි සංස්කාරය එම දැල්ලේ උත්පාදයයි.

පහනක ආලෝකය පිණිස 
  • පහනද
  • තෙල්ද
  • පහන් තිරයද 
  • වාතයද 
ප්‍රත්‍යයන් වශයෙන් ආධාර වේ. එසේම "ගින්දර" මගින් පහන දල්වන බැවින් ගින්දර පහනේ ආලෝකය උත්පාදය පිණිස හේතුව වශයෙන් ආධාර වේ.


මේ එකදු හේතූවක් හෝ ප්‍රත්‍යයක් හෝ නොලැබුනහොත් පහන් ආලෝකය නිර්මාණය නොවේ. එසේම යම් විටක මින් එකදු හේතුවක් හෝ වැයවී ගියේ නම් පහන් එලියද විනාශ වීම (නිවීයාම) ඇරඹේ. ඒ අනුව 
  • පහන් තිරය අවසන් වීමෙන් 
  • සුලඟ හෝ වෙන යම් දෙයක් නිසා ගින්දර නිවීයාමෙන් 
  • පහන බිඳී යාමෙන් 
  • තෙල් ඉවර වීමෙන් 
  • වාතය නොලැබීමෙන් 
යන එකදු හෝ හේතුවක් අභාවයට යාමෙන් පහන් එලියද අවසන් වී යාම සිදුවේ. 

ඒ අනුව පහන් එලිය වූ කලී ඉහත හේතූන් නිසාම හට ගන්නා වූත්, ඉහත හේතූන්ගේ අභාවයෙන් නිරුද්ධ වන්නා වූත් සංස්කාරයකි.


ස්කන්ධ වශයෙන් ගත් කල 
  • රූප ස්කන්ධය සතර මහා භූත හේතුවෙන් උපදී. එම නිසා රූප ස්කන්ධය තුල සංස්කාර ඇත. 
  • වේදනා, සංඤා, ස්කන්ධයෝ ස්පර්ශය හේතුවෙන් උපදී. ඒ අනුව එම ස්කන්ධ තුලද සංස්කාර ඇත. 
  • විඤ්ඤාණ ස්කන්ධය නාම-රූප හේතුවෙන් උපදී. ඒ අනුව විඤ්ඤාණ ස්කන්ධය තුලද සංස්කාර ඇත. 
  • ඉහත සිවු ස්කන්ධයන්ගේ උත්පාද ස්වභාවය ඇතිවීමටද යම් යම් හේතූන්ද ප්‍රත්‍යයන්ද පවතී. එනම් සංස්කාරයන්ද ඇතිවීමට යම් යම් හේතූන්ද ප්‍රත්‍යයන්ද විද්‍යාමාන වියයුතුය. ඒ අනුව සංස්කාර ස්කන්ධයද හේතූන් ප්‍රත්‍යයන් නිසා ඇතිවේ. ඒ අනුව සංස්කාර ස්කන්ධය තුලද  සංස්කාර ඇත.
එබැවින් මෙම පංච ස්කන්ධයෝම හේතූන් නිසාම හටගන්නා ඒ හේතූන්ගේ අභාවයෙන් වැනසීයන දෑ වේ. එමනිසා පංච ස්කන්ධයෝ සංස්කාරයෝම වෙති. 


පංච ස්කන්ධයෝම සංස්කාරයෝ වෙත් නම් පංච ස්කන්ධය තුල සංස්කාර ස්කන්ධය යටතට ගැනෙන්නේ කුමක්ද ?

