4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

(මෙහි අන්තර්ගත සියලුම පින්තූර වල ගෞරවය ඒවායේ අයිතිකරුවන් සතුය)


නිර්වානයේ ප‍්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම 








සෝවාන් මගට පැමිණීමට සිත නොදෙන්නේ ඇයි !


බුදුන් යනු කවරෙක්ද ? මිනිසෙකු වේද ? දෙවියෙකු වේද ? කුමන හේතුවක් නිසා උන්වහන්සේට අප බුදුන් යැයි පවසන්නේද ?

බුදුන් වහන්සේ ලෝක සත්ව වාසීන් උදෙසා කුමන කාරණයක් වදාළන්නේද ? උන්වහන්සේගේ ධර්මයේ පෙන්වාදීම කුමක් වේද ?

බුදුන් වහන්සේ දේශනා කල ධර්මය නිසි අයුරින් අනුගමනය කිරීමට ලොව සිටින සත්වයින්ට හැකිද ? නොඑසේ නම් එකී ධර්මය පිළිපැද එහි ප්‍රථිඵල ගත හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක් වේද ? නැතහොත් බුදුන් විසින් පෙන්වා දුන් මාර්ගයේ ඵල නෙලාගත් සංඝයාන් වහන්සේලා ලොව සැබැවින්ම සිටින්නට ඇතිද ?

යනාදී වශයෙන් බුද්ධ, ධම්ම, සංඝ කෙරෙහි ඔබට යම් යම් ගැටළු මතුවී තිබේද ? ඒ ආකාරයේ ගැටලු ඔබටත් පවතී නම් ඔබ පිළිබඳව දැඩිව විමසීමට මා නොම වෙහෙසෙමි. මක් නිසාද ඔබ නියත වශයෙන්ම යම් කලක ඔබගේ ගැටලු වලට විසඳුම් ලබාගන්නවා සහතිකය. 


                         
එහෙත් බෞද්ධයන් ලෙස මෙලොව ඉපදෙන අප බහුතරයක් දෙනා ප්‍රඤාවට වඩා ශ්‍රද්ධාවට මුල්තැන දෙන්නන් වෙමු. එබැවින් බුදුන්, දහම්, සඟුන් ගැන සැක ඇතිකර ගැනීමට පවා බිය වෙති. නොදන්නා බුදුන්, දහම්, සඟුන් ගැන ශ්‍රද්ධාවට පත්වන අප බහුතරය අන්ධ ශ්‍රද්ධාවන්තයින් ලෙස හැඳින්වේ. මේ අන්ධ ශ්‍රද්ධාව නිසා අප බෞද්ධයන් විසින් නොදන්නා බුදුවරයෙකුට වැඳ වැඳ සිටිනවා මිස උන්වහන්සේට බුදුන් ලෙසට ආමන්ත්‍රණය කරන්නේ මන්දැයි සෙවීමට සිතක් ඇති කරගන්නේ නැත. එබැවින් අපහට ධර්මය හමුවන්නේ කෙසේද ? මේ ශ්‍රද්ධාවෙන් උපන් බිය ප්‍රථම ගැටලුවයි. 

කෙසේ වෙතත් බෞද්ධයන් ලෙස ඉපදෙන බහුතරය දෙනාට බුදුන් පිළිබඳව අසා දැනගත් දැනුමක් තිබේ. නමුත් මම එයට බුදුන් පිළිබඳව අවබෝධය යැයි නොකියමි. ඒ අනුව බුදුන් වහන්සේ යනු ලොව සත්වයා සසර දුකින් මුදවාගැනීම පිණිස මාර්ගය දේශනා කල ශාස්තෘන් වහන්සේ ලෙසට විශ්වාස කරන දැනුමක් අප බෞද්ධයන් සියල්ලන්ම තුල පාහේ ඇත. එහෙත් මක් නිසා බුදුන් වහන්සේ ලොව සත්වයා දුකින් මුදවාලන්නට මාර්ගය පෙන්වා දුන්නේදැයි පිළිබඳව හරිහැටි දැනුමක් නොපවතී. එබැවින් "අපද වහ වහා එම මාර්ගය අනුගමනය කරනවා හැර ප්‍රමාදවීම අනුවණය" යන්න අපහට අවබෝධ නොවේ. 


                          
අප සංඝයා වහන්සේලා පිළිබඳව හා රහතන් වහන්සේලා පිළිබඳව සිතන්නේ අත්භූත ලෙසය. රහත් වීම අපට කල හැක්කක් නොවේ. රහත් වීමට දිවි පරදුවට තබා කරන කැපවීමක් ඇත. රහත් වුවහොත් අපට සියල්ල අහිමි වේ....ආදී වශයෙන් බොහෝ මිත්‍යා මත වල එල්ලී සිටිමින් අප විසින්ම අපව ධර්මයෙන් ඉවත් කරවීමට සලස්වා ගනී. මේ බුදුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව, ගෞරවය නිසා උන්වහන්සේගේ මාර්ගයට නාමික වශයෙන් ගෞරව කරනවා මිස, අවබෝධය ලබාගැනීමෙන් මාර්ගය පිළිබඳව පැහැදීමක් ඇතිකරගැනීම නොවේ. 

නමුත් මේ අන්ධ ශ්‍රද්ධාවන්තයින් නොදන්නා කරුණ නම් සෝවාන් ඵල ලාභියා මාර්ගය තුල ගමන් කරන්නේ කිසිඳු දෙයක් අහිමි කරගැනීමෙන් නොවන වගයි. සැප අහිමි කරගන්නට නම් නිවන් මගට පැමිණීමේ ඵලය කුමක්ද ? මමද පෞද්ගලිකවම සැපයට ප්‍රියකරන නිසාම බුදුන්ගේ මාර්ගය අනුගමනය කිරීමට ප්‍රිය කරන්නෙක් වෙමි. නමුත් අපගේ අඤාණ බෞද්ධයන් මෙය දකින්නේ දුක්ඛිත මාර්ගයක්, සැපය අහිමි වීමේ මාර්ගයක් ලෙසය. එහෙයින් ඔවුන් කවදා නම් යථාර්ථයට පැමිණෙන්නේ වේද යන්න ගැටලුවකි. මාර්ගය වරදවා වටහා ගැනීම දෙවන ගැටලුවයි.

තුන්වන ගැටලුව වන්නේ දුර නොබැලීමත්, ලඟ බැලීමත්ය. බෞද්ධ හෝ බෞද්ධ නොවන ලොව සියලු සත්වයෝ විවිධාකාරයේ ප්‍රශ්ණ නිසා පීඩා විඳීම නොරහසකි. ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා පවා විවිධ සිදුවීම් මුල් කරගෙන හෝ රෝගාබාධ නිසා හෝ නියත වශයෙන්ම දුක් විඳිනවා යන්න සත්‍ය වේ. එනමුත් අප අපගෙ සියලුම ගැටලු වලට මාරාවේශ වූ පිළිතුරු ලබාදීමට සැදී පැහැදී සිටින්නෙමු. අපගේ ජීවන ගැටලු වලට මානවයා විසින්ම සොයාගන්නා ලද විසඳුම් සමාජය තුල දක්නට ලැබේ. ඒවා බොහෝවිට ගැටලුවට කෙටි කාලීන විසඳුම් ලබාදෙන බව අප දනී. 

උදාහරණ ලෙස ඇතැමුන් ප්‍රශ්න වලින් පලාගොස් තාවකාලිකව සතුටක් ලබති. ඇතැමුන් තමාට ප්‍රශ්නයක් වන දෑ විනාශ කර දැමීමෙන් තාවකාලිකව සතුටු වෙති. ඇතැමුන් මුදල් බලයෙන් ගැටලුව යටපත් කිරීම පිණිස මුදල් සෙවීමේ නිරත වෙති. මුදල් මගින් තාවකාලිකව සතුටක් ලබා ගනිති. කෙසේ වෙතත් මේ මාරාවේශ වූ ජීවන ගැටලු විසඳීමේ ක්‍රමවේද මගින් දුක යටපත් වන්නේ තාවකාලිකවය. එබැවින් සත්වයෝ නිරතුරුවම දුක යටපත් කිරීම පිණිස නිමා නොවන දුක්ඛිත සටනක නිරතව සිටින බව නොරහසකි. නමුත් මෙයද අවබෝධ වන්නේත් බොහොම ස්වල්ප දෙනෙකුට පමණකි. 

කුසගින්න ඔබට දුකක් නොවේද ? නමුත් එයට ඇති මාරාවේශ වූ විසඳුම නම් කෙසේ හෝ මහන්සි වී ආහාර සොයා ගැනීමයි. එනමුත් යලිඳු කුසගින්න ඇතිවේ. එබැවින් යලිඳු ආහාර සෙවීමේ සටනට ඔබ අවතීර්ණ වේ. ඔබට ඔබගේ රාජකාරිමය කාර්යයන් කරගැනීම පිණිස පයින් ගමන් කිරීම දුකකි. නමුත් ඔබ මහන්සි වී මුදල් සෙව්වොත් වාහනයක් මිලදී ගැනීමට ඔබට හැකිය. එමගින් ඉහත දුකින් මිදිය හැක. නමුත් එකී වාහනය නඩත්තු කරගැනීමට ඔබ තව තවත් මහන්සි වී මුදල් සෙවිය යුතුය. තවද එකී වාහනය අනතුරකට පත්වී විනාශ වී යා හැකියි, සොරුන් විසින් පැහැර ගත හැකිය. එසේ වුවහොත් පෙර පැවති පයින් ගමන් කිරීමේ දුකට ඔබ යලිත් පත්වේ. ඊටත් වඩා ඔබ සිටි තත්වයෙන් පහත වැටීම සාමාජීය වශයෙන් ඔබට දුකක් වේ. එය වලක්වා ගැනීමට තම වාහනය පරිස්සම් කිරීමට දැඩිව මහන්සි වීමට ඔබට සිදුවේ. නැතහොත් තව තවත් මුදල් රැස්කිරීමට මහන්සි විය යුතුය. 

                            
තවත් කරුණක් වන්නේ ඔබ හදිසියේ මිය ගියහොත් ඔබ ඔබගේ මහන්සියෙන් ලබාගත් වාහනය ඔබට මීලඟ භවයට රැගෙන යාමට නොහැකි වීමයි. එබැවින් මීලඟ මනුෂ්‍ය භවයේත් ඔබට පයින් ගමන් කිරීමේ දුක පැමිණෙනවා නියතය. එබැවින් ඔබ මෙම දුකට විසඳුම් සෙවූ ක්‍රමය වූ වාහනයක් මිලදී ගන්නවා හැර වෙන විකල්පයක් ඔබට නොවේ. එබැවින් වටහාගන්න ! අප කෙතරම් රැවටී ඇතැයිද කියා...! කාම ආශාවල් වෙනුවෙන් අප කෙතරම් ඵල රහිත වූ මාරාවේශ වූ පිළිතුරු සොයමින් සිටින්නේද ? මෙය ඔබගේම අවබෝධයට භාර කරමි.    

සැබැවින්ම අපගේ දුකට මෙසේ පිළිතුරු සොයන අප බුදුන් වහන්සේටත් වඩා කෙරුම් කාරයෝ වෙමු. අපට බුදුන්ගේ බණ වැඩක් නැත. අප කෙරුමෝ වෙමු. 

මෙසේ අපහට ජීවිතයේ පවතින ඉටුකර ගැනීමට පොර බදින අධික ආශාවන් සමග පවතින අධික ගැටලු හා කාර්‍ය බහුලත්වය නිසාම මේ සියලු දුකට ස්ථිරසාර විසඳුමක් සෙවීමට අප උත්සුක නොවේ. මීට ප්‍රධාන හේතුව අපට ලෝකය විනිවිද දැකීමේ බුද්ධිය නොමැති වීමයි. මේ අයුරින් අපගේ මෝඩකම නිසාම ලඟ පමණක් බැලීමත්, දුර නොබැලීමත් තුන්වන ගැටලුවයි.

මීලඟ ගැටලුව වන්නේ බාහිර සමාජයේ පවතින රැල්ලෙන් පිටතට පැනීමට අප අපොහොසත් වීමයි. ඉහතින් පෙන්වාදුන් කිසිඳු ගැටලුවක් නොපවතින පුද්ගලයෙකුට වුවද මෙම ගැටලුව පැවතිය හැක. සියලු සත්වයන් තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම ගැන දැඩිව සිතති. මහා දුක් කඳක් තමාට ලැබුනද කම් නැත. ඊටත් වඩා තම ආත්ම ගරුත්වය සුරැකීමේලා වෙහෙස වෙති. සාමාන්‍ය අඤාණ මිනිසා මාරයා විසින් කාම ලෝකයට දැඩිව බැඳ තබා ඇත. එබැවින් කාමයන්ගෙන් නික්මීමට ඇති විශිෂ්ඨ මාර්ගයන් පවා ප්‍රසිද්ධියේ හැදෑරීමට ලැජ්ජා වෙති. ධර්ම ශ්‍රවණයට ලැජ්ජා වෙති. මේ ලැජ්ජාව අපට ඇති වන්නේ ඇයි? කාම ලෝකය තුල ඇලී සිටින සත්වයින් නිශ්චිත වූ රැල්ලකට අසුවී ඒ මේ අත ගලායති. එකී රැල්ල තුල පාවීම නැවැරදි දේ ලෙසට වරදවා වටහා ගනිති. එකී රැල්ලෙන් පිටව යන්නෙකු අඤාණයෙකු, වීර්‍යයෙන් තොර අයෙකු, සමාජ දුක සමග සටන් කල නොහැක්කෙකු, සමාජය අසමත් වූවෙකු ලෙසට අවතක්සේරු කරති. මේ වරදවා වටහාගත් බව ඇතිවන්නේ තමා ලෝකය විනිවිද දැකීමේ බුද්ධියෙන් තොර අයෙකු නිසාය. මෙසේ සමාජයේ බහුතරය අවිද්‍යාවෙන් අන්ධවූ අඤාණයන් නිසා පහසුවෙන් මාරග්‍රහණයට ලක්වීම සිදුවේ.

කෙසේ වෙතත් යම් නුවණැති අයෙකු ලෝකය විනිවිද දැකීම මගින් සත්‍ය වටහා ගත්තද තවත් බොහෝ කාලයක් සංසාරය තුල ජීවත් වීමේ ආශාව අතහැරීම සිදු නොකරයි. එබැවින් ඒ නුවණැත්තාටද තවත් බොහෝ කලක් මේ අඤාණයින් සමග එකට වැඩ කරමින් සමාජය තුල ජීවත් වීමට සිදුවේ. එහිදී තමන් ධර්ම මාර්ගයේ ගමන් කරන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට බිය වේ. ඒ එම අඤාණයින් විසින් තමාගේ ක්‍රියාව අවඤාවට ලක්කිරීම සහතික නිසාය. මේ අවඤාව නිසා තමාගේ ආත්ම ගරුත්වයට හානියක් සිදුවනවාට එම නුවණැත්තා අකමැති වේ. එබැවින් ඒ නුවණැත්තා විසින් තමන් තවදුරටත් කාම ලෝකයේ රැල්ල මත සිටිනා අයෙකු සේ රඟපෑමක් සිදු කරයි. 


                         
මේ රැල්ලෙන් තමාට ලැබෙන ආතතිය නිසා ධර්ම ශ්‍රවණය තමාට මග හැරේ. භාවනාව තමාට මග හැරේ. නිවැරදි මාර්ගයේ ගමන් කිරීම අපහසු වේ. එබැවින් එකී බුද්ධිමත් පුද්ගලයාටද නිවැරදි ධර්මය හමුවීමේ ඉඩකඩ වැළකී යයි. මෙසේ මේ අයුරින් පවතින සමාජයේ රැල්ලෙන් ලැබෙන ආතතිය සිව්වන ගැටලුවයි.




සෝවාන් මගට පැමිණීමට සිත දෙන්නේ කවරෙකුටද ?



1 ශ්‍රද්ධාවට වඩා ප්‍රඤාවට මුල් තැන දෙන්නෙකුට 

ලෝකයේ උත්තරීතර යැයි සම්මත වූ අයෙකු පිළිබඳව ශ්‍රද්ධාවට පත්වීම කුසලයක් බව කිව යුතුය. නමුත් ප්‍රඤාවෙන් තොරවූ කුසල් මගින් නිවනට ප්‍රවිශ්ට වීම කිසිදා සිදු නොවන්නක් වේ. එබැවින් බුදුන්, දහම්, සඟුන් ගැන තම බුද්ධිය මගින් සැක ඇති කරගැනීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතුය. එම සැකය මගින් සත්‍ය සෙවීමේ කුතුහලය ඇති කරගත යුතුය. එම කුතුහලය ඔබ තුල ඇති විට එතැන් පටන් ඔබ විසින් මාර්ගය පවතින ප්‍රදේශය සොයා ගැනීමට කටයුතු කරනවා සහතිකය. මන්ද අප බුදුන් කෙරෙහි හෝ සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගත් හෙයින් අපට ඒ කාගේ හෝ කරට නැගී නිවනට ගමන් කල නොහැකි වේ. එම මාර්ගය දන්නා බුදුන් හෝ සංඝයාගේ අනුග්‍රහයෙන් යුතුව අප විසින්ම මාර්ගයේ ගමන් කොට නිවනට පත්වීම තනිවම කල යුතුව ඇත. 


                       
එබැවින් ප්‍රඤාව අවධි කරවන්න. බුදුන් දේශනා කල දෙයක් වුවද තමාට නොවැටහේ නම් තමාට ඒ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගැනීමෙන් නිවන් මග ලබාගත නොහැක. එබැවින් බිය නොවන්න. ධර්මය විචාරයෙන් යුතුව අධ්‍යනය කරන්න. නමුත් ඉතා කුඩා කලකින් තමාට සත්‍ය වැටහීම සිදුවේද, නොවේද යන්න පුද්ගලයා සතු කාරණයකි. බුදුන් වහන්සේ වරක දේශනා කල සූත්‍රයකට අනුව (චූල කම්ම විභංග සූත්‍රය) සංසාරය පුරා "සත්‍ය කුමක්ද" යන්න සෙවූ පුද්ගලයන් එකී කර්මයේ විපාක ලෙස ප්‍රඤාවන්ත බවට පත්වීම සිදුවේ. එබැවින් සෝවාන් මගට පත්වීම පිළිබඳව නුවණ ඔබට ලැබෙන්නේ කර්මානුරූපීවය. එබැවින් ශ්‍රද්ධාවට නොව ප්‍රඤාවට මුල් තැන දෙන්න. ශ්‍රද්ධාවෙන් උපන් බිය දුරු කරලන්න. මෙකී ප්‍රඤාවන්ත පුද්ගලයා හට සෝවාන් මාර්ගය අවබෝධ වීම කරා තල්ලු වී යාම සත්‍යයකි. 


2 ලඟට වඩා දුර බලන්නෙකු හට 

මාරයා විසින් අපගේ ජීවන ගැටලු වලට ලබාදී ඇති විසඳුම් දෙස ප්‍රඤාවෙන් යුතුව දුර දිග බලන්නෙකුට ඒ සෑම විසඳුමක්ම නිමා නොවන සංසාර දුකක් කරා යොමු කරවන බව අවබෝධ වේ. මාරයා කුමකට අපගේ ප්‍රශ්න වලට නිමාවෙන විසඳුම් සපයයිද යන්න අප හටම සිතා සිනහා උපදවා ගත හැක. 