මෙහිදී පටලවා ගත නොයුතු කාරණයක් ඇත. එය මෙසේ සිතන්න. පංච ස්කන්ධයෝම විශ්වයේ පවතින අහේතුකව උපත ලද නිත්‍ය වූ දෑ නොවේ. එනම් පංච ස්කන්ධයම හේතුන් නිසා හටගත්තා වූ දේ වේ. ඒ ඒ හේතූන්ද ඊට අදාල වූ එක් එක් වූ හේතූන් නිසාම හටගත්තා වූ දේම වේ. හේතූන් නිරුද්ධ වත්ම එමගින් උපන් දෑ විනාශයට පත්වන බැවින් පංච ස්කන්ධයෝ හටගැනීමට තුඩු දුන් හේතූන්ද යම් යම් කාලයන්හිදී නිරුද්ධ වේ. එවිට උපන් පංච ස්කන්ධයෝද නිරුද්ධ වීම සිදු වේ. මෙලෙස හේතූන් නිසා පංච ස්කන්ධයන්ගේ හටගැනෙන ස්වභාවය ඒවා සතු සංස්කාර බාවයයි. එම සංස්කාර බව ගැනෙනුයේ සංස්කාර ස්කන්ධය යටතටය.

එසේ සංස්කාර ස්කන්ධය අර්ථ දැක්වුවද සංස්කාර ස්කන්ධය යටතට ගැනෙන්නා වූ ඉහත සඳහන් සංස්කාරයෝද යම් යම් හේතූන්ද ප්‍රත්‍යයන්ද මගින් උත්පාදය වන බැවින් සංස්කාරයන් තුලද සංස්කාරයෝ ඇතැයි කියනු ලැබේ. ඒ අර්ථයෙන් සංස්කාර ස්කන්ධයද යලිත් සංස්කාරයෝ යැයි කියනු ලැබේ. ඒ අර්ථයෙන් සංස්කාර ස්කන්ධය තුල ඇති සංස්කාරයෝද යලිත් සංස්කාර ස්කන්ධයම යටතට ගැනේ.  

ත්‍රිපිටකයේ සඳහන් වන පරිදි ඇතැම් සංස්කාරයන්ට උදාහරණ පහත පරිදි වේ.

ආස්වාසය, ප්‍රාස්වාසය, ස්පර්‍ශන්, චෙතනාවෝ, විතර්‍කයන්, විචාරයන්, ප්‍රීතිය, දෝමනස්සය,  චිත්තෙකාග්‍රතා, ශ්‍ර‍ද්ධෙන්‍ද්‍රිය, විර්යෙන්‍ද්‍රිය, ස්මෘතීන්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රිය, ජීවිතෙන්‍ද්‍රිය, සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්ප, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති, සම්‍යක් සමාධිය, ශ්‍රද්ධාබල, වීර්යබල, ස්මෘතිබල, සමාධිබල, ප්‍රඥාබල, හිරිබල, ඔත්තප්පබල, අලොභ, අද්වෙෂ, අමොහ, අනභිධ්‍යා, අව්‍යාපාද, හිරිය, ඔත්තප්පය, කායප්‍රශ්‍රබ්ධිය, චිත්තප්‍රශ්‍රබ්ධිය, කායලඝුතා, චිත්තලඝුතා, කායමෘදුත්‍වය, චිත්තමෘදුත්‍වය, කායකර්‍මණ්‍යතාය, චිත්තකර්‍මණ්‍යතාය, කායප්‍රාගුණ්‍යය,  චිත්තප්‍රාගුණ්‍යය, කාය-සෘජුත්‍වය, චිත්ත-සෘජුත්‍වය, ස්මෘතිය, සම්‍යග්ඥානය, ශමථය, විදර්‍ශනාය, ප්‍රග්‍රාහය, අවික්‍ෂෙපය, 

තවද එසමයෙහි වෙදනාස්කන්‍ධය, විඥානස්කන්‍ධය, අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද - මේ සංස්කාරස්කන්‍ධ යන්ට උදාහරණයි.