                        
ඔව් සැබැවින්ම මාරයා අපගේ අඤාණ බවින් තදින් අල්ලා ගෙන සිටී. එබැවින් මාරයා අපගේ ගැටලු වලට ලබාදෙන පිළිතුරු මත්තෙහි දුර දිග සිතා බැලීමට තරම් අප (සෝවාන් නොවූ) බුද්ධිමත් නොවේ. එබැවින් ඒ සියලු මාර විසඳුම් මගින් අප තව තවත් ප්‍රශ්ණ වල පැටලෙන බව නොවැටහේ. නමුත් ගැටලුව සහ ඊට ඇති විසඳුම දෙස නුවණින් යුතුව දුර දිග බලන්නෙකු, පවතින සමාජ ක්‍රමයේ ඇති ගැටලුව හඳුනා ගනී. පවතින මාර්ගය වැරදී යැයි ලෙසට අවබෝධ කරගන්නා පුද්ගලයා සෝවාන් මාර්ගය අවබෝධ වීම කරා තල්ලු වී යාම සත්‍යයකි. 


3 බුදුන් වහන්සේ දේශනා කල මාර්ගයේ සුන්දරත්වය අවබෝධ කරගන්නා පුද්ගලයා හට  

තම ප්‍රඤාව අවධි කරමින් ධර්මය ශ්‍රවණය කරන්නෙකුට නිවන් මාර්ගය පිළිබඳව ප්‍රණීත වූ සිතක් යම් කලක පහල වේද, ඔහු විසින් සෝවාන් මගට පත්වීමට සිතක් උපදවා ගන්නවා නොඅනුමානය. ධර්මය ශ්‍රවණය කරන විට සංසාරයේ අප විඳින ලද දුක මෙන්ම ඉදිරියේදීද විඳීමට ඉඩ ඇති මහා දුක් පිළිබඳව බිය ඉපදවීම සිදුවේ. එම බිය වූ කලී හෙට දින එල්ලුම් ගසට කැපවූ මිනිසෙකුට දැනෙන දැඩි බියක් බඳු වේ නම් ඔබ ජයග්‍රාහකයෙකි. මේ බිය ඔබව බියෙන් තොරවූ සුන්දර කලාපයක් සෙවීමෙහි ලා වෙහෙසවනවා සත්‍යයකි. රහත් මග ඉතා ප්‍රණීත වූ සුන්දර වූ මගක් යන අදහස ඔබට ලැබෙනවාත් සමගම සෝවාන් මාර්ගයට ඔබ පැමිණීම වලක්වාලන මාර බලපෑම බිඳ වැටේ. එබැවින් ඔබව සෝවාන් මාර්ගය අවබෝධ වීම කරා තල්ලු වී යාම සත්‍යයකි.


4 පවතින සමාජ රැල්ලට විරුද්ධ වීමෙන් තම ආත්ම ගරුත්වයට වන හානිය ගැන නොසිතා සත්‍ය වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයා හට 

ඉහත ලක්ෂණ 3ම තමා සතු වුවද පවතින සමාජ රැල්ලට විරුද්ධ වීමට ඇති බිය නිසා සෝවාන් මාර්ගය සොයා යන ගමන අඩාල වේ. එනමුදු නුවණැත්තෙකුට මෙසේ සිතිය හැක. 

"මාගේ ආත්ම ගරුත්වය නම් මාගේ මේ ජීවිතයෙන් පසු මා හට නොපවතී. එහෙත් මා සත්‍ය සොයාගනු ලැබුවහොත් එය මින් මතු පරලොවද සැප පිණිස මා හට පවතී. එය මාගේ නිවන පිණිසම සදාකල් පවතී."

එසේ සිතා හෝ සමාජයෙන් තමාට ලැබෙන අවඤාව පසෙකලා සත්‍ය වෙනුවෙන් පෙරුම් පුරන පුද්ගලයා සෝවාන් මාර්ගය අවබෝධ වීම කරා තල්ලු වී යාම සත්‍යයකි.


                         

ඔබ ඉහතින් සඳහන් කල ලක්ෂණ සහිත සසර දුකින් මිදීමේ මාර්ගය සොයමින් යන ප්‍රඤාවන්තයෙකු යැයි ලෙසට උපකල්පනය කරමින් ලිපියේ මීලඟ කරුණු මෙතැන් පටන් ඉදිරියට යම් කිසි පිළිවෙලක් ඔස්සේ ඉදිරිපත් කිරීම සිදු කරමි.    

  


අතිශයින්ම සැලකිය යුතුයි 


මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් වෙමි. පාසල් යන වයසේ පටන්ම ස්වභාව දහමේ ඇති ධර්මතා පිළිබඳව ඇති කුතුහලය නිසාම ගණිතයට හා භෞතික විද්‍යාවට මහත් සේ ඇලුම් කලෙමි. උපාධියේ වැඩ කටයුතු නිමා වූ පසු 2018 වර්ෂයේ පටන් බුදුන් වහන්සේ යනු කවරෙක්ද ? කුමක් දේශනා කල අයෙක්දැයි ? යන ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීම පිණිස මාස කිහිපයක් තිස්සේ විවිධ ස්වාමීන් වහන්සේලාගේ විවිධ ධර්ම දේශනාවන් වලට සවන් දීමත් ඒවා අධ්‍යනයත් සිදු කලෙමි. එහිදී ලද දැනුම භාවිතයෙන් "සෝවාන් වන අයුරු" යන ලිපිය 2019 වර්ෂයේදී අන්තර්ජාලය තුල මෙම Blog එක තුල ප්‍රකාශයට පත් කලෙමි. එහෙත් එය තුලද මාහට විසඳා ගත යුතු කරුණු බොහොමයක් වූ නිසාවෙන් මේ ගැටලු වලට හැකි උපරිම ලෙස විසඳුම් සොයාගැනීමේ අරමුණින් යුතුව "ත්‍රිපිටකය" සහ "රේරුකාණේ චන්දවිමල හිමිගේ පට්ඨාණ මහා ප්‍රකරණය" යන පොත් සියල්ලම 2022 වසර තෙක්ම සෙමෙන් සෙමෙන් පරිශීලනය කිරීම මා විසින් සිදු කලෙමි. ඒ අතරතුර කාලයේත් විවිධ ස්වාමීන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීමද සිදු කලෙමි. 

එබැවින් මා විසින් මෙම ලිපිය තුල ඉදිරිපත් කරනු ලබන්නේ පසුගිය කාලය තුල ත්‍රිපිටකය මූලික කොටගත් අධ්‍යයනයේ මා විසින් විශ්ලේෂණය කොට අවබෝධ කරගන්නා ලද දහම් කරුණු වේ. ත්‍රිපිටකය පුරාම ඇත්තේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය පමණක්ම නොවේ. අග්‍ර ශ්‍රාවක දෙනම වූ සැරියුත්, මුගලන්ද, අනුරුද්ධ ආදී මහා ශ්‍රාවකයින් විසින් ධර්මය ඔවුනොවුන්ට සුවිශේෂී වූ ක්‍රම ඔස්සේ විවිධ උදාහරණ සපයමින් හා විවිධ ලෙසට විස්තරාත්මක ස්වභාවයන්ගෙන් යුතුව දේශනා කරන ලද ධර්මයද ත්‍රිපිටකය අධ්‍යනයේදී දැකගත හැකිය.  


                             ත්‍රිපිටකය (Image credits goes to the owners)


මේ සියලු ධර්ම කරුණු ඔබහට අවබෝධ කරවීමේ පහසුව පිණිස යම් කිසි පිළිවෙලක් ඔස්සේ ගොණුකොට ඉදිරිපත් කිරීම මා මෙහිදී සිදු කලෙමි. සැබැවින්ම විවිධ ධර්මතා පිළිබඳව අධ්‍යනය කිරීමේදී එකී දහම මාහට මැනවින් වැටහුනේ යැයි ලෙසට රැවටුනු අවස්ථාද එමටය. ධර්මය තුලම වූ වෙනත් ධර්මතා සමග එකී පළමුවෙන් අවබෝධ වූ දහම පරස්පර වීමත්, පළමු දහමේ කරුණු මගින් වෙනත් දහමක් පහැදිලි කරගත නොහැකි වීමත් නිසා මා පළමුවෙන් අවබෝධ කරගත් දේ වැරදි ලෙසට පසුව තේරුම් යන ලදී. 

මේ අයුරින් මාහට අවබෝධ කරගත යුතුව තිබූ සියලුම ධර්ම කරුණු එකක නිවැරදි බව තවකෙක වැරදි බවට පත් නොවන අයුරින් ඒවා නිසි පරිදි අන්යෝන්‍ය වශයෙන් සම්බන්ධ කිරීමට සැලකිය යුතු කාලයක් ගත විය. එබැවින් මා මෙහිදී ඔබගෙන් අත්‍යවශ්‍යයෙන්ම කරන ඉල්ලීමක් ඇත. තවදුරටත් මා විසින් ඔබට ඉදිරිපත් කරන කරුණු වල නොගැලපෙන හෝ වරදවා වටහාගත් ස්ථාන තිබිය හැක. එබැවින් ධර්මය අධ්‍යනය කරන සෑම විටම ඔබ ඔබගේ ගැටලු සමග ධර්මය ඉතාම බුද්ධියෙන් යුතුව විචාරය කරන්න. එම ධර්මය නිවැරදි වේ දැයි ලෙසට ලෝකය දෙස බලමින් ඔබ ඔබගෙන්ම විමසා බලා තහවුරු කරගන්න. අද වර්ථමානය වන විට පෙරට වඩා බුද්ධිමත්, විචාරශීලී ස්වාමීන් වහන්සේලා දක්නට ලැබීම සතුටට කාරණාවකි. ඔබද හැකි සෑම විටම විවිධ අදහස් ඇති ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම ඇසුර ලබාගැනීමට කටයුතු කරන්න.

නිවන වූ කලී අපගෙන් දුරස් වන්නේ දස සංයෝජන ධර්මයන් මගින් අපව සංසාරයට බැඳ තබන නිසාය. එබැවින් ඔබ අවබෝධ කරන ධර්මය තුලින් ඒ සංයෝජන 10ම ප්‍රහාණය කල හැකි බවට ඔබට වැටහේ නම් ඒ ඔබගේ අවබෝධය නිවැරදි විය හැකිය. එබැවින් ඉතා ප්‍රඤාවන්තව කටයුතු කරන්න. මාගේ එකම අරමුණ වන්නේ අද වනවිට අවුල් ජාලයක් වී ඇති ධර්ම මාර්ගය මා හට හැකි පමණින් ලෙහා දමා ඔබට ධර්මාවබෝධය ලැබීමට සැලැස්වීමය. ඒ අයුරින් අනාගත ලෝකය රහතන් වහන්සෙලාගෙන් නොඅඩු තැනක් වේවායි යන්න මාගේ ප්‍රාර්ථනාවද වෙයි.  




හැඳින්වීම 


ක්‍රි.පූ. 6 වන සියවසේදී ඉන්දියාවේදී උපත ලද සිදුහත් කුමරුන් ලෝකය දෙස දැඩි ලෙස විචාරාත්මකව හා අනුකම්පාවෙන් යුතුව බලන්නෙක් විය. යම් සත්වයෙකුට යම් දුකක් ඇතිවේද එය ඉතා ගැඹුරින් යුතුව විමසා බැලීමට කටයුතු කලේ ඉතා අනුකම්පාවෙනි. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිණියක් ආදී පෙර නිමිති දැකීමෙන් ලෝක සත්වයා පිළිබඳව මහත් සේ කම්පා විය. ලස්සනට, සැපද විඳිමින් සතුටින් සිටි මිනිසුන් දුකට පත්වීම අඤාණ ලෝක වැසියාට නම් සාමාන්‍ය දෙයක් විය. අදටත් එය එසේය. හෙටටත් එසේම වෙයි. නමුත් එය සිදුහත් කුමරුට නම් මහා කම්පාවක් විය. ඛේදවාචකයක් විය. මහා ඝණ අන්ධකාරයක්ම විය. ඒ ඇතිවූ කම්පාව සිදුහත් කුමරා බුදුවන්නට පෙරුම් පුරපු ප්‍රථම දා සිටම භවයෙන් භවය පුරා සංසාරයේ වර්ධනය වූ දෙයකි. එබැවින් සත්වයාට දුක ඇතිවීම නතර කල හැකි ක්‍රමයක් සොයා ගන්නට ගත් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව තම පිය රජුගේ රාජ්‍ය මෙන්ම රජ මාලිගය සහ සියලු රාජකීය සැප සම්පත්ද අතහැර ගිහි ගියෙන් නික්මී ගියේය. මේ සිදුහත් කුමරුගේ මහාභිනිෂ්ක්‍රමණයයි!

සිදුහත් කුමරු එකල සිටි නොයෙකුත් ආගම් හා දර්ශනයන් උගන්වමින් සත්වයාගේ විමුක්තිය පෙන්වාදෙන විවිධ වූ ගුරුවරුන් ලඟට ගොස් සත්වයාට පැමිණෙන දුක නතර කල හැකි ක්‍රමයක් වේදැයි සොයා අධ්‍යනයන් සිදුකරන ලදී. ඒ සෑම ගුරුවරයෙකුගේම පාහේ දක්නට ලැබුනේ ශීලය පරිපූර්ණ කිරීමෙන් දුකින් මිදේ යන දර්ශනයයි. සිදුහත් කුමරා ඒ ඒ ගුරුවරයාගේ ඉගැන්වීමේ පරතෙරටම වහ වහා ගමන් කොට ඒ කුමකින්වත් තමාට දුක පැමිණීම නතර නොවන බව අවබෝධ කලේය. ඇතැම් ශාස්තෘන් විසින් කර්මය නිසා දුක පැමිණේ යැයි විශ්වාස කලේය. එබැවින් කර්මයන් ගෙවා දැමීම මගින් දුක නැසිය හැකි බැව්ද ඔවුන් විශ්වාස කලේය. නමුත් කොතරම් කර්ම ගෙවා දැමීමට පවතී දැයි යන්න පිළිබඳව ඔවුන්ට අදහසක් නොවීය. ශරීරයට දුක පැමිණීමට ඉඩ නොදී සැපම පමණක් ලබාදීම මගින් යම් කලක ශරීරය දුකින් තොර වේ ලෙසට අදහසක් සිදුහත් කුමරා තුල විය. ඒ අනුව ශරීරයට අධික සැප ලබාදීම මගින් දුක පැමිණීම වැළැක්විය හැකි දැයි පර්යේෂණය කරන ලදී. මෙය කාම සුඛල්ලිකානු යෝගය නම් විය. නමුත් ඒ මාර්ගය අසාර්ථක බැව් කුමරාට අවබෝධ විය. පසුව කර්මයන් ගෙවා දැමීමට කයට හැකි පමණ දුක් දීමෙන් යම් කලක කර්මයන් අවසන් වී යාමෙන් දුක පැමිණීම වැළැක්විය හැකිදැයි කියා පර්යේෂණයද කරන ලදී. 


මෙය අත්ථකිලමථානු යෝගය නම් විය. නමුත් එම මාර්ගයද අසාර්ථක බැව්ද කුමරාට අවබෝධ විය. මෙහිදී සිදුහත් කුමරා විසින් විවිධ අරමුණු පෙරට ගනිමින් දුෂ්කර ක්‍රියාවෙහි නිරත වූ අතර ඒ එකකින් වත් සත්‍යාවබෝධය තමාට නොලැබෙන බව අබබෝධ වූ නිසා සත්‍යාවබෝධයට වෙන යම් මගක් වේදයි කල්පනා කර ඇත. 

කාමයන්ගෙන් වෙන්වම, සෙසු නීවරණයන්ගෙන්ද වෙන්වම විතර්ක සහිත විචාර සහිත ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙන්නේ නම් මැනැවැයි කුමරාට සිත්වූයේ ඉන් පසුවයි. ඒ අනුව ප්‍රථම, ද්විතීයික, තෘතීයික හා චතුර්තක යන ධ්‍යාන වඩන ලදී. කෙලෙසුන් නැසී යන බව වැටහෙත්ම මේ සත්‍යවබෝධය පිණිස මග යැයි කුමාරාට වැටහිණි. මෙසේ සමාධිය වඩමින් නිවැරදි වූ සමාධියට හෙවත් සම්මා සමාධියට පත් වූ පසු පෙර නොඇසූ විරූ දහම් අවබෝධය පිණිස සිත නතු විය. අවසානයේ සත්‍යාවබෝධය ලබමින් වෙසක් පුන් පොහෝ දින සිදුහත් කුමරා සියලු කෙලෙස් නසා දමා ලොව්තුරා බුද්ධත්වයට පත් විය. 

මේ කාලය මුලු ලොවම පමණක් නොව, මුලු සක්වලමද දිදුලූ කාලයක් සේ සැලකිය හැකිය. ඊට හේතුව මෙවැනි කාලයක් උදාවන්නේ ඉතාමත් විශාල වූ කාලයකට වරක් වීමයි. මන්ද බුදු වන්නට බලා සිටින පුද්ගලයා පමණක් නොව, අරහත්වයට මෙන්ම සෙසු මාර්ගඵලවලට පත්වීමට නියමිත් සැවොමගේද, සසුන වටා එක් රොක් වන සියලුම අනුග්‍රාහක පිරිසකගේත් පාරමී පිරූ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පොදු කාලය උදා වී තිබිය යුතුය. ඒ පාරමිතා සම්පූර්ණ වීම පිණිස ඒ ඒ අය විසින් සම්පූර්ණ කල යුතු වන්නා වූ යමක් වේ නම් එය සම්පූර්ණ වී පවතින පොදු කාලයක් වීම අනිවාර්‍ය වේ. කාලය පමණක් ද නොවේ. රට, ප්‍රදේශය, උපදින කුලය මෙන්ම බුද්ධ මාතාවද මේ වන විට සූදානම් වී සිටින අවස්ථාවක් විය යුතුය. එබැවින් මෙවැනි කාලයක් බිහිවීම විශ්වයේ අති දුර්ලභ බව ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. 

බුදු රජාණන් වහන්සේ විසින් පිහිටවනු ලැබූ සාසනයේ ශ්‍රාවකයන් අතර අග්‍ර ස්ථානයට පත් වූයේ "සැරියුත් හා මුගලන්" මහ රහතන් වහන්සේලාය. බුදුරජාණන් වහන්සේ තමාට වයස අවුරුදු 80 වන තෙක්ම පෘථිවියේ මෙන්ම සෙසු කාම ලෝකවලද, දෙවියන්ද, බ්‍රහ්මයින්ද දුකින් මුදවා ගැනීමටත්, සත්‍යාවබෝධයට පත් කිරීමටත් විශාල ලෙස කටයුතු කර ඇත. විශාල පිරිසක් අරහත්වය මගින් නිර්වාණයට පත්වී ඇත.




සෝවාන් වන මාර්ගයට ඇතුලත් වන්නේ කෙසේද ? 


අප ලෝකයේ යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නම් ප්‍රථමයෙන් ඒ අරමුණ සපුරාලන මාර්ගය කුමක්දැයි සොයාගත යුතුය. එම මාර්ගයේ ගමන් කිරීමෙන් අපට අවශ්‍ය අරමුණ කරා ලඟා විය හැකිය. එසෙයින්ම සෝවාන් ඵලයට පත්වීමට මගක් ඇත. එමග යන්නෝ යම් යම් කාල වලදී සෝවාන් ඵලය පසක් කිරීම සිදු කරයි.