පටිච්ච සමුප්පාදය අධ්‍යනය කිරීමේදී සංස්කාරයෝ මෙසේ ඉදිරිපත් කර ඇත. ඒ 
  • පුණ්‍යාභී සංස්කාර 
  • අපුණ්‍යාභී සංස්කාර 
  • ආනඤ්ජාභී සංස්කාර 
  • කාය සංස්කාර 
  • වාචී සංස්කාර 
  • චිත්ත සංස්කාර 
මෙහිදී සංස්කාරයෝ ලෙසට ගැනෙනුයේ ඒ ඒ විඤ්ඤාණයේ උපත ලබන බවයි. එනම් චේතනාවයි. මේ අයුරින් ධර්මය තුල බොහෝ විට චේතනාව සංස්කාර ස්කන්ධය ලෙසට ගෙන ඇතැයි දැකිය හැකිය. එයට හේතුව විශ්වයේ ඇති දෑ අතුරින් ඉපිද ඉක්මනින්ම නැසෙන අඩුතම ආයු ඇති දෙය වන්නේ සිතක් වීමයි. ඒ අනුව සිතක ආයුෂ චිත්ත ක්ෂණ 1ක් යැයි කියනු ලැබේ. ඒ අනුව නිරතුරුවම අප සත්වයෝ තුල සිත් හට ගැනෙන නිසා නිරතුරුවම චේතනාවෝ ඇතිවේ. ඒ අර්ථයෙන් චේතනාවෝ සංස්කාරයෝ වෙතියි ලෙසට ව්‍යවහාර කරනු ලබයි. 

චේතනාව වූ කලී සලායතන මගින් ගනු ලැබීම අනුව චේතනාවෝ 6 ආකාර වේ. 
  1. රූපය පිළිබඳව චේතනා 
  2. ශබ්දය පිළිබඳව චේතනා 
  3. ගන්ධය පිළිබඳව චේතනා 
  4. රසය පිළිබඳව චේතනා 
  5. ස්පර්ශය පිළිබඳව චේතනා 
  6. ධම්මයන් පිළිබඳව චේතනා
ලෙසට 6 ආකාර වේ.  


මේ අයුරින් සංස්කාර ස්කන්ධය යනු සියලුම සංස්කාර ඇතුලත් වූ සංස්කාර ගොන්න වෙති. ඒ අනුව 

  1. ආධ්‍යාත්මික සංස්කාර 
  2. බාහිර සංස්කාර 
  3. ඕලාරික සංස්කාර 
  4. සූක්ෂ්ම සංස්කාර 
  5. හීන සංස්කාර 
  6. ප්‍රණීත සංස්කාර 
  7. දුර පවතින සංස්කාර  
  8. ලඟ පවතින සංස්කාර 
  9. අතීත සංස්කාර 
  10. වර්තමාන සංස්කාර   
  11. අනාගත සංස්කාර 
යන 11 ආකාරයනට අයත් වන සියලුම සංස්කාරයන් කැටි කොට හකුළුවා "සංස්කාර ස්කන්ධය" ලෙසට හඳුන්වනු ලබයි. 




(05) විඤ්ඤාණ ස්කන්ධය

සංස්කාර නිසා විඤ්ඤාණ උපදී. විඤ්ඤාණ යනු විශ්වයේ ඇති භෞතික හා අභෞතික දෑ යම් සත්වයෙකු විසින් තම සිත මගින් දැනගත් බවයි.

ඇසින් රූපයක් දකින විට ප්‍රථමයෙන් සංස්කාරයක් ඇතිවේ. ඒ "මේ ඇසට ග්‍රහණය වූයේ කුමක්ද යන්න සිතන ලද බවයි". එනම් චේතනාවයි. මේ සංස්කාරය හේතුකොටගෙන ඇස කෙරෙහි ස්ථානගත වූ සිතක් උපදී. මේ ඇසින් දුටු රූපය එහි යථාර්ත ස්වරූපයෙන් යුතුවම රූපයක් ලෙසට දැනගත් සිතයි. දැනගත් සිත හඳුන්වන්නේ විඤ්ඤාණය යන නමිනි. මෙකී විඤ්ඤාණය උපදිනුයේ ඇස ස්ථානගත කරමින් නිසා මෙයට චක්ඛු විඤ්ඤාණය යැයි කියනු ලැබේ. 




චක්ඛු විඤ්ඤාණය යනු ක්ලේශයන්ගෙන් කිලිටු වූ සිතක් නොවේ. යථාර්ත රූපය යථාභූත ලෙසටම දැනගත් ප්‍රභාස්වර සිතයි.