යම් අයෙක් සෝවාන් ඵලයට පත්වෙන්නේ පහත කරුණු 2 විද්‍යාමාන වන කල්හිය.

1) චතුරාර්‍ය සත්‍යය පිළිබඳව ගැඹුරු දහම තමාට ශ්‍රවණය කල හැකි වීම  

2) ඒ දහම අවබෝධ කල හැකි තරම් තමා ප්‍රඤාවන්ත වීම 


එ අනුව ඉහත කරුණු 2ම එකවර තමාට ලැබිය යුතුය. මේ 2 තමාට ලැබෙනුයේ තමාගේ ප්‍රාර්ථනාවත්,රැස් කරගන්නා ලද කර්මයත් නිසාය. චූල කම්ම විභංග සූත්‍රයට අනුවද සංසාරයේ සත්‍ය සොයා යන පුද්ගලයා ඒ සත්‍ය සෙවීම නම් කුසලයම හේතු කොට ගෙන මහා ප්‍රඤාවට යම් දිනක පැමිණේ.

එබැවින් ලොව අවබෝධ කලයුතු යථාර්ථයක් පවතීද, යමෙකු විසින් එය සොයන ලදුයේ මෙන්ම එය ලබාගැනීමෙහි ලා ප්‍රාර්ථනාවෙහි යෙදෙන ලදුයේ ද නම් එකී කුසලය සෝවාන් මගට ප්‍රවිෂ්ට වීමට කරුණු වේ. 

උදාහරණයක් ලෙස ඔබ මෙම ලිපිය කියවනුයේද ඔබ සත්‍යය සොයා යන කුසල් වඩන ප්‍රඤාව සොයන අයෙකු නිසාමය.

මෙසේ ඔබ වඩන කුසල නිසා යම් කලක ධර්මයද, ප්‍රඤා ඇසද යන 2ම ඔබට එකවර මුණගැසේද, එදින ඔබ නිවන් මගට ඇතුලත් වීම හෙවත් සෝතාපන්න බවට පත්වීම සිදුවේ.  





සෝවාන් මාර්ගඵලයට පත්වන අයුරු 


එසේ සෝවාන් මාර්ගයේ ගමන් කරන විට ඔබ සෝවාන් මගඵලයට සුදුසු වන කාලය උදා වේ. ඒ වනවිට ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ ඔබ සතුය. එකල්හි ඔබ විසින් පූර්ව ලෙස සූදානමක සිටින මොහොතක හෝ ඔබ නොසිතන මොහොතක හෝ ගැඹුරු වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය ඔබට ශ්‍රවණය කිරීමට ඉඩකඩ ලැබේ. එහිදී ඔබ ධර්මය ශ්‍රවණය කරනුයේ සම්මා සම්බුදු වරයෙකුගෙන් හෝ මගඵල ලාභී සංඝයා වහන්සේ නමකගෙන් හෝ විය හැකිය. නමුත් ඒ ඔබව අමා මහ නිර්වාණ ගමනට පමුණුවාලන ඔබගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයායි. එකල්හි ඔබ ධර්ම ශ්‍රවණයෙන් මෙන්ම ප්‍රඤාවෙන්ද සන්නද්ධ බැවින් ඔබ ඒ ඒ ධර්මය සිහියෙන් යුතුව හා නුවණින් යුතුව මෙනෙහි කිරීම ආරම්භ කරයි. එහි අවසාන ප්‍රථිඵලය ලෙසට මාරාවේශ වූ සත්වයා තුලින් සැඟවී ගිය විශිෂ්ට වූ ලෝක සත්‍යතා සතර ඔබට අවබෝධ වීම සිදුවේ.


පෘථක්ජනයෙකු ලෙසට ඔබව වසා සිටි දැඩි වූ අවිද්‍යාව නම් අන්ධකාරය ඔබ තුලින් තරමක් පහවී යයි. එවිට ඔබට ඔබගේ දෑස් හැරුණු බවක් අවබෝධ වෙනු ඇත. මේ දෑස් හැරුණු ඔබ ඉන් පසුව දකින ලෝකය කිසිදා සංසාරයේ ඔබ නොදුටු ලෝකයකි. ඔබ විසින් මෙතැන් පටන් ඉදිරියට කල යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව අවබෝධය දැන් ඔබ සතුය. එබැවින් කෙමෙන් කෙමෙන් ඔබ පෙර සංසාරයේ නොවූ විරූ ලෙසට වෙනස් වීමද ආරම්භ වේ. මන්ද ඔබට දැන් ස්ථිර වූ නිශ්චිත ඉලක්කයක් පවතී. ඒ සැඟවුනු ඉලක්කය නිවනයි. ඔබ ලත් අවබෝධය මගින් ඔබව නිවන කරා තල්ලු කරන බවක්ද ඔබට වැටහීමක් ඇතිවීම සිදුවේ. පෙර සිදුකල කාලය කා දමන නිවනට අහිතකර වූ ක්‍රියාවන්ගෙන්ද ඔබ ක්‍රමයෙන් මිදී යාම සිදුවන්නේ ඇතැම් විට ඔබටවත් නොදැනීව විය හැකිය. මෙහිදී ඔබගේ ඒකායන යටි අරමුණ නිවන බැවින් එය සාක්ෂාත් කරගැනීමට ඔබ අවබෝධ කරගත් ධර්ම මාර්ගයේ ගමන් ඇරඹීම සිදුවේ. එනම් ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වෙත ඔබ ප්‍රවිශ්ඨ වේ. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වූ කලී සෝවාන් ඵල ලාභියාව නිවන කරා රැගෙන යන සැඩ පහරයි. 

ඒ අයුරින් සෝවාන් මගඵලයට පත් ඔබ තුල පෙර නොවූ විරූ නව අංගයන් ජනිත වේ. ඒ ඔබව නිවන කරා රැගෙන යන ධර්මයන් අනුගමනය කරන පිළිවෙත් සැපිරීමයි. 

මෙසේ සෝවාන් ඵල ලාභියා පහත අංග 4කින් සමන්විත් වීම සිදුවේ.  


1) සත් පුරුෂයන් සෙවුම 

නිවන ලබාගැනීමට උපදෙස් ලබාගැනීමට කළ්‍යාණ මිතුරන් සෙවීම 


2) ධර්ම ශ්‍රවණය 

තමාගේ නිවන් ගමන සම්පූර්ණ කිරීමටත් ඊට තමාගේ ඇති අඩුපාඩු නැති කරගැනීමටත් අවශ්‍ය වන ධර්මය ශ්‍රවණය කිරීමේ යෙදීම 


3) යෝනිසෝ මනසිකාරය

නිතර නිතර දැනගත් දහම් කරුණු තමාගේ සෝවාන් අවබෝධයට අනුව ගලපමින් තමාගේ නුවණින් ඒවා මෙනෙහි කිරීමෙහි යෙදීම සිදුකරයි. මෙසේ තව තවත් අවබෝධය පුලුල් කරගැනීම සිදු කරයි. 


4) දහම් අනුදහම් පිළිවෙතෙහි යෙදීම 

තමා අවබෝධ කරගන්නා නොයෙක් දහම් කරුණු වලට අනුකූලව නිවන සාක්ෂාත් කිරීම පිණිස ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම.



* සැ:යු: - විවිධ සෝවාන් ඵල ලාභීන් විවිධ වේගයන්ගෙන් යුතුව ඉහත අංග 4 ක්‍රියාත්මක කිරීම සිදුකරයි. ඒ අතරින් වේගවත්ම වන්නේ සෝවාන් වූ භවයේම නුදුරු අනාගතයේදී අරහත්වය ලබාගන්නා ශ්‍රාවකයන් වහන්සේලායි. 

මේ සෝවාන් ඵල ලාභියා බුදුන් කවරෙක්ද, දහම් කුමක්ද, සංඝයා යන්න සත්‍යයක්ද වශයෙන් බුද්ධ, ධම්ම, සංඝ කෙරෙහි අවබෝධයෙන් යුතුව පැහැදීමක් ඇති කරගනී. මන්ද ඒ සෝවාන් ඵල ලාභියාද දැන් අයත් වන්නේ ඉහත කී සංඝ ගණයටමය. 

එසේම තමාගේ යටි අරමුණු මගින් තමාව ආර්‍ය අෂ්ටාංගික මාර්ගය තුල රඳවන බැවින්, තමා විසින් උත්සහයෙන් තොරව ගොඩ නගා ගන්නා ලද අඛණ්ඩ වූ ශීලයක තමාව පිහිවුවීමද සිදුවේ.


ඒ අනුව සෝවාන් ආර්‍යයා පහත දහම් 4න් යුක්ත වේ

  1. බුදු ගුණ කෙරෙහි අවබෝධයෙන් යුතුව පැහැදීම 
  2. දහම් ගුණ කෙරෙහි අවබෝධයෙන් යුතුව පැහැදීම
  3. සඟ ගුණ කෙරෙහි අවබෝධයෙන් යුතුව පැහැදීම 
  4. ආර්‍ය කාන්ත ශීලයෙන් යුතු වීම  




සෝවාන් වීමට ඔබ අවබෝධ කල යුතු ධර්මය


සෝවාන් වීම යනු ඔබ විසින් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට හෙවත් නිවන සාක්ෂාත් කරන මාර්ගයට පැමිණීමයි. 

ආර්‍ය අෂ්ටාංගික මාර්ගය 

  1. සම්මා දිටිඨි 
  2. සම්මා සංකප්ප 
  3. සම්මා වාචා 
  4. සම්මා කම්මන්ත  
  5. සම්මා ආජීව 
  6. සම්මා වායාම
  7. සම්මා සති
  8. සම්මා සමාධි  

ලෙසට අංග 8කින් යුක්තය. 

ඒ අනුව නිවන් මගට පිවිසීම යනු සම්මා දිට්ඨියට පත්වීමයි. එනම් සෝවාන් ආර්‍යයා යනු සම්මා දිට්ඨියට පත්වූ තැනැත්තාය. සම්මා දිට්ඨිය යනු චතුරාර්‍ය සත්‍ය පිළිබඳව තර්කයෙන් යුතුව ගත් අවබෝධයට පත්වීමයි.

* නමුත් චතුරාර්‍ය සත්‍ය ඇති සැටියෙන්ම තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට අවබෝධයට පැමිණෙන්නේ ආස්‍රවක්ෂය නුවණ ලබන මොහොතේදීය. එනම් අරහත්වයට පත්වන මොහොතේදීය.

ඒ අනුව සෝවාන් වීමට අවබෝධ කල යුතු ධර්මය වන්නේ චතුරාර්‍ය සත්‍ය පිළිබඳව දහමයි. චතුරාර්‍ය සත්‍ය තමාගේ තර්කණ නුවණ මගින් නිසිලෙස වටහා ගැනීම සෝවාන් ඵලයයි.

මා මෙහිදී චතුරාර්‍ය සත්‍ය ධර්මතාව ඉදිරිපත් කරන්නේ යම්කිසි ක්‍රමවේදයට හා පිළිවෙළක් ඔස්සේය. ඒ අනුව චතුරාර්‍ය සත්‍ය ධර්මතාව වටහා හැනීමට ප්‍රථම ඔබ විසින් නිසි ලෙස දැන අවබෝධයට පත්විය යුතු දෑ කිහිපයක් පවතින බැව් මා මෙහිදී සිහිපත් කරමි. මේවා නිසි ලෙස අවබෝධයෙන් පසු මෙම ලිපියේ ඉදිරියට ගමන් කරන මෙන් ඉල්ලා සිටිමි. 


ඉහත ලින්ක් මත Click කිරීම හෝ Touch කිරීම මගින් ඊට අදාල ලිපි කියවා බලන්න. ඉන් පසු පහත දෑ කියවීම ආරම්භ කරන්න.


පළමු කාරණාව 


සෝවාන් නොවූ සියලු ලෝක සත්වයෝ සෑම මොහොතකම කුමක් මූලික වශයෙන් අරමුණු කොට සිටින්නේද ? කුමක් පිණිස වෙහෙසෙමින් සිටින්නේද ?

පිළිතුර වන්නේ තම ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගැනීම වෙනුවෙන් අරමුණු කොට සිටී. වෙහෙසෙමින් සිටී.

අප පතනා දෙය පතනා ලෙසම ඉෂ්ට කරගැනීමට අපට පුලුවනිද ? ඇතැම් විට හැකිවේ. නමුත් බොහෝ විට නොහැකි වේ. මෙය හරියට එක් මිදි ගෙඩියකට පොරකන ලෙහෙනුන් 100ක් මෙනි.  


මෙහිදී තම ප්‍රාර්ථනය ඉෂ්ට නොවූ සත්වයා නොලැබීම නිසා දුකට පත් වේ. එම සත්වයා සතුට යනු තමා පැතූ දෙය ලැබීමයි ලෙසට සිතනු ලබයි.

නමුත් කාරණය නම් එකී ප්‍රාර්ථනාව ඉෂ්ට කරගත් සත්වයා සතුටට පත්වේද යන්නයි. සැබැවින්ම එහිදී සත්වයා සතුටට පත් වේ. නමුත් ඒ සතුට තාවකාලික වේ. ඇතැමෙකු මේ ලොව ඇති භෞතික සම්පතක් තමා සතු කරගැනීම නිසා සතුටට පත් වේ. තවත් ඇතැමෙකු අභෞතික වූ යමක් (උදාහරණ ලෙස තනතුරක්, නම්බු නාමයක්, විභාග ජයක්, ...) තමා සතු කරගැනීම නිසාද සතුටට පත් විය හැකිය. නමුත් තමාට සතුට ලබාදෙන තමා සතු කරගත් දෙය තවත් අයෙකුට පැහැර ගත හැකි නම්, මරණයට හෝ විනාශයට පත්විය හැකි නම්, යම් යම් දෑ මගින් යලිදු තමා කෙරෙන් ගිලිහී යා හැකි නම් තමා ඉන් ලබන සතුට කොයි මොහොතේ තමන්ට අහිමි වේ දැයි කිව නොහැක. ඒ නිසා තම ප්‍රාර්ථනාව ඉෂ්ට කරගැනීමෙන් සතුටු වන පුද්ගලයා "අහිමි වේදෝ යන බියෙන් දුකට පත් වෙති". මෙහිදී විභාග ජය ආදී දෙයක් නම් ලෙහෙසියෙන් තමාට අහිමි නොවේ. අනතුරක් නිසා මොලයට සිදුවන හානියකින් තමා උගත් සියල්ල තමාට නැතිවී යා හැකිය. එසේම පුද්ගලයාගේ මරණය සමග තමාගේ මතකයෙන් ගිලිහී යාම සිදුවේ. නමුත් භෞතික යමක් නිසා ලබන සතුට මීලඟ මොහොතේ වුවද නැතිවිය හැකිය. 

උදාහරණ ලෙස යමෙක් මහන්සි වී උපයාගත් මුදලින් වටිනා ආභරණයක් මිලදී ගෙන සතුටට පත් විය හැකිය. නමුත් මීලඟ මොහොතේ එය සොරෙකුගේ ග්‍රහණයට නතු විය හැකිය. තමා මහන්සි වී දුක් විඳ උපයාගත් මුදලින් වාහනයක් මිලදී ගත හැකිය. නමුත් එය මීලඟ මොහොතේ අනතුරකට පත්ව විනාශ වී යා හැකිය. ඒ අනුව තමා ප්‍රාර්ථනය කල දෙය අත්පත් කල පුද්ගලයාද සිටින්නේ බියෙනි. එනම් දුකකිනි.

එසේම තමා සතු කරගත් වස්තුව සොරෙකුගෙන් හෝ අනතුරු මගින් හෝ ආරක්ෂා කිරීමට තව තවත් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතුය. ලස්සන කාන්තාවක් හෝ පුරුෂයෙක් තම සහකාරිය / සහකරු ලෙසට තෝරාගත් අයෙකු තමා කෙරෙහිම රඳවා තබා ගැනීම පිණිස ලොවට රහසේ කොතරම් නම් දෑ කරන්නේද. ඒ අනුව පැහැදිලි වන්නේ කුමක්ද ? අහිමි වන ස්වභාවය ඇති ඕනෑම දෙයක් තමා සතු කර ගත්තද සත්වයා දුකට පත්වීමේ නැවතීමක් නොපැනවෙන බවයි.

එසේම එකී වස්තුව තමා කෙරෙන් ගිලිහී යා ගත හැකිය. එවිට දැනෙන දුක ගැන කතා කිරීම කුමටද !      

ඒ අනුව ප්‍රාර්ථනා පසු පස හඹා යන සත්වයෝ 

  • ප්‍රාර්ථනා පසු පස හඹා යමින් ඒ කෙරෙහි වෙහෙසෙමින් දුකට පත් වෙති. (මන්ද වෙහෙස වීමෙන් තොරව ප්‍රාර්ථනා ඉටු කරගත නොහැක)
  • ප්‍රාර්ථනාව ඉටු නොවීම නිසා හටගත් ශෝකයෙන් දුකට පත් වේ 
  • ප්‍රාර්ථනාව ඉටු වුනද එය අහිමි වේදෝ යන බියෙන් දුකට පත් වේ 
  • අහිමි වීම වැලැක්වීම පිණිසද වෙහෙස වීමෙන් දුකට පත් වේ 
  • අහිමි වීම නිසා දැඩි දුකකටද පත් වේ 
 
ඒ අනුව අරමුණක් නිසා අප සෑම මොහොතකම දුකට පත්වී සිටී. 

තවද අපට ඇත්තේ එක අරමුණක් පමණක් නොවේ. අප අරමුණු විශාල ගොඩක් සමගින් කටයුතු කරයි. කාලෙන් කාලෙට අපගේ අරමුණුද වෙනස් වේ. මෙසේ අරමුණු රාශියක් සමඟ ඒ එක් එක් අරමුණෙහි සාර්ථකත්වය වෙනුවෙන් අප වෙහෙසෙමින් සිටී. ඒ සෑම අරමුණක් නිසාම මා ඉහත පෙන්වා දුන් ආකාරයට සෑම මොහොතකම දුකට පත් වී සිටියි. මෙසේ අරමුණු රාශියක් සමග ජීවත් වන අප සත්වයෝ ඉතාම දුකට පත් වී සිටිති. කොතරම් දුකකින් දුකට පත්වී සිටියද ඒ ඒ අරමුණු සාක්ෂාත් කරගැනීමට වෙහෙසීම හැර වෙන විකල්පයකට යාමට සෝවාන් නොවූ සත්වයාට සිත නොදේ. නමුත් ඒ අතර ඇතැමුන් තමාගේ ඇති අසාර්ථකම අරමුණු සාක්ෂාත් කරගැනීමේ අදහස අත හැරීමට තරම්ද බුද්ධිමත් වෙති. එනමුත් එකී අරමුණ අතහරින්නේද දුකකින් බව වටහාගන්න.

මේ අයුරින් අපගේ අරමුණු හෙවත් ප්‍රාර්ථනා නිසා අප කෙතරම් වෙහෙසට පත්වී, දුකට පත්වී සිටියද ඒ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමෙන් ලබන සැපයට ඇති තණ්හාව (ලෝභයෙන් ඇලෙන ස්වභාවය) නිසා අපට එහි ඇති දුක, වෙහෙස පිළිබඳව අවබෝධයක් නොලැබේ. 