උදා :- ඔබ ඔබගේ අම්මාව දකින්නේ යැයි සිතන්න. එවිට සංස්කාර ප්‍රත්‍යයෙන් උපදින චක්ඛු විඤ්ඤාණය මගින් ඔබ දකින්නේ භෞතික රූපයක් පමණි. එම රූපය විශ්ලේෂණය කොට "මේ සිටින්නේ අම්මාය" ලෙසට සංඤා පැනවීමක් සිදු නොවේ.

* මෙසේ උපදින පිරිසිදු සිත ක්ලේශයන්ගෙන් කිලිටි වී යන්නේ ස්ඵර්ශයේදීය. පටිච්ච සමුප්පාදය තුල මෙය විස්තර කොට ඇත. මෙසේ,


මේ සියලු විඤ්ඤාණයෝ අප සලායතන වලට ග්‍රහණය වන විවිධ දේ මත්තෙහි ඇතිවන දැනගැනීම් වේ. එබැවින් විඤ්ඤාණයෝ  
  • ඇසින් රූපයක් දැකීම නිසා චක්ඛු විඤ්ඤාණය උපදී 
  • කනින් ශබ්දයක් ඇසීම නිසා සෝත විඤ්ඤාණය උපදී  
  • නාසයින් ගන්ධයක් ආඝ්‍රාණය නිසා ඝාණ විඤ්ඤාණය උපදී  
  • දිවෙන් රසයක් ගැනීම නිසා ජිව්හා විඤ්ඤාණය උපදී  
  • ශරීරයට ස්පර්ශයක් ඝට්ටනය නිසා කාය විඤ්ඤාණය උපදී  
  • මනසට ධම්මයක් ලැබීම නිසා මනෝ විඤ්ඤාණය උපදී   
ලෙසට 6 ආකාරයකින් ඉදිරිපත් කල හැකිය. 



මේ අයුරින් විඤ්ඤාණ ස්කන්ධය යනු සියලුම විඤ්ඤාණ ඇතුලත් වූ විඤ්ඤාණ ගොන්න වෙති. ඒ අනුව 

  1. ආධ්‍යාත්මික විඤ්ඤාණ 
  2. බාහිර විඤ්ඤාණ 
  3. ඕලාරික විඤ්ඤාණ 
  4. සූක්ෂ්ම විඤ්ඤාණ
  5. හීන විඤ්ඤාණ
  6. ප්‍රණීත විඤ්ඤාණ 
  7. දුර පවතින විඤ්ඤාණ  
  8. ලඟ පවතින විඤ්ඤාණ
  9. අතීත විඤ්ඤාණ
  10. වර්තමාන විඤ්ඤාණ   
  11. අනාගත විඤ්ඤාණ
යන 11 ආකාරයනට අයත් වන සියලුම විඤ්ඤාණයන් කැටි කොට හකුළුවා "විඤ්ඤාණ ස්කන්ධය" ලෙසට හඳුන්වනු ලබයි. 



පරිහරණයට ත්‍රිපිටකය 



සියලු ස්කන්ධ පිළිබඳව පොදු කරුණු -

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - ආත්මානු දිට්ඨිය]

[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුක්තය - උපය වර්ගය - උපාදාන පරිවතත්ත සූත‍්‍රය]

[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුත්තය - ඛජ්ජනීය වර්ගය - ඛජ්ජනීය සූත‍්‍රය]

රූප ස්කන්ධය පිළිබඳව -

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි]

[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 2 රූප කාණ්ඩය - රූප විභත්ති - දුක නිර්දේශය]

[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 1 - ස්කන්ධ විභංගය - සූත‍්‍රාන්ත භාජනීය - 8]

[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 2 - ධම්මහදය විභංගය - 1106] 

[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - 373] 

[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 1 - ආයතන විභංගය - 231 - 237]

[අභිධර්ම පිටකය - ධාතුකථා ප‍්‍රකරණය - නිර්දේශ - 1 සංග‍්‍රහ අසංග‍්‍රහ පද නිර්දේශය]