එබැවින් තණ්හාවට වඩා නුවණ මදක් ඇති සත්වයින් පමණක් මෙහි ඇති යථාර්ථය අවබෝධ කර ගැනීමට සමත් වෙති. සෙසු තණ්හා අධික වූ ප්‍රඤාවෙන් දුර්වල වූ ලොව සාමාන්‍ය සත්වයෝ මෙලොව දුක මෙන්ම සැපද පවතින බව සිතති.

මෙලොව සියල්ල දුකක් යන්න මේ බහුතර සත්වයාට අවබෝධ නොවේ. මෙලොව සතුට ඇත. එය ලබාගැනීමට මහන්සි නොබලා කඩිසරවී වැඩ කලයුතු බව ඔවුන්ගේ පොදු මතයයි. යම් නුවණැති අයෙක් සසර දුකකි යැයි පවසා අරමුණු වෙනුවෙන් වෙහෙස වීම අතහැර දැමිය යුතුය ලෙසට ගැනීම අනුවණ වූ මෙලොව සත්වයාට විහිලුවකි. ඒ අනුවණ මිනිසා සිතනුයේ කායික වීර්‍ය නොමැති කමට, චිත්ත වීර්‍ය නොමැති කමට, දැනුම නොමැති කමට එකී මිනිසා සසර දුකක් යැයි පවසනවාය කියාය. (නමුදු මේ අතරද තමා සොයන දෙය නොලැබීම නිසා දුකට පත් පිරිස්ද සසර දුකින් මිදිය යුතුයි ගැනීමක් ද ලොව පවතී. නුවණ පහල නොවී උපාදාන අතහැරීමට සිතන පුද්ගලයා ප්‍රාඤාවන්තයෙකි යැයි මම නොපවසමි. ඔවුන්ගේ සෝවාන් මගක් ඒ අත හැරීම තුල නොවේ) 

එබැවින් "සැපයක් ඇතැයි ලෙසට අප ගන්නා සියලුම ප්‍රාර්ථනාවන් තුල සෑම මොහොතකම අපට ලැබෙන දුකක් පවතී" යන්න අවබෝධ කරගැනීමත්, එය මනාකොට වටහා ගැනීමත් ඔබටම භාර කරමි.

ඒ අනුව අප සියලු සත්වයෝ සසර තුල සෑම මොහොතකම දුකට පත්වී සිටින සැටි අවබෝධ කරගන්න. අරමුණු කෙරෙහි පවතින ආශාව නිසා කොතරම් දුක් වින්දද එකී අරමුණු ඉටු කරගැනීම පමණක් පිණිස වෙහෙස වන හැටි අවබෝධ කරගන්න. සත්වයෝ විවිධ ප්‍රාර්ථනා ඉටු කරගැනීම කෙරෙහි පවතින තණ්හාව, ආශාව නිසා සත්‍ය වටහාගැනීමෙහි ලා දුර්වල වී ඇති අයුරු වටහා ගන්න.

සැබැවින්ම සියලු සත්වයෝ සසර තුල මේ විඳින දුක යනු අන් කිසිවක් නොව එක් එක් සත්වයා විසින් ලෝකය තුල තම තමන් කැමති දෑ පවතින බවට පනවා ගැනීම බව යන ගැඹුරු කාරණය වටහා ගන්න. ලෝකය තුල තම තමන් කැමති දෑ වලට ධර්මය තුලදී ලබාදී ඇති නම වනුයේ "පංච උපාදාන ස්කන්ධය" ලෙසටය. එබැවින් සාරාංශ වශයෙන් මේ පංච උපාදාන ස්කන්ධයෝම දුක වෙති. මන්ද පංච උපාදාන ස්කන්ධ පවතින තාක් සත්වයෝ ඒවා සෙවීමෙහි ලා ප්‍රාර්ථනා කරන අතර මේ ප්‍රාර්ථනා පසු පස හඹා යාම මගින් දුක හටගනී.


ඉහත පෙන්වා දෙන ලද කාරණය අවබෝධ කරගැනීමට මෙලොව සිටින සත්වයෝ අපොහොසත් වෙති. එබැවින් ඒ සත්වයෝ තමා කෙසේ හෝ සසර දුකින් මිදිය යුතු යැයි ලෙසට සිතනු නොලබයි. මමද ඉහත සඳහන් ධර්මය එනම් "පංච උපාදාන ස්කන්ධයෝම දුක වෙති" යන ගැඹුරු දහම ඔබට පවසනුයේ ලොව්තුරා බුදුවරයකු විසින් එය ලොවට දේශනා කර තිබූ හෙයිනි. යම් කලක මෙලොව බුදු වරයෙකුගේ පහල වීමක් දීර්ඝ කාලයකින් සිදු නොවේද, එකල සත්වයනට ඉහත ධර්මතාවය වටහා ගැනීමට කටයුතු සකස් නොවේ.

එබැවින් ඉහත ධර්මය බුදුවරයෙකු ලොව සිටියද, නොසිටියද ලොව පවතින්නා වූ අවබෝධයට ගෝචර නොවන්නාවූ සත්‍යතාවයකි. 

මෙලොව දුක යන්න හඳුනා නොගන්නා සත්වයා කිසිවිටක දුකට හේතුව කිමැයි ලෙසට නොසිතනු ලබයි. දුකෙහි අවසානයක් එනම් නිරෝධයක් ලොව පවතී දැයි ලෙසට නොසිතනු ලබයි. එවැනි දුකෙහි නිරෝධයක් පවතී නම් ඒ සඳහා අනුගමනය කල යුතු මාර්ගයක් වේදැයි ලෙසට නොසිතනු ලබයි. 

එබැවින් ඉහතින් සඳහන් කල ධර්මතාව, එනම් දුක යනු කුමක්දැයි ලෙසට නිසි පරිදි අවබෝධ කරගන්න. ඒ සෝවාන් මාර්ගය පිණිස ඔබගේ පළමු පියවරයි.     



දෙවන කාරණාව 


ඔබ දැන් පංච උපාදාන ස්කන්ධයෝම දුක බැව් අවබෝධ කර ගෙන සිටී. 

එසේ වීමට හේතුව ලෙසට පංච උපාදාන අරමුණු පසු පස ගමන් කරන විට සෑම මොහොතකම අප දුකට පත් වන බැව් ඔබ දැන් මනාකොට දනී. දැන් ඔබ විසින් ඔබගේ නුවණින් මෙනෙහි කල යුතු ගැටලු 3ක් පවතී. ඒ 

1) 

කුමක් හෙයින් අපට සැපයක් ලබාදෙන මේ පංච උපාදාන අරමුණු පසු පස ගමන් කිරීම දුකට කාරණා වේද යන්න 

2) 

කුමක් හෙයින් පංච උපාදාන අරමුණු සාක්ෂාත් කරගත්තද ඉන් අපගේ සැපය ලඟා නොවන්නේද යන්න 

උදාහරණ ලෙස අපට ඇති යම් උපාදානයක් සලකමු. අප මහන්සි වී කෙසේ හෝ ඒ උපාදානීය අරමුණ සාක්ෂාත් කර ගතහොත් ඒ උපාදානීය අරමුණ නිසාවෙන් සැපයට පත්වීමට හැකිවේද ? 

සැබැවින්ම තාවකාලික සතුටක් පමණක් ලැබේ. තවද ඒ උපාදානය වූ දෙය විනාශ වී යා හැක. එබැවින් ඒ උපාදානීය අරමුණ සාක්ෂාත් කරගත්තද අපට දුකම පමණක් ඇති වේ. ඒ මන්දැයි ලෙස සිතන්න.

3)

අප සියල්ලෝම මේ මහා පංච ස්කන්ධය තුලින් අපගේ ඡන්ද රාගය පමුණුවන ලද කොටසක් පවතී. එයට පංච උපාදාන ස්කන්ධය යැයි කියනු ලැබේ. උපාදාන ස්කන්ධයෙන් පිටස්තර වූ ස්කන්ධයෝ පැවතුනද, නොපැවතුනද අපට කම් නැත. එබැවින් අප සැලකිලිමත් වන්නේ පංච උපාදාන ස්කන්ධය ගැන පමණි.

අප සියල්ලෝම මේ පංච උපාදාන ස්කන්ධ තුල මගේ ආත්මය ලෙසට ගත හැකි නිත්‍ය වූ යමක් (ආත්මයක් වූ කලී යම් නිශ්චිත වූ අනන්‍යතාවකි. එමනිසා නිත්‍ය විය යුතුය) පවතී දැයි සිතති. එසේ මමය, මාගේය ලෙසට ගත හැකි ආත්මයක් ලොව පවතී නම් එය සැපවත් කිරීම පිණිස අප වෙහෙස වූවාට කම් නැත. මක් නිසාද යත් මම යන්නෙක් ලොව පවතී නම්, ඒ මම යන තැනැත්තා සැපයට පැමිණවීම මගින් දුකින් එතෙර විය හැකි බැවිනි. ඒ පිළිබඳව තර්කයක් නැත.

නමුත් සැබෑ කරුණ නම් සෝතාපන්න නොවූ සියලු සත්වයෝ මම යනුවෙන් ආත්මයක් ලොව පවතී, එ මගේ ආත්මයයි ලෙසට ගැනීමක් සිදු කරයි. 

එ නමුත් සංසාරය ඉතා දිගුවේ. කෙලවරක් මේ යැයි පැනවිය නොහැක. එසේ නම් මේ තාක් සංසාරයේ පංච උපාදාන සාර්ථක කරගැනීමට වෙහෙසුන අපට මාගේ ආත්මය සැපයට පමුණුවා අවසන් කිරීමට නොහැකි වූයේ මන්දැයි නුවණින් මෙනෙහි කිරීමට ඔබටම භාර කරමි. 


ඔබට ඉහත ගැටලු 3ට පිළිතුරු ලෙස කුමක් දිය හැකිද ? මා පහතින් ඊට පිළිතුරු 3 ඉදිරිපත් කරන්නම්. එයද නුවණින් විමසා බලන්න. සත්‍ය වශ්‍යයෙන්ම එහි අවබෝධයෙන් ඔබ කම්පා වී යනු ඇත.


පිළිතුරු 1) 


අප විසින් අපගේ ඡන්දරාගය පිහිටුවන ලද සියලුම පංච උපාදාන ස්කන්ධයෝ "නිත්‍ය වූ සදාකාලික වූ දෑ නොවේ." ඒවා අප ලබාගත්තද ඒවා යලිදු විනාශයට පත්වේ. එබැවින් ඒවා ලබා සතුටුවීමට තැත් කිරීම හුලං පිරවූ බැලුනයක් දිය යට රඳවා අල්ලාගෙන සිටීමට වෑයම් කිරීමක් බඳුය. පංච උපාදානයෝ ලොව පවතිනුයේ ඊට පාදක වූ හේතූන්ද, ප්‍රත්‍යන්ද පවතින තාක් පමණි. ඒවා අවසන් වත්ම දුක සහ වෙහෙස පමණක් ඉතිරි කරමින් උපාදානයට බඳුන් වූ ස්කන්ධයෝ අපගෙන් සමුගනී. 

එහෙත් ඒ සමග අපට ඒවා කෙරෙහි පවතින ඡන්දරාගයද සමුගන්නේද ? නැත. තව තවත් ඡන්ද රාගය තීව්‍ර වේ. එහිදී අප දකිනා විසඳුම නම් නැවත නැවතත් ඒ උපාදානයෝ අත් පත් කරගැනීම උදෙසා වෙහෙස වීමයි. 

මේ පංච උපාදාන ස්කන්ධයේ ඇති "අනිත්‍ය" ස්වභාවයයි. 

ඒ අනිත්‍ය බව අපගේ දුකට හේතු වේ.  



පිළිතුරු 2)

 
මේ පංච උපාදානයෝ ලොව පවතිනුයේ ඊට පාදක වන හේතූන්ගේද, ප්‍රත්‍යන්ගේද බලයෙනි.

හේතූන්ද, ප්‍රත්‍යයන්ද වටහා ගැනීමට දැල්වෙන පහනක් මෙනෙහි කරන්න. ගින්දර යනු දැල්වෙන පහනට හේතුවයි. පහන, තෙල්, පහන් තිරය, වාතය ආදිය දැල්වෙන පහනට ප්‍රත්‍යයන්ය. ඒ එකඳු හෝ දෙයක අභාවයෙන් පහන නිවී යයි.


ඒ අනුව අප කැමති වූ එකම එක උපාදානයක් වුවද සාක්ෂාත් කරගැනීම පිණිස බොහෝ වූ හේතූන්ද, ප්‍රත්‍යන්ද එකම විටක විද්‍යාමාන විය යුතුය. 

(i) එබැවින් අරමුණු සාර්ථක වීමට නම් එකී හේතූ, ප්‍රත්‍යන්ද විද්‍යාමාන කරලීමට අප වෙහෙස විය යුතුය. එය දුකකි.

(ii) මේ හේතූන්ද, ප්‍රත්‍යන්ද වූ කලී ඇතිවනුයේ තව තවත් හේතූන්ද ප්‍රත්‍යන්ද මගිනි. එබැවින් බොහෝ අයෙකුට නම් තම උපාදානී අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකි වේ. එයද දුකකි. 

(iii) උපාදානී අරමුණ සාර්ථක වුවද එහි පවතින "අනිත්‍ය" නම් ස්වභාවය අපට දුක ගෙනදේ. බ්‍රහ්ම ලෝකයකට වී අධික සැප විඳිනා බ්‍රහ්මයන් පවා තම මරණය ගැන කම්පා වෙති. ඊට හේතුව මරණින් මතු බොහෝ විට කාම ලෝකයට යලිත් ඇද වැටීමයි. ඒ අනුව උපාදානී අරමුණ සාර්ථක වුවද ඉන් අපට ලැබෙන සැපයට වඩා දහස් වාරයක් වේදනා විඳුමට අපට සිදුවේ. එය අනිත්‍ය හෙයින් ලබන්නා වූ දුකයි. (මෙයට සංස්කාර දුක යැයිද කියනු ලැබේ.)

(iv) තවද එකී උපාදානය අහිමි වී යන බව වැටහෙන විට එය වැලැක්වීමට යම් යම් පියවර ගත යුතුය. මෙය හරියට පහනේ තෙල් අවසන් වන විට යලිත් තෙල් ගෙනවිත් එයට පිරවීම බඳුය. එබැවින් උපාදානී අරමුණ අඛණ්ඩව පවත්වා ගැනීමට වෙහෙස වීමට සිදුවේ. එයද දුකකි. 

(v) සැබැවින්ම උපාදානයට බඳුන් වූ කාරණාවද අනිත්‍ය බැවින් අප කොතරම් එය සුරැකීමට තැත් කලද, එය යම් කලක නියත වශයෙන්ම විනාශයට පත් වී යයි. එබැවින් අපගේ ප්‍රාර්ථනාවට බඳුන් වූ වස්තුව හෝ කාරණාව වියැකී යාමද දුකකි. (මෙයට විපරිණාම දුක්කය යැයි කියනු ලැබේ.) 
    
මේ පංච උපාදාන ස්කන්ධයේ ඇති "දුක්ඛ" ස්වභාවයයි.



පිළිතුරු 3)


ලොව කිසිවක් සදාකල් නොපවතී. සිතන්න.... ඔබ යම් අතීත භවයකදී මේ කරුණු නිත්‍ය වේ, මේ කරුණු සදාකාලික වේ ලෙසට යමක් ගෙන සිටියේ නම් අද එය ඔබට පවතීද ? සියලුම භෞතික දෑ වූ කලී ඒ භවයෙන් මේ භවයට ඔබ සමග නොපැමිණේ. බුද්ධිය ආදී චෛතසික දෑ ඇතැම් විට සංසාරික වශයෙන් ඔබ සමග භවයෙන් භවයට පැමිණිය හැකිය. ඇතැම් විට එයද එසේම යැයි ඉඳුරාම කිව නොහැකිය. එබැවින් සංසාරයේ කිසිම තැනක මාගේ යැයි ලෙසට ගත හැකි නිත්‍ය වූ ආත්මයක් අපට සොයාගත නොහැක.

* නමුත් ආත්මය පිළිබඳව මා මෙහිදී සාකච්ඡා නොකරමි. ඉදිරියේදී මා ඔබට පටිච්ඡ සමුප්පාදය කියවා අවබෝධ කරන්නැයි පවසන විට එය කියවා අවබෝධ කරගන්න. එය අවබෝධය ලැබුමෙන් ඔබට මාගේ ආත්මය යනුවෙන් නිත්‍ය යමක් ලොව නොපවතී ලෙසත්, සියල්ලන්ම යම් යම් දෑ ප්‍රත්‍ය කරගෙන උපත ලබන දේ බවත්, ඒ ඒ දෑ නියත වශයෙන්ම ප්‍රත්‍යන් නිරෝධයෙන් විනාශයට පත් වන දෑ බවත් යන අවබෝධය ඔබට ලැබේ. එකල්හි ඔබ මේ කිසිම තැනක නිත්‍ය වූ කිසිවක් ලොව නොපවතී යන්න පිළිබඳව මනා අවබෝධයක් ලබයි. 

එබැවින් සංසාරයේ ඔබ යම් යම් රූපයන් වෙත, මෙය මාගේ ආත්මය ලෙසට ගෙන ඉන්නට ඇත. එසේම යම් යම් ලෙස පංච උපාදාන ස්කන්ධයේ දෙස බලා මේ මාගේ ආත්මය ලෙසට ගෙන ඉන්නට ඇත. තවද ඔබ ඔබගේ ආත්මය සැපයට පමුණුවීමට අනන්තවත් උත්සාහ කරන්නටද ඇත. නමුත් ඒ ඒ උපාදාන වස්තූන් අනිත්‍ය වේ. එබැවින් එකල්හි "මෙය මාගේ ආත්මයයි" ලෙසට ගත් කිසිවක් ඔබට අද නැත. එහෙයින් ඔබට කෙසේ නම් ඔබගේ ආත්මය සැපයට පමුණුවා අවසන් කර නිදහසේ හුස්මක් ගැනීමට හැකිවන්නේද ?

ඒ අනුව පංච උපාදාන ස්කන්ධයෝ තුල ආත්මීය බවක් නොමැත. ඒවා ප්‍රත්‍යන්ද, හේතූන්ද අනුව වෙනස් වන දෑය.

මේ පංච උපාදාන ස්කන්ධයේ ඇති "අනාත්ම" ස්වභාවයයි.

ඒ අනාත්ම බවද අපගේ දුකට හේතු වේ. 



ඒ අනුව පංච උපාදාන ස්කන්ධයේ ආදීනව 3ක් ඔබට දැන් වැටහේ.ඒ 
  1. අනිත්‍ය 
  2. දුක්ඛ 
  3. අනාත්ම        වේ.
මෙසේ පවතින ආදීනව 3 පංච උපාදාන ස්කන්ධයේ ඇති "දුක" වේ.

* ඒ ආදීනව නොවන්නට මේ උපාදානයෝ සැපයක් වන්නට තිබුණා.   



තෙවන කාරණාව 


දැන් ඔබට ලෝකයේ දුක යනු කුමක්දැයි යන්න පිළිබඳව නිසි අවබෝධය ඇතැයි මම උපකල්පනය කරමි. 

දුක යනු අප ආශා කරන දෑ ඉටු කරගැනීම පිණිස කටයුතු කරමින් වෙහෙස ලැබීමය, වේදනා ලැබීමය. සැකෙවින් ගත් කල අපගේ පංච උපාදාන ස්කන්ධයෝම අපට දුක ලබා දෙයි. ඒ ඒවා අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම හෙයිනි.

එබැවින් දැන් ඔබගේ අවබෝධයට ගත යුතු කරුණක් ඇත. එනම් දුක යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ඇති පංච උපාදාන ස්කන්ධයෝම නම් දුකට හේතුව කුමක් වේද යන්නයි. 

  • මෙහිදී දුකට හේතුව ලෙස එකී පංච උපාදාන ස්කන්ධයෝ අනිත්‍ය වීම, දුක්ඛ වීම හා අනාත්ම වීමම ගත හැකිද ?
  • සැබැවින්ම එයද දුකට හේතුවක් වේ. නමුත් එය පමණක් දුකට හේතු වන්නේ නම් අපට කිසිදා දුකින් මිදිය නොහැක. මන්ද පංච උපාදාන ස්කන්ධයෝ ස්ථීර වශයෙන්ම අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවයෙන් යුතු ඒවාය. ඒ ස්වභාවය වෙනස් කල නොහැක
  • එබැවින් අපගේ දුක ඇතිවීමට මූලික වන අපට වෙනස් කල හැකි හේතූන් පවතීද ? නොපවතීද ?
එය සෙවිය යුතුය   


ඒ අනුව පංච උපාදාන ස්කන්ධ තුල ස්වභාවයෙන්ම පවතින වෙනස් කල නොහැකි හේතූන් සෙවීමෙහි පලක් නැත. පංච උපාදාන ස්කන්ධයෝ කුමක් හේතුවෙන් ඇතිවන්නේ දැයි හේතුව සෙවිය යුතුය .පංච උපාදාන ස්කන්ධයන්හි ඇතිවීමට යම් හේතුවක් ලොව වේද එයම ඒකාන්තයෙන් දුකට හේතුව වේ යන පුලුල් වූ අවබෝධය ඒ අනුව දැන් ඔබට ලැබේ.  

එබැවින් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට හේතුව සෙවිය යුතුය ! යන සෙවීමේ, දැනගැනීමේ කුතුහලය දැන් ඔබට ඇති වේ. (මෙය අමෝහයට අයත් වන්නා වූ ප්‍රභල කුසලයකි. මෙවන් කුසල් හි විපාක මගින් චතුරාර්‍ය සත්‍ය නුවණ ඔබට යම් කලක ලැබේ)





* * * * * * * * * * * * * * * * * * * * * * *



මදකට මෙය කියවීම නවත්වා ඔබ ගැන මෙනෙහි කරන්න. ඉහත අවබෝධයන් ඔබ තුල නොවන්නට, එනම් ඔබ මීට පෙරදී දුකට හේතුව කුමක් වේ දැයි ලෙසට ගෙන සිටියේද ?  

එහිදී දුකට හේතුව කුමක්ද ලෙසට ඔබ යම් කලක සිතනු ලැබුවේ නම් ඒ සමගම ඔබට ඇතිවන සිතිවිල්ලක් පවතී. එනම් දුක විඳිනුයේ "මම" විසිනි. එබැවින් දුක විඳින්නට හෝ දුකින් එතෙර වන්නට හෝ සිදුවන්නේ කාටදැයි ? ලෙසට ඔබට සිතේ. (නමුත් මේවාද සිතෙන්නේ යම් තරමකට හෝ ලෝකය විනිවිද දැකීමේ නුවණින් යුතු අයට පමණි.)

එබැවින් "මම යනු කවුද" යන්නට පහත පිළිතුරු 3න් 1ක් ඔබට පවතී.


  1. මම යනු මරණයේදී නියත වශයෙන්ම විනාශයට පත්වන්නා වූ ආත්මයකි. 
  2. මම යනු නිත්‍ය වූත්, විනාශ නොවන්නා වූත් ආත්මයකි. ඒ අනුව මාගේ ආත්මය මරණයේදී විනාශ නොවී භවයෙන් භවයට ගමන් කරන්නා වූ නිත්‍ය වූ ආත්මයකි. 
  3. මම යනුවෙන් යමක් මෙලොව නොපවතී. එබැවින් මේ සියල්ල බොරුවකි. රැවටිල්ලකි.

මම යනු කුමක්ද යන්නට ඔබගේ පිළිතුර මින් කවරක් වේද ?



"මම" යනු ඉහත කරුණු 3න් 1ක් විය යුතුය ලෙසට පිළිගත් ඔබ විසින් දුකට හේතුවත්, ඉන් මිදීමත් පහත පරිදි මින් කවරක් හෝ ලෙස වටහාගනු ඇත.


(i) මම යනු මරණයේදී නියත වශයෙන්ම විනාශයට පත්වන ආත්මයක් වේ. 


එහෙත් මාහට දුක ඇති වන්නේ 

  1. සම්පූර්ණයෙන්ම මා විසින් කරන ලද කර්මයන් නිසාය 
  2. සම්පූර්ණයෙන්ම දෙවියන් (හෝ යම් බලවේගයක්) විසින් දෙවියන්ගේ කැමැත්ත ලෙසට ලබාදෙන නිසාය 
  3. කොටසක් මා විසින් කල කර්මයන් නිසාත්, ඉතිරි ඒවා දෙවියන් විසින් දෙවියන්ගේ කැමැත්ත ලෙස ලබාදෙන නිසාය 
  4. සම්පූර්ණයෙන්ම අහේතුකවය 
  5. ශීලය සම්පූර්ණ නොකිරීම නිසාය

කෙසේ හෝ වේවා සියදිවිනසා ගැනුමෙන් හෝ මාගේ ආත්මය නැසීයාමෙන් මා මේ සියලු දුකින් සදහටම මිදේ.
 

(ii) මම යනු මරණයේදී විනාශ නොවන නිත්‍ය වූ භවයෙන් භවයට යන්නා වූ ආත්මයක් වේ. 


එහෙත් මා හට දුක ඇතිවන්නේ 

  1. සම්පූර්ණයෙන්ම මා විසින් කරන ලද කර්මයන් නිසාය 
  2. සම්පූර්ණයෙන්ම දෙවියන් (හෝ යම් බලවේගයක්) විසින් දෙවියන්ගේ කැමැත්ත ලෙසට ලබාදෙන නිසාය 
  3. කොටසක් මා විසින් කල කර්මයන් නිසාත්, ඉතිරි ඒවා දෙවියන් විසින් දෙවියන්ගේ කැමැත්ත ලෙස ලබාදෙන නිසාය 
  4. සම්පූර්ණයෙන්ම අහේතුකවය 
  5. ශීලය සම්පූර්ණ නොකිරීම නිසාය

කෙසේ වෙතත් මෙහිදී 1 සහ 5 යන හේතු  දෙකට අනුව පමණක් මා විසින් උත්සාහ වන්නේ නම් දුකින් මිදිය හැකිය ලෙසට තීරණය කල හැක. ඒ 1 ට අනුව කර්ම ගෙවා දැමීමෙන් හෝ 5 ට අනුව ශීලය සම්පූර්ණ කිරීමෙනි. 

එහෙත් 2, 3, 4 යන හේතූන් අපට තනිව පාලනය කල නොහැක. එබැවින් සංසාර දුකින් එතෙර වීම සැක සහිතය.


(iii) මම යනුවෙන් මෙලොව යමක් නොපවතී. මේ සියල්ල රැවටීමකි.


ඒ අනුව මා හට ඇතිවන දුකද සත්‍යක් නොවේ. රැවටීමකි. දුකින් එතෙර වීම හෙවත් නිවන යනුවෙන්ද යමක් නැත. ඒ අනුව මා විසින් කිසිවක් කල යුතු නොවේ.

ලෙසට ගැනීම සිදුවේ. මේ වූ කලි දැඩි වූ මිත්‍යා දෘෂ්ටියකි. එම දෘෂ්ටියට අනුව මම යනුවෙන් යමක් නොවන නිසා මා විසින් කල කර්ම විපාකද යලි මා වෙත ඒමක් සිදු නොවේ. එබැවින් මේ දෘෂ්ටියේ සිටිනා අය පාපී ක්‍රියා කිරීමෙහි ලා කිසිඳු බියක් නොදක්වයි.    

යමෙකුන් විසින් මෙකී මිත්‍යා දෘෂ්ටිය බැහැර නොකරන්නේ නම් ඊට හේතුව ඔහුගේ / ඇයගේ පවතින දුර්වල වූ නුවණයි. එබැවින් "එවැනි දැඩි මිත්‍යා දෘෂ්ටිකයන් හට සෝවාන් විය නොහැක !" ලෙසට බුදුන් විසින්ම යම් යම් අවස්ථාවල දේශනා කොට ඇත. (ත්‍රිපිටකය)

ඒ අනුව ඉහතින් දැක්වූ යම් හේතුවක් ලෙසට දුකට හේතුවත්, දුකින් මිදීමත් අර්ථ කථනය කල සෝවාන් නොවූ සත්වයාට තමාගේ සංසාරික දුක පිළිබඳව පැමිණිය හැකිවන නිගමනයන් 2ක් පවතී. ඒ  

  1. සංසාරික දුක කිසිදා කෙලවර නොවන්නකි 
  2. සංසාරික දුක කෙලවර කල හැක්කකි.
ඒ අනුව සංසාරික දුක කෙලවර කල හැකිය යන දෘෂ්ටියට පත් දැඩි මිත්‍යා දෘෂ්ටික නොවූ එම සෝවාන් නොවූ සත්වයා විසින් දුක කෙලවර කල හැකි ව්‍යායාම 3ක් වටහා ගනී. 


a) කර්මය දුකට හේතුව ලෙසට ගන්නා අය විසින් කර්ම ගෙවා දමා දුක අවසන් කල හැකි බවට වටහා ගනී 

b) ශීලය පරිපූර්ණ නොවීම දුකට හේතුව ලෙසට වටහාගන්නා අය විසින් ශීලය පරිපූර්ණ කිරීමෙන් දුක අවසන් කල හැකිය ලෙස වටහා ගනී.

c) තමාගේ ආත්මය මරණයින් විනාශ වන තෙක්ම දුකින් එතෙර විය නොහැකි ලෙසට වටහාගන්නා අය විසින් මරණය මගින් දුක අවසන් කල හැකි බවට වටහාගනී. 



මෙලොව යම් කිසි අයෙකු (බුදුන් යනුවෙන් හඳුන්වන) තමාගේම විශිෂ්ට වූ ඤාණය මගින් ඉහතින් සඳහන් කල මාර්ගයන්ගෙන් පිටස්තර වූ වෙනත් මාර්ගයක් භාවිතයෙන් දුකින් මිදීම සිදු කර, එම දර්මය ලොවට දේශනා කරන්නට ඇතැයි යන්න විය හැකි බව විශ්වාස නොකරයි. සැක කරයි. ඒ අනුව මෙලොව මේ ජීවිතය තුලදීම වෙනත් යම් මාර්ගයක් භාවිතයෙන් දුකින් එතෙර විය හැකි දහමක් ලොව පවතී යන කරුණ සැක කරයි. එසේම එවැනි මාර්ගයක් භාවිතයෙන් ශ්‍රාවකයන් වූ අනෙකුත් අයද (සැරියුත්, මුගලන් ආදී) දුකින් එතෙර වීමද විය හැකි බව විශ්වාස නොකරයි. සැක කරයි. එබැවින් බුදුන්ගේ ශ්‍රාවකයන් පිළිබඳවද මෙසේ අවිශ්වාස කරයි. සැක කරයි.

මේ බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව පෘතක්ජනයාට ඇතිවන සැබෑ සැකයයි.

     .     
එසේම ඉහතින් සඳහන් කල විවිධ වූ දෘෂ්ටීන් බොහොමයකට අනුව වර්තමානයේ තමා විසින් තමාට දුක පැමිණීම මැඩලීම පිණිස කරන ලද ක්‍රියාවන් මගින් තමාට දුක පැමිණීම නතර කල නොහැක. එම නිසා සිත, කය, වචනය සංවර කරගැනීම මගින්, එනම් ත්‍රි ශික්ෂාව මගින් සැපත ලඟා කරගත හැක යන්න පිළිබඳව සැක කරයි.

මේ ත්‍රී ශික්ෂාව පිළිබඳව සැකයයි.


එසේම ආත්මය යනු මරණයෙන් විනාශ වන දෙයක්ය යන දෘෂ්ටියට අනුව ඒ දෘෂ්ටි ඇත්තා විසින් පසු භවයක් ඇතිවීම විශ්වාස නොකරයි. එසේම පෙර භවයක් වූයේ නම් එහි වූ මරණයෙන් තමාගේ ආත්මය වැනසිය යුතු නිසා වර්ථමාන භවය නොපැවතිය යුතුය ලෙසට ගැනීම සිදු කරයි. එබැවින් පෙර භවයේ පැවතීම විශ්වාස නොකරයි. එසේම පෙර භවයන්, වර්ථමාන භවය හා පසු භවයන්ගෙන්ද සැදුම් ලත් සංසාරයක් පවතී යන කරුණද විශ්වාස නොකරයි.    

මේ පෙර භවයන්, අනාගත භවයන්, අතීත අනාගත භවය පිළිබඳව සැකයයි 


තවද දුක යන්න නිර්මාණය වන්නේ අතීත කර්මයන් පැවතීම නිසාවත්, ශීලය අසම්පූර්ණ නිසාවත්, තමා ජීවත් වීම නිසාවත්, දේව කැමැත්ත නිසාවත්, අහේතුක ලෙසට හෝ නොවන බවට ඉහත දෘෂ්ටීන්හි සිටින සත්වයාට නොවැටහේ. සත්වයාගේ සිත හා බැඳෙන හේතූන්ද, ප්‍රත්‍යන්ද මගින් දුක හටගැනීමේ යාන්ත්‍රණයක් ස්වභාව දහම තුල වේ යන බුද්ධ දේශනාව නොවැටහේ. එබැවින් එය අවිශ්වාස කරයි. එනම් පටිච්ඡ සමුප්පාද ධර්මයද ඔවුන් විසින් සැක කරනු ලබයි.

මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව සැකයයි 


මේ අනුව සෝතාපන්න භාවයට නොපත් සත්වයා හට බුද්ධ ආදී 8 තැන් පිළිබඳව සැකය පවතී. එනම් විචිකිච්ඡාව පවතී.

තවද මම යනු නිත්‍ය හෝ අනිත්‍ය හෝ ආත්මයක් වේ යන දෘෂ්ටිය පවතී. එනම් සත්කාය දිට්ඨිය පවතී. 

තවද ශීලය පරිපූර්ණය මගින් දුකින් මිදිය හැකි වේ යන දෘෂ්ටිය පවතී. එනම් සීලබ්බත පරාමාසය පවතී. 



මේ ඔබගේ චතුරාර්‍ය සත්‍ය ධර්මය වටහාගැනීමට ප්‍රථම තිබූ අති ප්‍රභල වූ අවිද්‍යාවෙන් වැසී ගියාවූ, සංසාරයට බැඳ තැබූ සංයෝජන 3යි . 





* * * * * * * * * * * * * * * * * * * * * * *



හොදයි අපි දැන් නැවත කලින් කතා කරමින් සිටි ස්ථානයට යමු.

ඔබ විසින් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට හේතුව ගවේෂණය කරන ලදී. දැන් ඔබ විසින් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට යම් හේතුවක් වේ නම් එයම දුකට හේතුව විය යුතුය යන අවබෝධය තුලට පිවිස ඇත.  

පංච උපාදාන ස්කන්ධය යනු ඒ ඒ කරුණු සාක්ෂාත් කරගැනීම කෙරෙහි රාගයෙන් ගත් දැඩි කැමැත්තක් පැවතීමයි. මෙයට ඡන්ද රාගය යැයි කියනු ලැබේ. මෙසේ ඒ ඒ කරුණු කෙරෙහි උපාදානයක්, එනම් ඡන්ද රාගයක් පැවතීමට හේතුව වන්නේ ඒ ඒ කරුණ අත් කරගැනීමෙන් තමාට ලබන්නට හැකිවන වේදනාව කෙරෙහි තිබෙන රාගයෙන් යුතු ඇලීමයි. එනම් රාග සිතෙහි ඇති ආකර්ශණයයි. මෙය තණ්හාව නම් වේ. එකී තණ්හාව ඇතිවන්නේ වේදනාවක්, එනම් ඒ ඒ කරුණු විඳීම නිසා තමාට සෝමනස්ස සහගත ආස්වාදයක් ලැබීම නිසාය. මෙම වේදනා ඇතිවීමට හේතුව ස්පර්ශය යනුවෙන් යමක් පැවතීමත් වේ.

මේ අයුරින් ස්පර්ශයට හේතුව සලායතන පැවතීමත්, සලායතන ඇතිවන්නේ නාම-රූප පැවතීම නිසාත්, නාම-රූප ඇතිවන්නේ විඤ්ඤාණය පැවතීම නිසාත්, විඤ්ඤාණය ඇතිවන්නේ සංස්කාර මගින් සිත් උත්පාදනය වන නිසාත්, මෙකී සංස්කාර ඇතිවන්නේ සත්‍ය වටහා නොගැනීම, එනම් අවිද්‍යාව නිසාත් ලෙසට දුක නිර්මාණය වීම පිළිබඳව "පටිච්ච සමුප්පාදය" යනුවෙන් ධර්මතාවයක් බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට ලොවට දේශනා කර ඇත.  

ඒ අනුව පටිච්ඡ සමුප්පාද ධර්මතාව අධ්‍යනය කිරීමේදී අපට තේරුම් ගත හැකි වන්නේ සත්වයා විසින්ම තමාට අවශ්‍ය දේ ලබාගැනීම පිණිස සංසාර ගමන නිර්මාණය කරගෙන පවතින බවය. කොතරම් තමා සෙවූ දේ ලැබුනද සදාකාලික වශයෙන්ම යලි එම දෙය ලඟා කරගැනීමේ පිපාසය නොසංසිඳේ. කොතරම් අහිමි වීම් මගින් බැට කෑවද උපාදානයන් සොයායන ගමනද නතර කිරීමේ සූදානමක් නොපවතී. ඒ තරමටම මේ උපාදානයන් පසු පස පන්නා යන සත්වයා සංසාරය තුල අතරමංව, අසරණව පවතී.


එසේම මේ යන ගමනේදී තමාගේ සැපත වනසාලන යම් දෙයක් වේ නම් ඒ කෙරෙහි ද්වේශයෙන් යුතුව විනිශ්චයන්ද කර ඒවා හැකි පමණ විනාශ කිරීම හෝ ඒවාගෙන් පලායාමට අරමුණු කරයි. 

මෙසේ රාගයෙන් විනිශ්චය පමුණුවන ලද දෑ මෙන්ම, ද්වේශයෙන් විනිශ්චය කරන ලද දෑද යන මේ සියල්ලම පවතිනුයේ ලෝකයේ පවතින කරුණු, සිදුවීම්, ධර්මතා ආදිය පිළිබඳව තමා විසින් මෝහයෙන් යුතුව විනිශ්චයන් ඇති කර ගැනීම නිසාය.