වේදනා ස්කන්ධය පිළිබඳව -

[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - වේදනා සංයුක්තය - රහොගත වර්ගය - පඤ්චකඕග   සූත‍්‍රය]

[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉන්ද්‍රිය සංයුක්තය - සුඛින්ද්‍රිය වර්ගය - තතිය විභංග සූත‍්‍රය] 

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි]


සංඤා ස්කන්ධය පිළිබඳව -

[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - එකාදසක නිපාතය - නිස්සය වර්ගය - පඨම සඤ්ඤා සූත‍්‍රය / මනසිකාර සූත‍්‍ර]

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි]

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - එකක නිපාතය - ඒකධම්ම පාළිය - අච්ඡුරාසංඝාත වර්ගය - 1.16.6. 73-92]

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - දුක නිපාතය - බාල වර්ගය - 2.2.10.3]

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - පඤ්චක නිපාතය - සඤ්ඤා වර්ගය - පඨම හා දුතීය සඤ්ඤා සූත‍්‍රය]

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡුක්ක නිපාතය - මහා වර්ගය - නිබ්බෙධික සූත‍්‍රය]

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - සත්තක නිපාතය - අව්‍යාකත වර්ගය - පචලායන සූත‍්‍රය] 

[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - ආනිසංස වර්ගය - සාරිපුත්ත සූත‍්‍රය]

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - 49 සත්‍ය විවර්ත ඤානය]

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - ආත්මානු දිට්ඨිය]

[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 2 - බුද්දකවත්ථු විභංගය - 870 - 886]

[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 1 චිත්තොත්පාදකාණ්ඩය - පඨමං චිත්තං - පදභාජනීයං හා කොට්ඨාසවාරො]

[අභිධර්ම පිටකය - ධාතුකථා ප‍්‍රකරණය - නිර්දේශ - 1 සංග‍්‍රහ අසංග‍්‍රහ පද නිර්දේශය]


සංස්කාර ස්කන්ධය පිළිබඳව -

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කතා - ආත්මානු දිට්ඨිය]

[සූත්‍ර පිටකය -සංයුත්ත නිකාය - සළායතන වර්ගය - චිත්ත සංයුත්තය - දුතීය කාමභූ සූත්‍රය]

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - උදාන පාළි - පාටලීගාමීය වර්ගය - පළමු දබ්බ සූත්‍රය]

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි]

[අභිධර්ම පිටකය - කථාවස්තුප‍්‍රකරණය 2 - අෂ්ටම වර්ගය - ජීවිතින්ද්‍රිය කථා]

[අභිධර්ම පිටකය - කථාවස්තුප‍්‍රකරණය 2 - නවක වර්ගය - අනුසයා අනාරම්මණා’ති කථා]

[අභිධර්ම පිටකය - කථාවස්තුප‍්‍රකරණය 2 - නවක වර්ගය - ඤාණං අනාරම්මණන්ති කථා]

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 15 - 12]
[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 1 චිත්තොත්පාද කාණ්ඩය - පඨමං චිත්තං - පදභාජනීයං හා කොට්ඨාසවාරො]

[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 1 - ස්කන්ධ විභංගය - සූත‍්‍රාන්ත භාජනීය - 35 සිට]

[අභිධර්ම පිටකය - ධාතුකථා ප‍්‍රකරණය - නිර්දේශ - 1 සංග‍්‍රහ අසංග‍්‍රහ පද නිර්දේශය]

[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - වේදනා සංයුක්තය - රහොගත වර්ගය - රහෝගත සූත‍්‍රය]

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - එකක නිපාතය - ශුක වර්ගය - 8]


විඤ්ඤාණ ස්කන්ධය පිළිබඳව -

[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - එකක නිපාතය - ශුක වර්ගය - 9]

[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - 7 මහා වර්ගය - අස්සුතවන්තු සූත‍්‍රය]

[අභිධර්ම පිටකය - ධාතුකථා ප‍්‍රකරණය - නිර්දේශ - 1 සංග‍්‍රහ අසංග‍්‍රහ පද නිර්දේශය]


Comments

Post a Comment

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

1. සලායතන - සෝවාන් වීම පිණිස