* දැන් ඔබ විසින් මේ පිළිබඳව මනා වූ අවබෝධයක් ලබාගැනීම පිණිස පටිච්ඡ සමුප්පාදය කියවා වටහා ගන්න  



ඉහත ලින්ක් මත Click කිරීම හෝ Touch කිරීම මගින් ඊට අදාල ලිපිය කියවා බලන්න. ඉන් පසු පහත දෑ කියවීම ආරම්භ කරන්න.



* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *



දැන් ඔබ විසින් දුකට හේතුව ලෙසට තණ්හාව යනුවෙන් යමක් අප තුල පැවතීම යන්න අවබෝධ කර සිටී. තණ්හාව ඉතා දැඩි වූ දෙයක් විය හැකිය. එසේම එය ඉතාම ශාන්ත වූ හා බැඳීම් වලින් තොරවූ උපේක්ෂා වේදනාවෙන් පමණක් පිරීගියාවූ අරූප ධ්‍යානයක් මත්තෙහි ඇතිවූ ඉතා සියුම් වූ දෙයක්ද විය හැකිය. 

තවද භවයේ රැඳීමට අමතරව භවයෙන් මිදීම කෙරෙහිද ඡන්ද රාගය ඇතිවිය හැකිය. මෙලෙස භවයෙන් මිදීම යන්න උපාදානයට ලක්වන්නේද වෙයි. ඊට හේතුව භවයෙන් මිදුනු අවස්ථාවේ තමන් දුකින් තොරවන බැවින් එයද වින්දනයක් ලෙසට ගලපාලමින් ඒ විභවය කෙරෙහිද තණ්හාවක් ඇති කරගැනීමයි. මෙයට විභව තණ්හාව යැයි කියනු ලැබේ. 

නමුත් නිවන් දැකීම තෙක් සත්වයා ගමන් කිරීම කෙරෙහි විභව තණ්හාවක් පැවතිය යුතුය. නොඑසේ නම් ඔබට නිවන් මාර්ගය වැඩීමටද ශක්තියක් නොලැබේ. එනමුදු අරහත්වයට පත්වන විට එකී විභව තණ්හාවද විනාශයට පත් වී තණ්හාව යන්නෙන් මුලුමනින්ම මිදීම සිදුවේ.

මේ අයුරින් සත්වයා "තණ්හාව" නිසා අනිත්‍ය වූත්, දුක් වූත්, අනාත්ම වූත් දුකින් පිරුණු විවිධ දේ පසු පස වේදනාවෝද, විඩාවන්ද විඳගනිමින් නොසංසිඳෙන ස්වභාවය ඇති පිපාසයෙන් යුතුව පන්නා යාම සංසාරික දුක වේ. ඒ දුකට හේතුව තමන් කැමැති දෑ විඳීමේදී ලැබෙන ආස්වාදයට ඇති ඇලෙන ස්වභාවය හෙවත් තණ්හාවයි. 


* එහෙත් සත්වයා ද්වේශය නිසා ඒ ද්වේශය මගින් අරමුණු කරන ලද දෑ සොයමින් සසරේ ගමන් නොකරයි.නමුත් පළිගැනීමේ අරමුණින් යුතුව ඒ ද්වේශී අරමුණට ලක්වූ දෑ පසු පස සොයා යාම සිදු කරයි. ඊට හේතුවද වන්නේ පළිගැනීම මගින් ලබන්නා වූ ආස්වාදයට ඇති තණ්හාවම වේ. ඒ අයුරින් තණ්හාව යන්නට රාගය පමණක් නොව ද්වේශයද මුල්වන බව ඔබට දැන් පැහැදිලි ඇතැයි මම සිතමි. 

* රාගයෙන් හෝ ද්වේශයෙන් යුතු අරමුණු ලඟාකර ගැනීමට හෝ පළිගෙන විනාශ කිරීමට හෝ ඒ ඒ දේ කෙරෙහි ඡන්ද රාගය පවතින්නේ ඇයි ?

පිළිතුර වන්නේ ඉන් ලබන්නා වූ ආස්වාද වින්දනයට ඇති තණ්හාවයි. නමුත් මීට හේතුව වන්නේද එකී තණ්හාව මගින් තමාට කුඩා සතුටක් හෙවත් ආස්වාදයක් පමණක් ලැබෙන බවත්, ඊටත් වඩා මහා දුකක් ලැබෙන බවත් නොදැන සීටිමයි. ඇතැම් විට ඒ කුඩා සතුට වුවද නොලැබිය හැකිය. එබැවින් මේ රාගයටද, ද්වේශයටද හේතුව වන්නේ ඒ ඒ අරමුණු හා බැඳෙන මෝහයයි. මෝහය යනු මුලාවයි, නොදන්නා කමයි. මේ මෝහය නිසා සත්වයා සංසාරය තුල මුලාවට දැඩිව බැඳීම සිදුවේ. මෙය සත්වයා අවිද්‍යාවට පත්වීම ලෙස හඳුන්වනු ලබයි. අවිද්‍යාවේ බැඳීම වැඩිවන තරමට සත්වයෝ තුල ඤාණය යටපත් වී යයි. මිත්‍යා දෘෂ්ටීන් වෙත ගමන් කිරීම සිදුවේ.        


ඒ අනුව දැන් අපට දුකට හේතූන් 2ක් ඉදිරිපත් කල හැකිය.


1) ඡන්ද රාගය පමුණුවන ලද දුක්ඛිත වූ (එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාව ඇති) උපාදානයන්හි ආස්වාදය කෙරෙහි ඇති "තණ්හාව" 

  • තණ්හාව යනු දුකට හේතුවන දැඩි වූ හේතුවයි 

2) "අවිද්‍යාව" 

  • අවිද්‍යාව යනු තණ්හාවටද හේතුවන ඉතා සියුම් වූ අවබෝධයට අපහසු වූ හේතුවයි.

* සැබැවින්ම දුකට හේතුව ලෙස "අවිද්‍යාව" යැයි පැවසීමෙහිද වරදක් නැත. මන්ද තෘෂ්ණාවද හටගනුයේ අවිද්‍යාව පැවතීමෙන් නිසාය.



සිව්වන කාරණාව 


ලෝක සත්ත්ව සියල්ලෝම තමා කෙරෙහි දුක පැමිණෙනවාට අකමැතිය. එබැවින් මේ දුකෙහි අවසන් වීමක්, එනම් නිරෝධයක් පැණවිය හැකිදැයි යන්න දැන් ඔබ විසින් සෙවීමට නුවණ වෙහෙසවිය යුතුය. 

ඒ අනුව ඔබ මෙසේ තර්ක කල යුතුය. 

  • දුක යනු දෙවියන් විසින් තම තීරණයට ලබාදෙන දෙයක් හෝ ඉබේ ලැබෙන හෝ මාගේ පෙර කර්ම පැවතීම නිසා විපාක ගෙවා දැමීම පිණිස ලැබෙන්නා වූ දෙයක් හෝ නොවේ.
  • දුක යනු පංච උපාදාන ස්කන්ධය ආස්වාදය කිරීමට ඇති තණ්හාවත්, ඝණ අන්ධකාරයක් බඳු වූ අවිද්‍යාවත් හේතුකොට ගෙන ඇතිවන්නා වූ ප්‍රතිඵලයකි. 

ඒ අනුව තණ්හාවද, අවිද්‍යාවද යන දුකට හේතූන් යම් තැනක නොපවතීද එහි දුකෙහි පැවතීමක් අර්ථකථනය කල නොහැක.

තණ්හාවද, අවිද්‍යාවද නොපැවැත්මෙන් කෙසේ නම් දුක අවසන් වේද ?

ඒ අනුව ඔබ විසින් පටිච්ච සමුප්පාදය මුල සිට අගටත්, අග සිට මුලටත් (අනුලෝම වශයෙනුත්, ප්‍රතිලෝම වශයෙනුත්) නුවණින් යුතුව විමසා බලා ඉහත ගැටලුව සහ විසඳුම අවබෝධ කරගත යුතුය.   


ඒ අනුව ඔබ විසින් 

  • අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ - සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ ලෙසට දුක ඇති වන අයුරු මුල සිට අගට දක්නා සේම 
  • දුක නිරෝධ වීමට උපාදාන නිරෝධ විය යුතුය - උපාදාන නිරෝධ වීමට තණ්හා නිරෝධ විය යුතුය ලෙසට දුක නිරෝධ වී යන අයුරු අග සිට මුලටද දකිනු ලබයි. 

ඒ අනුව ඔබ 

  • අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධ වී යන අයුරුත් - සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වී යන අයුරුත් -  -  - මේ අයුරින් පංච උපාදාන ස්කන්ධයෝ, එනම් දුක නිරෝධය වන අයුරුත් අවබෝධයට පත් වේ. 

මේ අයුරින් ඔබ විසින් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත්, නැතිවීමත් මනාකොට වටහා ගන්න. 

ඒ අනුව මෙලොව දුකෙහි අවසානයක්, එනම් විමුක්තියක් පවතින බව ඔබ විසින් පටිච්ඡ සමුප්පාදයට අනුව වටහාගනු ඇති. 


* ඒ අනුව අවිද්‍යාව නිරෝධයෙන් දුක අවසන් කරනවා මිස, සංසාරය පුරා අප විසින් කරන ලද කර්ම ගෙවා දැමීමෙන් දුක අවසන් කිරීමේ ක්‍රමයක් නොවන බවද ඔබ විසින් අවබෝධ කරගනු ඇතිය. (එසේ ක්‍රමයක් තිබුනත් සංසාරයේ මුලක් නොදත් අප සතුව කොපමණ කර්ම පවතී දැයි සිතීමටවත් නොහැක. එබැවින් කර්ම ගෙවීමෙන් කෙසේ නම් දුකින් මිදෙන්නද ! මෙම කර්ම ගෙවීමෙන් දුකින් මිදීම පුරා ඉන්දියාවේ නිඝන්ටයන් විසින් අනුගමනය කල මිත්‍යා මාර්ගයකි)

ඒ අනුව අවිද්‍යා නිරෝධය මගින් අරහත්වයට පත්වන් ආර්‍යයන් වහන්සේට මින් මතු භව සඳහා විපාක දීමට නියමිතව තිබූ සියලුම කර්මයන් අහෝසි වී යයි. මෙය අරහත්වය මගින් කර්මක්ෂය වීම ලෙසින් හඳුන්වනු ලබයි.

* කෙසේ වුවත් අරහත්වයට පත් වුවද, ජීවිතයේ කෙලවර වීම එනම් නිර්වාණයට සමවදිමින් ආයුෂ අවසන් වන තුරුම වර්ථමාන භවයට අදාල විපාකයන් ගෙවා දැමීමට එකී රහතන් වහන්සේට සිදුවේ. ඊට හේතුව යම් භවයකට අදාල කර්මයන් බොහොමයක් විපාක ලැබෙනුයේ එකී භවයේ උපත ලැබීම පදනම් කරගෙන වීමය. රහත් බාවය මගින් දුකින් නොමිදේ. එය දුකින් මිදීමේ අවසාන අදියරට පැමිණීම සනිටුහන් කිරීමයි. දර්මය තුල රහත් බව හඳුන්වන්නේ නිවන් පූර්ණ කිරීම ලෙස වන අතර ආයු අවසන් වී භව ඡේදනය හඳුන්වන්නේ නිවන් දැකීම ලෙසය. 


ඒ අනුව දුකෙහි නිරෝධය යනු කුමක්දැයි යන්න අවසාන වශයෙන් මෙසේ ඉදිරිපත් කල හැකිය.

  1. දුක ඇතිවීමට හේතු වූ තණ්හාවද, අවිද්‍යාවද නිරෝධය සිදු වූ 
  2. වර්ථමාන භවයට අදාලව විපාක ලබමින් සිටින සියලුම කර්මයන්ගේද අවසානය සිදු වූ 
 ස්ථානය දුකෙහි නිරෝධයයි. නිර්වාණයයි. 

ඉහත 1 කරුණ අරහත්වය මගින්ද, 2 කරුණ රහතන් වහන්සේගේ ආයු කෙලවර වීම මගින්ද සැපිරේ.

ඒ අනුව නිර්වාණය යනු දුක්ඛ නිරෝධයයි. 






පස්වන කාරණාව


පංච උපාදාන ස්කන්ධයේ ආස්වාදය ලබගැනීමට පැමිණීම නිසා විශාල වූ සංසාරික දුකකට මුහුණ දීමට සිදුවූ අයුරු ඔබට දැන් මනාව පැහැදිලි ඇතැයි මම සිතමි.

නුවණින් විමසා බලනා කල ආස්වාදය වූ කලී එක වේලක් ප්‍රණීත ආහාර මගින් කුස පුරවා ගැනීමට සමකල හැකිය. එහි ආදීනව වූ කලී මාසයක් කිසිඳු අහරක් නැතිව සාගතයේ සිටීමට සිදුවීමට සමකල හැකිය. 



ඒ අනුව ආස්වාදය සහ එහි ආදීනව සමබර නොවේ. ආස්වාදය හා සසඳන කල එහි ආදීනව ඉතා වැඩිය. ඉහිලුම් නොහැකිය.

මෙය ඔබ විසින් වටහාගනු ලැබුයේ නම්, මෙතැන් පටන් සුළු වූ ආස්වාදයක් ලබාගැනීම වෙනුවෙන් සංසාරික වූ දැඩි වේදනාවන් ඉසිලීම පිණිස ඔබ කැමති වන්නේදැයි ඔබගෙන්ම විමසන්න.

ඒ අනුව දැන් ඔබ විසින් දුකින් මිදීම පිණිස තණ්හාවද, අවිද්‍යාවද ප්‍රහාණය කල යුතු බවට අවබෝධ කර සිටී. 



දැන් ඔබ විසින් නුවණින් විමසා බැලිය යුතු කරුණක් ඇත. ඒ තණ්හාවද, අවිද්‍යාවද ප්‍රහාණය කරන්නේ කෙසේද කියාය.

මේ සඳහා පවතින මාර්ගය කුමක්දැයි යන්න ලොව පහලවන බුදුවරයන්ට (සම්මා සම්බුදු හෝ පසේ බුදු) හැර අන් කිසිවෙකුට තමාගේ නුවණ මගින් අවබෝධ කරගත නොහැකි දෙයකි. ඒ අනුව විශ්වය තුල ඇති අපරිමිත වූ සක්වලයන් අතරින් ඉතාමත් කලාතුරකින් හා ඉතාම දිගු කාලයකට වරක් යම් සක්වලක පහල වන සම්මා සම්බුදු වරයන් වහන්සේලා විසින් මේ සඳහා මාර්ගය කුමක්දැයි යන්න තම නුවණින් අවබෝධ කොට ලෝක සත්වයාට දේශනා කරනු ලබයි.

තණ්හාවද, අවිද්‍යාවද නැසීමෙන් විමුක්තියට (නිවනට) පත්වන මාර්ගය අංග 8කින් සමන්විතය. එය ආර්‍ය භාවයට පත්වන ලද සෝවාන් ඵල ලාභීන් විසින් තමාගේ සෙසු මගපලයන් ලබමින් විමුක්තියට පත්වීම පිණිස භාවිතා කිරීම සිදු කරනු ලබයි. එබැවින් එයට ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යැයි කියනු ලැබේ. ඒ අනුව 


ආර්‍ය අෂ්ටාංගික මාර්ගය         


  1. සම්මා දිට්ඨි 
  2. සම්මා සංකප්ප 
  3. සම්මා වාචා 
  4. සම්මා කම්මන්ත 
  5. සම්මා ආජීව 
  6. සම්මා වායාම 
  7. සම්මා සති 
  8. සම්මා සමාධි 

මෙහිදී සෝවාන් ඵලයට පත්වන ලද ආර්‍යයානන් වහන්සේ සම්මා දිට්ඨිය නම් පළමු අංගයෙන් යුක්ත වේ. එනම් අරි අටැඟි මගට ප්‍රවිෂ්ට වී සිටිත්. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වූ කලී නියත වශයෙන්ම විමුක්තිය තෙක් ගලා යන සැඩ පහරකි. එම සැඩපහරට හසු වූ ආර්‍යන් වහන්සේලා නියත වශයෙන්ම අරහත්වයට පත්වේ. ඒ අර්ථයෙන් සෝවාන් ඵල ලාභියා සෝතාපන්න යැයිද කියනු ලැබේ.   

සම්මා දිට්ඨිය හෙවත් සෝවාන් මගින් ඇරඹෙන මෙම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය අවසාන වන්නේ සම්මා සමාධිය ලබාගැනීම මගිනි.

සම්මා සමාධියට පත්වීම වූ කලී ප්‍රථමයෙන් සමථය මගින්ද, අවසානයේ විදර්ශනාව මගින්ද ලෙස පූර්ණ වූ සමාධියකට පිවිසීමයි.

  • එහිදී සමථ සමාධීන් මගින්, එනම් ධ්‍යාන මගින් රාගයද - ද්වේශයද යන ක්ලේශයෝ ප්‍රහාණය වේ. එනම් සමථය මගින් තණ්හාව ප්‍රහාණය වේ. 

  • විදර්ශනා සමාධිය මගින් මෝහය යන ක්ලේශය ප්‍රහාණය වේ. එනම් විදර්ශනාව මගින් අවිද්‍යාව ප්‍රහාණය වේ.   



එහිදී ආර්‍ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වන සමථයෙන්ද, විදර්ශනාවෙන්ද පිරී ගිය සම්මා සමාධියේදී "සම්මා ඤාණ" යන නවතම අංගයක් ලැබීම සිදුවේ. මේ සම්මා ඤාණය වූ කලී 
  • ආස්‍රවක්ෂය ඤාණයයි (අරහත්වය ලැබීම)
 

බොහෝ විට මෙකී සම්මා ඤාණ ලෙසට 

  1. චතුරාර්‍ය සත්‍යය ඇති සැටියෙන්ම දැකීමේ ඤාණය (ආස්‍රවක්ෂය ඤාණය) 
  2. පෙර භවයන් සිහිකිරීමේ ඤාණය (පුබ්බේ නිවාසානුස්සති ඤාණය)
  3. සත්වයන් යම් භවයකින් නික්ම වෙනත් භවයක ඉපදීම දැකීමේ දිවැස් ඤාණය (චුතුපපාත ඤාණය)  

යන ඤාණයෝ 3ම හඳුන්වන අතර මේවාට "ත්‍රිවිද්‍යා" යැයිද ව්‍යවහාර කරනු ලැබේ.

මෙසේ සම්මා සමාධිය සම්පූර්ණවත්ම සම්මා ඤාණ ලබන බැවින් එහිදී අරහත්වයට පත්වන ආර්‍යයන් වහන්සේ තමා සසරට මෙතෙක් බැඳ තැබූ අවසන් බන්ධනයද වන "අවිද්‍යාව" ද නසා විමුක්තියට පත්වනු ලැබේ. එබැවින් මෙයට "සම්මා විමුක්තියට" පත්වීම යැයි ව්‍යවහාර කරනු ලැබේ. 


* ත්‍රිපිටකයේ බොහෝ දේශනා සූත්‍ර වලට අනුව, සම්මා සමාධිය තුල පූර්ණත්වයට පත්වන සමථය වන්නේ චතුර්ත ධ්‍යානයයි. ඒ විදර්ශනාව වැඩීම පිණිස සුදුසුම භූමිය වන්නේද චතුර්ත ධ්‍යානය ලෙසට ධර්මය තුල සඳහන් වන නිසාය. 

මෙසේ සමථයෙන් උපන් සමාධිය පූර්ණත්වයට පත්වූ පසු, එනම් චතුර්ත ධ්‍යානය පූර්ණ වූ පසු (අනාගාමී) ආර්‍යයන් වහන්සේ විසින් විදර්ශනා සමාධිය පිණිස සිත යොමු කරනු ලබයි. එහිදී සිය කෙලෙස් සංයෝජන ලෙසට තවදුරටත් ඉතිරිව පවතින මානයද, උද්ධච්ඡයද යන සංයෝජනද ප්‍රහාණය වීමත් සමග මේතාක් එකී ආර්‍යයාගේ විදර්ශනා සමාධියේ පූර්ණත්වයට බාධක වූ සියල්ල ඉවත්වී යයි. එනම් මේ වන විට පූර්ණ ලෙසටම පංච නීවරණයෝ දුරුවී ගොස් තිබේ. එහෙයින් මේ අවස්ථාවට සමථ සමාධිය සේම විදර්ශණා සමාධියද පූර්ණත්වයට පත්වූ "සම්මා සමාධිය" යැයි කියනු ලැබේ.


* මෙකී ත්‍රිවිද්‍යා ඤාණයන්ට අමතරව යම් ආර්‍යයන් වහන්සේ නමක් විසින් අභිඤාව (ධ්‍යාන විෂයට අදාල) මගින් ලබාගත යුතු වන්නා වූ සෙසු අභිඤාවන් පිණිස සිත මෙහෙයවනු ලබන්නේ නම් උන්වහන්සේට එකී අභිඤාවන්ද ලැබීම සිදුවන බව ධර්මයේ සඳහන්ය.

උදා :-

  • සෘද්ධීන් 
  • දිව්‍ය ස්‍රෝත ඤාණය 
  • පරසිත් දැනගැනීමේ ඤාණය (පරචිත්ත විජානන ඤාණය / චෙතොපරිය ඤාණය)  
ආදිය වේ.



මේ අයුරින් සෝවාන් ඵලයට හෙවත් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පලමු පියවරට පත්වන ආර්‍යයන් වහන්සේ විසින් එහි අවසන් පියවර වන සම්මා සමාධිය කරා තල්ලු වීම ඉබේම සිදුවේ. 

මෙය සෝවාන් ඵල ලාභියා නිවන කරා ගලායන සැඩපහරට හසුවීම ලෙසට ව්‍යවහාර වේ. එනම් සෝවාන් මගින් ඇරඹෙන, රහත් මගින් අවසන් වන මෙම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වූ කලී සෝවාන් ඵලයට පත් ආර්‍යයන් වහන්සේව නිවන කරා බලයෙන්ම මෙන් රැගෙනයන සැඩ පහරයි. එබැවින් සෝවාන් ඵල ලාභියාට තමා මින් මතු ඇති තරම් භවයන්හි උපත් ලැබීමට නොහැකි වේ. 

ධර්මයට අනුව සෝවාන් ඵල ලාභියෙකු උපරිම වශයෙන් තවත් භව 7ක් පමණක් විශ්වය තුල සැරිසරනු ලබයි. 

සෝවාන් ඵල ලාභීන්ගේ ආකාර


  1. සත්තක්ඛත්තු පරම ලෙසට මිය යන - මිනිස් හා දෙව්ලොව භව 7ක් උපදමින් 7 වන භවයේදී අරහත්වය කරා ගමන් කරනු ලැබේ 
  2. කොලංකොල ලෙසට මිය යන - භව 2ක් හෝ 3ක් වැනි කාලයක් දෙවි හෝ මිනිස් භවයන්හි උපත ලබා අරහත්ව කරා ගමන් කරනු ලැබේ.
  3. ඒකබීජී ලෙසට මිය යන - මීලඟ භවය මිනිස් භවයක උපත ලබා එහිදී අරහත්වයට පත්වේ. 
  4. සකෘදාගාමී වී මිය යන - දෙව්ලොවද ඉපදෙන අතර තවක් එක් වරක් පමණක් මිනිස් භවයක උපත ලබා අරහත්වයට පත් වේ.
  5. අනගාමී වී මිය යන - යලිත් කාම ලොව නූපදී. බඹ ලොව ඉපිද එහිම යලි යලිත් භව කීපයක් උපදවා අරහත්වයට පත් වේ.
  6. නැවත භවයක් නොමැති වන - සෝවාන් ඵලයට පත්වන ජීවිතයේම අරහත්වය කරා ගමන් කරයි (සැරියුත් හිමි ආදී) 

 * කෙසේ වුවත් මෙම භව 7 ක කාලය බුදුවරුන් කිහිපදෙනෙකු පවා ලොව බිහිවීමට ගතවන තරම් ඉතා දීර්ඝ කාලයක් විය හැකිය. (ඒ ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ අනුව)



මෙහිදී සෝවාන් ඵලයේදී ලබන දර්ශණය නිසා එකී ආර්‍යයා විසින් තමා තුල ඇතිවූ අවබෝධය, එනම් ප්‍රඤාව හේතුකොට ගෙන ලෝකය දෙස දැඩි අවබෝධයෙන් හා විචාරශීලීව බැලීමට පටන් ගනී. වර්ථමානයේදී නිවන පිණිස දැඩිව වෙහෙසක් ගත්තද, නොගත්තද "නිවන" හෙවත් සසර දුකින් මිදීම පිණිස කටයුතු කිරීම තමාට ඇති එකම විකල්පය ලෙසට වටහාගෙන සිටී. එබැවින් නිවන සාක්ෂාත් කිරීම පිණිස කල යුත්ත මෙන්ම නොකල යුත්ත කුමක්දැයි යන සිතිවිලි දරමින් කාලය ගත කිරීම සෝවාන් ඵල ලාභියා විසින් සිදුකරනු ලබයි. 

ඒ අනුව තම කර්ම ශක්තීන්ට අනුව විවිධ වේගයන්ගෙන් යුතුව ක්‍රම ක්‍රමයෙන් නිවන කරා යාමට අවශ්‍ය ක්‍රියාවන්හි නිරත වීම ආරම්භ වේ.        



ඒ අනුව නිවන සාක්ෂාත් කරන මාර්ගය එනම් ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නම් පහත අංග 8න් යුතු මාර්ගයයි. මෙය තමන් විසින් බලහත්කාරයෙන් කරන්නක් නොව සම්මා දිට්ඨිය නිසාම තමන් අතින් සිදුවන ලද්දක් වේ. 


1) සම්මා දිට්ඨිය 

- චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් යුතු වීම  


2) සම්මා සංකප්ප

- කාමයන්ගෙන්, ව්‍යාපාදයන්ගෙන්, මෝහයන්ගෙන් වෙන්වීම යහපත්ය යන සිතිවිල්ල 
- රාග, ද්වේශ, මෝහ දැඩි ආදීනව සහිත බවට වන සිතිවිලි 
- අලෝභය, අද්වේශය, අමෝහය සහගත සිතිවිලි 
  • අලෝභය - දානය 
  • අද්වේශය - ඉවසීම / ශීලය රැකීම / මෛත්‍රීය / කරුණාව 
  • අමෝහය - සිහිය හොඳින් පවත්වා ගෙන යාම / භාවනාව,... ආදී සිතිවිලි වලින් යුතු වීම  

3) සම්මා වාචා 

- ලෝභය, ද්වේශය, මෝහය නිසා සිදුවන වචනයන්ගෙන් වැලකීම 
- සත්‍ය ප්‍රකාශ කිරීම
- මෛත්‍රී සහගත, කරුණා සහගත, අනුන් සමගි කරවන දෑ ප්‍රකාශ කිරීම 
- අර්ථවත් දෑම පිළිබඳ කථා කිරීම,... ආදී වචනයෙන් යුතු වීම    


4) සම්මා කම්මන්ත 

- පරපණ නැසීම, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, සුරාව මගින් සිහිය විකල්  කරගැනීම යන ක්‍රියාවන්ගෙන් වැළකීම 
- සතුන්ට ජීවිත දානය දීම, අන්සතු දේ පවා ආරක්ෂා කිරීම
- දානය 
- අනුන් සමගි කරවන ක්‍රියාවන් කිරීම,.... ආදී ක්‍රියාවෙන් යුතු වීම    


5) සම්මා ආජීව 

- කාමයන් පසු පස දැඩිව හඹා නොයන, සුලු-සුලු අරමුණු සමගින් ජීවිතය පවත්වාගෙන  යාම (අල්පේච්ඡ ජීවිතය)
- ලෝභය, ද්වේශය, මෝහය දැඩිව ජනිත වන හා අකුසල් රැස්වන වෘත්තීන්හි නිරත නොවීම 
  • සත්ව වෙළදාම 
  • නීතීඤ කටයුතු 
  • වංචා සහගත වෙළදාම් ආදියෙන් වැළකී ජීවිතය ගෙවීම      


6) සම්මා වායාම 

මීට පෙර තමන් අතින් අකුසල් සිදුවී ඇත. කුසල්ද සිදුවී ඇත. එබැවින් 

- සිදුවූ අකුසල් යලි නොකිරීමට වෑයම් කිරීම 
- සිදු නොවූ අකුසල් කිසිදා නොකර සිටීමට වෑයම් කිරීම 
- සිදුවූ කුසල් යලි යලිත් වැඩි වැඩියෙන් කිරීමට වෑයම් කිරීම 
- සිදු නොවූ කුසල් කිරීම පිණිස වෑයම් කිරීම 

යන උත්සාහයන් 4හි නිරත වීම. 

* මෙයට සතර සම්‍යක් ප්‍රධාන වීර්‍යයන් යැයිද කියනු ලැබේ 


7) සම්මා සති 

සුරාව ආදිය මගින්, අධික කාර්ය බහුලත්වය මගින් තම සිහිය තමාටද නොදැනී වියැකී යයි. නිවන පිණිස ගමන් කරන විට එහි අවසාන භාගයට ලංවත්ම ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංග 6 ඉතාමත් හොඳ මට්ටමක පවතී. 

මේ මට්ටමට කායික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන්ද සංසුන් ස්වභාවයක් ඇති කරගැනීම අත්‍යවශ්‍යම වේ. එතැන් පටන් සෝවාන් ඵල ලාභියාට (බොහෝ විට මේ වන විට එකී ආර්‍යයන් වහන්සේ සකෘදාගාමී මාර්ගඵලයේ සිටී) තමා සෝවාන් වනවිට අවබෝධ කරගත් චතුරාර්‍ය සත්‍ය පිළිබඳව ඉතා ගැඹුරින් හා පැහැදිලි ලෙසින් වටහා ගනිමින් ක්ලේශයන් ප්‍රහාණය කිරීම සිදුකල හැක. සැබැවින්ම සෝවාන් ඵල ලාභියා තමාගේ කර්ම ශක්තිය හා ප්‍රාර්ථනා වල බලය මත විවිධ වේගයෙන් යුතුව ප්‍රථම අංග 5,6 සපුරාලීම සිදුකරගනී. විශේෂම කරුණ වන්නේ සිතාමතා හෝ වෙහෙස වෙමින් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමක් සෝවාන් ඵල ලාභියා සිදු නොකිරීමයි.

දැන් යථාර්ථය මැනවින් අවබෝධයට සුදුසුම කාලයයි. එබැවින් දැන් කෙමෙන් කෙමෙන් තමාගේ සිතෙහි පාලන බලය තමාගේ අතට පත් කරගත යුතුය. (තමාගේ සිත යන අර්ථය සම්මුති වශයෙන් පමණක් ගන්න). මේ සඳහා බාහිර ලෝකය දෙස නිවැරදි සිහිය පිහිටුවීමට ප්‍රථමයෙන් උත්සාහ කිරීම ඉතා සුදුසු යැයි මාහට හැඟේ.

මේ සඳහා තමාගේ සිහිය වර්ධනය කරන පහත දෑ සිදුකල යුතුය 
  1. සතර සති පට්ඨානය වැඩීම 

නමුත් මා මේ සඳහා වැඩියමක් ප්‍රකාශ නොකරමි. සුදුසු ගුරු ඇසුරක් ලබාගෙන භාවනාවට යොමුවීම දැන් ඔබ විසින් ඇරඹිය යුතුය.

මෙයට සම්මා සතිය යැයි කියනු ලැබේ. 

* බොහෝ විට ත්‍රිපිටක ධර්මය තුල සම්මා සතිය වැඩීම ලෙසට ගෙන ඇත්තේ සතර සතිපට්ඨානය වැඩීමත් එය බහුල කිරීමත්ය.    

8) සම්මා සමාධි 

සතිය වැඩෙත්ම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නම් සැඩපහර මගින් ඔබව සමාධිය කරා ඉබේම රැගෙන යනු ඇත. සමාධිය ලබාගැනීමට වෙනමම මගක් නොමැත. ඔබ ඔබගේ සිහිය යම් කරුණක් කෙරෙහි මැනවින්ම පවත්වන්නේද එහිදී ඔබව සමාධියට පත්වීම ස්වාභාවිකව සිදුවන කරුණකි.

මේ අයුරින් සමාධිය ලබාගැනීම පිණිස ඔබ ඔබේ සිහිය (එනම් සතිය) පවත්වන ස්ථාන වලට කර්මස්ථාන යැයිද පවසනු ලැබේ. 

සතිය වඩන විට සමාධිය තීව්‍ර වීමට පටන් ගනී. මෙසේ සමාධිය යම් නිශ්චිත ගැඹුරකට ලඟා වූ විට ඔබ තුල පංච නීවරණයෝ තාවකාලිකව යටපත්වී යයි. එහිදී පහත අංග ඔබට ලැබේ.   

  • විතර්ක, විචාර (කාමයන් හා ව්‍යාපාදයන්ගෙන් තොරවූ)
  • විවේකී බව 
  • ප්‍රීතිය 
  • සුඛය 
  • මානසික ඒකාග්‍රතාවය 
යන අංගයන්ගේ පිරීයාමකට ලක්වේ. මේ ප්‍රථම අධි සමාධිය ඔබගේ ප්‍රථම ධ්‍යානයයි.


මේ අයුරින් ඔබට සෙසු ධ්‍යානයන්ගේද වැඩීම ගුරුවරයෙකුගේ මගපෙන්වීමද ලබමින් සිදුකල හැකිය.

ධ්‍යාන වැඩෙත්ම ඔබට විවිධ ආකාරයේ කර්මස්ථාන සහිතව නිවන අරමුණු කරන්නා වූ ඕනෑම භාවනාවක් වැඩීම සුදුසුය. 

එකල්හි ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර ඍද්ධි පාදයෝද ඔබ වැඩුමට යන්නේ නම් ඔබට ඔබගේ සිතෙහි පාලන අධිකාරී බලය ලබාගැනීමට හැකිවනු ඇත.

මෙසේ ධ්‍යාන වඩත්ම ඔබගේ සමථ සමාධිය මගින් ඔබගේ සෙසු ක්ලේශයන්ගේද ප්‍රහාණය සිදුවන නිසා ඔබගේ සෙසු මාර්ගඵලවලටද පිවිසීමට ඔබට හැකියාව ලැබේ. 

මේ අයුරින් යම් කලක ඔබ අනාගාමී සිට අරහත්වයට නියත වශයෙන්ම පත්වීම සිදුවේ. එබැවින් මෙයට "දුක නිස්සරණය කිරීමේ මාර්ගය" හෙවත් "පංච උපාදාන ස්කන්ධයේ නිස්සරණය සිදුකරන මාර්ගය" යැයි ව්‍යවහාර කරනු ලැබේ.      






ඔබට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වූවාද ?



1) දුක්ඛ ආර්‍ය සත්‍යය  

ඉහත ඔබ අවබෝධ කරගත් පංච උපාදාන ස්කන්ධයේ ආදීනව වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ඒවා හේතුවෙන් සසර පුරා ඉමක් නිමක් නොමැතිව ඔබට ලැබෙන්නා වූ දුක්ඛයන් මගින් දුකට පත්වීම ලෝක සත්‍යතාවයකි. මේ දුක් වූ කලී ඔබට ශාරීරික හෝ මානසික වශයෙන් විඳීමට සිදුවන පීඩාකාරී වේදනාවන් වේ. 


මේ දුක් තමාට විඳවීමට ලැබෙන ආකාරය අනුව පහත පරිදි 3න් ආකාර වේ 

  1. දුක්ඛ දුක්ඛය 
  2. විපරිණාම දුක්ඛය 
  3. සංස්කාර දුක්ඛය 


1. දුක්ඛ දුක්ඛය
  • කායික වශයෙන් පීඩාවක් ගෙනදෙන දුක් වේදනා (රහතන් වහන්සේටද මේවා ඇත) 
  • මානසික වශයෙන් අප්‍රිය දෑ විඳවීමෙන් ලැබෙන දෝමසන්න වේදනා (රහතන් වහන්සේට මේවා නැත)  
යන ඒවා දුක් සහිත දෙයක් ලැබීම නිසා ඇතිවන දුක්ඛයන්ය. මේ දුක්ඛ දුක්ඛයයි.  


2. විපරිණාම දුක්ඛය
  • මානසික වශයෙන් සෝමනස්සයක් (ආස්වාදයක්) ගෙනදුන් ප්‍රිය දෑ වෙන්වී යාමක් හෝ බිඳී යාමක්  මගින් හටගැනෙන දෝමනස්ස වේදනාව (රහතන් වහන්සේට මේවා නැත)  
යන ඒවා ආස්වාදය ලබාදෙන දෙයක අවසන් වීමක් නිසා ඇතිවන දුක්ඛයන්ය. මේ විපරිණාම දුක්ඛයයි.


3. සංස්කාර දුක්ඛය 
  • මේ ලෝකයේ ඇති සියලුම දෑ යම් යම් හේතූන් නිසා හටගෙන ඒ ඒ හේතූන්ගේ අභාවය නිසා විනාශයට පත්වන දෑය. එනම් සංස්කාරයෝය. මෙසේ රහතන් වහන්සේලාද ඇතුලු සියලු ලෝක සියලු සත්වයෝ දුක්ඛ දුක්ඛය මගින් හෝ විපරිණාම දුක්ඛය මගින් යම් මොහොතක දුකට පත් නොවී සැපසේ සිටිනවා විය හැකිය. යම් මොහොතක පමණක් නොව, මේ ගෙවන ජීවිත කාලයම එකී දුක්ඛයන්ට ගොදුරු නොවී සැපසේ සිටිනවාද විය හැකිය. නැතහොත් මේ ගෙවන ජීවිතය පමණක්ම නොව, කුසල අනුව තවත් දීර්ඝ භව ගණනක් එකී දුක්ඛයන්ට ගොදුරු නොවී සැපසේ සිටිනවාද විය හැකිය. එහෙත් අනිත්‍යතාව උරුම කොට ඇති මේ සසරේ මීලඟ මොහොතේ හෝ මීලඟ භවයේ හෝ කවදා හෝ නිවන් දකින තුරුම තමා සසරේ කල අකුසල් වල විපාක ලැබෙනු ඇත.    
මේ අයුරින් සංස්කාර නොපවත්නා නිර්වාණය දක්නා තුරාවටම තමා සතු කුසල් - අකුසල් ආදී සියලුම සංස්කාර වල පවතින අනිත්‍ය ස්වභාවය නිසා තමා දුකට පත්වන ස්වභාවයක් තුල සිටීම සංස්කාර දුක්ඛයයි. 

ඒ අනුව ඔබ අප වර්තමානයේ දුක්ඛ දුක්ඛයට හෝ විපරිණාම දුක්ඛයට භාජනය නොවී සිටිනවා වුවද සෑම මොහොතකම සංස්කාර දුක්ඛයේ ගිල්වී ගොස් දුකට පත්ව සිටී. 

* රහතන් වහන්සේ නමකට විපරිණාම දුක් නොපවතී. එහෙත් පාරිසරික වෙනස්කම්, ලෙඩ රෝග ආදිය මගින් දුක්ඛ දුක්ඛය ඇතිවිය හැක. වර්ථමානයේ දුක්ඛ දුක්ඛයෙන්ද තොරවී සිටියත් පූර්ව අකුසල් අනුව නිවන් දකින තුරාම ඒ ඒ අකුසල් වල දුක් විපාක ලැබීමට ඉඩ ඇත. එබැවින් දුක්ඛ දුක්ඛය හා සංස්කාර දුක්ඛය රහතන් වහන්සේටද උරුමය. එහෙත් නිර්වාණ දොරටුවට පා තැබූ තැන් පටන් ඒ රහතන් වහන්සේ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වේ.   


දුක් සඳහා උදාහරණ :-
  • ඉපදීම - සංස්කාර දුකකි
  • අනාගතය පිළිබඳව ඇති දුක්ඛිත වූ අවිනිශ්චිතතාව - සංස්කාර දුකකි 
  • අප සතු වටිනා වස්තූන් ගේ අනිත්‍යතාව - සංස්කාර දුකකි 

  • ජරාවට පත්වීම - විපරිණාම දුකකි  
  • ප්‍රියයන්ගේ මරණය - විපරිණාම දුකකි 
  • ප්‍රිය දෑහි විනාශය - විපරිණාම දුකකි 
  • ප්‍රියයන්ගෙන් වෙන්වීම - විපරිණාම දුකකි 

  • ලෙඩවීම - දුක්ඛ දුකකි
  • ප්‍රිය දෑ ලබාගත නොහැකි වීම - දුක්ඛ දුකකි 
  • අප්‍රියන් හා එක්වීම - දුක්ඛ දුකකි   

අවිද්‍යාවේ සිටිනා සත්වයෝ තමාට ලැබෙන්නාවූ ආස්වාද වේදනාව කෙරෙහි ඇති කරගන්නා ඇලෙන ස්වභාවය හෙවත් තණ්හාව නිසා, එම ආස්වාදය තමාට ලබාදෙන්නා වූ පංච ස්කන්ධයන් මත සිය ඡන්දරාගය සහිත සිත පිහිටුවීම සිදුකරයි. මේ පංච උපාදාන ස්කන්ධයයි. 


සත්වයෝ සසර තුල භවයෙන් භවයට ගමන් කරමින් මේ සොයමින් යන්නේ කුමක්ද ? ඒ සංසාර ගමන තුල කොතරම් දුක් ගැහැට, ශෝක, වේදනා විඳීමට සිදු වුවද ඒ කුමකින්වත් සත්වයා සසර කලකිරීමකට පත් නොවන්නේ ඇයි?

මීට හේතුව වන්නේ තමා පංච උපාදාන ස්කන්ධය සොයමින් ඒවා ආස්වාදය කිරීම පිණිසම යලි යලිත් ප්‍රාර්ථනා කිරීමයි. මෙසේ සසර තුල ගමන් කරන සත්වයාට ඇතැම් විට තමා සෙවූ උපාදානයෝ හමුවේ. එවිට ඔහු හෝ ඇය විසින් අනිත්‍ය නම් සාගරයේ ගිලී ඒවා ආස්වාදය කිරීමෙහි යෙදේ. නමුත් ඉන් සත්වයාගේ තණ්හා පිපාසය සංසිඳේද ?

නැත. තව තවත් උපාදානයන් කෙරෙහි තණ්හාව වැඩිවීම එමගින් සිදුවේ. ඒ අනුව පංච උපාදාන ස්කන්ධයෝ මගින් සත්වයා දිගින් දිගටම සසර තුල ධාවනය කරවීමට අවශ්‍ය ඉන්ධන සපයයි. මේ උපාදානයන් පසුපස ගමන් කිරීම නිසාම මේ බියකරු වූ සංසාරය තුල ඉතා සුලු මෙන්ම ඉතා දැඩි වූත් ඛේදවාචකයන්ට මුහුණ දීමට සත්වයාට සිදුවේ. විඳවීමට තබා සිතීමටවත් අසීරු වන දුක් සයුරක් තුල නිත්‍ය සිරකරුවෙකුව සිටීමට සත්වයාට සිදුවේ. 

ඒ අනුව සාරාංශ ලෙස ගත්කල මේ සියලු දුක අන් කිසිවක් නොව. පංච උපාදාන ස්කන්ධයෝම දුක වේ.

මේ අයුරින් සත්වයා සසර තුල පංච උපාදාන ස්කන්ධය මගින් දුකට පත්වීම ලෝක සත්‍යයකි. බොරු කල නොහැක්කකි. විශ්වය පවතින්නේ යම් කල්ද, ඒ සෑම කල්හිම මෙය සත්‍යයක්ම වේ.

එබැවින් මේ පළමු සත්‍යයි. මේ දුක්ඛ ආර්‍ය සත්‍ය නම් වේ. එනමුදු සත්වයෝ මේ සත්‍ය වටහාගැනීමෙහි ලා අපොහොසත් වෙති. 

* මේ සත්‍යය අවබෝධය අභව්‍ය වනතාක් සත්වයෝ, ජීවිතය වූ කලී යම් දිනක සැප මගින් තෘප්තිමත් කල හැකි දෙයක් ලෙසට වටහාගනු ලබයි.     



2) දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යය  

සත්වයෝ පංච උපාදාන ස්කන්ධය නිසා දුකට පත්වේ. මෙම පංච උපාදානයෝ ඇතිවන්නේ තෘෂ්ණාව නිසාය.

තෘෂ්ණාව යනු ආස්වාදය ලබාදෙන වේදනාව කෙරෙහි ඇලීමයි. එබැවින් ආස්වාදය කෙරෙහි ඇලෙන බවක් නොවන්නේ නම් සත්වයෝ කිසිවක් උපාදානය නොකරන්නේය. ඒ අනුව දුක්ද ඇති නොවේ. 

එබැවින් දුක හටගැනීමට හේතුව තෘෂ්ණාවයි. 

සැබැවින්ම සත්වයෝ ආස්වාදය කෙරෙහි ඇලෙන්නේ එම ආස්වාදයේ ආදීනව පිළිබඳ නොදත් නිසාය. සංසාර දුක පිළිබඳ අවබෝධයක් හරිහැටි නොමැති නිසාය. මේ අවිද්‍යාවයි. අවිද්‍යාව නිසාම සත්වයෝ ආස්වාදයේ ඇති දුක්ඛිත ආදීනව වටහා නොගනී. එබැවින් පංච උපාදාන ස්කන්ධ මත ඡන්දරාග සිත පිහිටුවා හරිනු ලබයි.

ඒ අනුව දුක හටගැනීමේ මූල හේතුව වන්නේ අවිද්‍යාවයි. ඒ අනුව තෘෂ්ණාවත්, අවිද්‍යාවත් දුකට හේතූ වේ. 

ඒ අනුව තෘෂ්ණාව හා අවිද්‍යාව යන 2 මගින් සත්වයාට දුක ඇති කරවීමට හේතූන් වන බව ලෝක සත්‍යයකි. බොරු කල නොහැක්කකි. විශ්වය පවතින්නේ යම් කල්ද, ඒ සෑම කල්හිම මෙය සත්‍යයක්ම වේ.

එබැවින් මේ දෙවන සත්‍යයි. මේ දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය නම් වේ. එනමුදු සත්වයෝ මේ සත්‍ය වටහාගැනීමෙහි ලා අපොහොසත් වෙති. 

* මේ සත්‍යය අවබෝධය අභව්‍ය වන තාක් යම් නුවණැති එහෙත් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් දුකට හේතුව ලෙසට 
  • තමාගේ ආත්මය පැවතීම 
  • තමාගේ ගෙවිය යුතු කර්මයන් පැවතීම 
  • තමා ශීලයෙන් පරිපූර්ණ නොවීම  
ආදී කරුණු සලකනු ලබයි.  



3) දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍යය  

පටිච්ඡ සමුප්පාදය මුල සිට අගටත්, අග සිට මුලටත් අවබෝධ කරගත් ඔබට මෙකී පංච උපාදාන ස්කන්ධයන්හි හෙවත් සංසාර දුක්ඛයේ උදයංගමය (ඇතිවීම) හා අස්තංගමය (නැතිවීම) වැටහී ඇත. 

පටිච්ඡ සමුප්පාදයට අනුව දුකෙහි අස්තංගමය නම් දුකට හේතුව වන තණ්හාවද, අවිද්‍යාවද ප්‍රහාණය සිදුකිරීම මගින් මෙලොවදීම, එනම් ජීවත්ව සිටියදීම දුකෙන් වෙන්වී සිටීමයි. නමුත් වත්මන් භවය පැවතීම නිසා විපාක වශයෙන් ලැබෙන්නාවූද දුක්ඛයන් එලෙස තණ්හාවද, අවිද්‍යාවද ප්‍රහාණය කොට ජීවත් වන්නා වූ රහතන් වහන්සේට තම ආයු කෙලවර වන තෙක්ම දුක්ඛ දුක්ඛයන් හා සංස්කාර දුක්ඛ ලෙසට විඳීමට සිදුවන බැව්ද දැන් ඔබට මනාවට පැහැදිලි ඇති. 

මෙලෙස පටිච්ඡ සමුප්පාදයට අනුව පංච උපාදානයේ උදය-වැය දැනගත් ඔබ විසින් රහතන් වහන්සේලා නියත වශයෙන්ම සියලු දුකින් නිදහස් වන බව, එනම් දුක්ඛයන් නිරෝධය කරන බව අවබෝධ කරගෙන සිටී. 

එබැවින් නිර්වාණය යනු දුක්ඛ නිරෝධයයි.

මෙසේ රහතුන් දුක්ඛ නිරෝධයට හෙවත් නිර්වාණයට පත්වීම ලෝක සත්‍යතාවයකි. බොරු කල නොහැක්කකි. විශ්වය පවතින්නේ යම් කල්ද, ඒ සෑම කල්හිම මෙය සත්‍යයක්ම වේ.

එබැවින් මේ තුන්වන සත්‍යයි. මේ දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍ය නම් වේ. එනමුදු සත්වයෝ මේ සත්‍ය වටහාගැනීමෙහි ලා අපොහොසත් වෙති.

* මේ සත්‍යය අවබෝධය අභව්‍ය වන තාක් යම් නුවණැති එහෙත් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් දුක්ඛ නිරෝධය ලෙසට
  • තමාගේ ආත්මය විනාශ කිරීම
  • ශරීරයට අධික දුක් දී කර්මයන් ගෙවා දැමීම
  • ශරීරයට අධික සැප දී සැපයෙන් ආත්මය පරිපූර්ණ කොට දුක වැලැක්වීම 
  • තමා ශීලයෙන් පරිපූර්ණ වීම   
ආදී කරුණු සලකනු ලබයි.



4) දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍යය 

දුක්ඛ නිරෝධය සිදුකරන මාර්ගය ලෙස සෝවාන් ඵලයෙන් ඇරඹෙන ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යන්න දැන් ඔබ විසින් අවබෝධ කොට ඇත.

නිසි පරිදි ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කිරීමේදී සම්මා සමාධියට පත්වීම සිදුවන බව ඉහත ඔබ උගත්තේය. එහිදී සම්මා සමාධිය ලැබීම යනු සමාධීන් 2ක පරිපූර්ණ භාවය ලැබීමයි. ඒ 
  1. සමථ සමාධිය 
  2. විදර්ශණා සමාධිය  යන ඒවාය.
එහිදී සමථ සමාධිය මගින් දුකට හේතු වූ තෘෂ්ණාව ප්‍රහාණය වේ. ඉන්පසු එලඹෙන විදර්ශණා සමාධිය මගින් දුකට හේතු වූ අවිද්‍යාවද ප්‍රහාණය වීම සිදුවේ. ඒ මගින් ආර්‍යයන් වහන්සේ විසින් සියලු කෙලෙසුන් නසා අරහත්වය ලබාගැනීම සිදු කරයි.

එබැවින් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යනු දුක නැති කිරීමේ ගමන් මාර්ගයයි.

මෙසේ සෝවාන් ඵල ලාභියා ආර්‍ය අෂ්ටාංගික මාර්ගය මගින් දුක්ඛ නිරෝධය පූර්ණ කොට අරහත්වයට පත්වීම ලෝක සත්‍යතාවයකි. බොරු කල නොහැක්කකි. විශ්වය පවතින්නේ යම් කල්ද, ඒ සෑම කල්හිම මෙය සත්‍යයක්ම වේ.

එබැවින් මේ සිව්වන සත්‍යයි. මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය නම් වේ. එනමුදු සත්වයෝ මේ සත්‍ය වටහාගැනීමෙහි ලා අපොහොසත් වෙති.

* මේ සත්‍යය අවබෝධය අභව්‍ය වන තාක් යම් නුවණැති එහෙත් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් දුකින් මිදීමේ මග ලෙස 
  • තම සියදිවි නසා ගැනීම 
  • ශරීරයට අධික දුක් හෝ සැප දීම 
  • ශීලය රැකුම   
ආදී නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවෙහි නිරත වෙති.



මේ ආර්‍ය සත්‍යන් සතරට චතුරාර්‍ය සත්‍ය යැයි කියනු ලැබේ. 






ත්‍රිපිටකයට අනුව සෝවාන් ඵල ලාභියා යනු 

යම් කලක පටන් ආර්‍ය ශ්‍රාවක තෙමේ පංච උපාදාන ස්කන්ධයේ 
  • උදයංගමයත් 
  • අස්තංගමයත් 
  • ආස්වාදයත් 
  • ආදීනවයත් 
  • නිස්සරණයත් 
තතු සේ දනීද, මේ තෙමේ සතර අපායෙහි නොවැටෙන ස්වභාව ඇති (ධර්මතාවයකි), නියත සම්බෝධිය (අරහත්වය) පිහිට කොට ඇති "සෝවාන්" වූ ආර්‍ය ශ්‍රාවක යැයි කියනු ලැබේ.  





අවසානය 


මා විසින් නියම බුද්ධ වචනය යැයි ලෙසට අදටත් සුරක්ෂිතව පැවත එන්නාවූ ත්‍රිපිටකය පරිශීලනය මගින් මෙන්ම පොත් පත්, විවිධ ධර්ම දේශනා ඇසුරු කොටගනිමින් වසර කීපයක් තුලදී ගොඩ නගා ගත්තා වූ මේ අවබෝධය ඉහත පරිදි ඔබ වෙත දිග හැර පාන ලදිමි. 

කෙසේ වුවත් මාහට තවදුරටත් යම් කරුණු වැරදි ලෙසට අවබෝධ වී පැවතියා දැයි මා නොදනිමි. මාගේ එකම අරමුණ වන්නේ මෙය කියවා වටහාගත් ඔබ විසින් තව දුරටත් ධර්මය සොයා යමින් සත්‍ය වටහාගනිමින් මාර්ගඵලයන් වෙත ප්‍රවිශ්ට වීම සිදු වීමයි. එබැවින් මෙතැන් පටන් ඔබගේ ඉදිරි ගමන ඔබ වෙතටම මම බාර කරමි. ඔබගේ ජය මාගේ පාරමිතා ශක්තියයි. මේ සියලු ධර්ම දානමය කුසලයෝ මාගේ පාරමිතා ශක්තීන්ම වේවා ! 

අනාගත ලෝකය රහතන් වහන්සේලාගෙන් නොඅඩු ස්ථානයක් වේවා ! 









පරිශීලනයට ත්‍රිපිටකය 



1) සෝවාන් ප්‍රභේද 

මෙකී බණවර අවසානයේ බුදුන් වහන්සේ දේශනා කල විශේෂ ප්‍රකාශය 

බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍රය අවසානයේ සැරියුත් හිමිහට මෙසේද දේශනා කරයි."මේ තාක් කිසිවකුට මේ ධර්මතාව නොවැටහිනි. මමද නොදේශනා කලෙමි. මන්ද එසේ වුවහොත් බොහෝ අය මෙය අසා මහරහතුන් බවට පත්වීමට වෙර නොදරමින් ප්‍රමාදී වෙයි. එහෙයින් නොම දේශනා කලෙමි. නමුත් ශාරීපුත්‍රය තොප ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මම මෙය දේශනා කලෙමි ”

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - නවක නිපාතය - සීහනාද වර්ගය - සොපාදිසෙස සූත්‍රය] 

[අභිධර්ම පිටකය - පුද්ගල ප්‍රඤප්ති ප්‍රකරණය - නිර්දේශ - 1 ඒකක නිර්දේශය - 37]
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ශ්‍රමණ වර්ගය - දුතීයසික්ඛා සූත්‍රය] 

 
2) නිස්සරණීය ධාතු 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි - 6-17] 
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - සාරණීය වර්ගය - නිස්සාරණීය සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - තික වර්ගය - රාග සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය - ආවට්ටහාරවිභංගය]


3) අවිද්‍යා ප්‍රහාණය
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - සුත්ත නිපාතය - මහා වර්ගය - ද්වයතානුපස්සනා සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ථෙරීගාථා පාළි - පඤ්චක නිපාතය - තිංසත් ථෙරීගාථා]
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - බ්‍රහ්මණ වර්ගය - තිකණ්ණ සූත්‍රය] 
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - දේවදූත වර්ගය - සාරිපුත්ත සූත්‍රය]


4) සම්මා සමාධිය  
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ආනන්ද වර්ගය - මහානාමසක්ක සූත්‍රය]
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ආනන්ද වර්ගය - මහානාමසක්ක සූත්‍රය]


5) සෝවාන් මගින් ප්‍රහාණ වන දිට්ඨි අනුශය 
[අභිධර්ම පිටකය - යමක ප්‍රකරණය - 7 අනුශය යමකය - 1 අනුසයවාර - 3]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ධම්මපදපාළි - ප්‍රකීර්ණක වර්ගය]


6) දුක පිළිබඳව
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - මූල පන්නාසකය - චූල යමක වර්ගය - චුල්ල වේදල්ල සූත්‍රය]  
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - ජම්බුඛාදක සංයුක්තය - දුක්ඛ සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ඉතිවුත්තකපාළි - තික නිපාතය - පඨම වර්ගය - දෙවැනි වේදනා සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය - විචයහාරවිභංගය - 4] 
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - ධම්මචක්කපවත්තන වර්ගය - ධම්මචක්කපවත්තන සූත්‍රය] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - ශ්‍රැතමය ඤාණය - 10 දුක්ඛසච්චනිද්දේස]
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - පඤ්චක නිපාතය - අනාගතභය වර්ගය - පඨමයොධාජීවූපම සූත්‍රය]


7) ආස්වාදය - ආදීනව - නිස්සරණය  චතුරාර්‍ය සත්‍යය තුලින් 
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුක්තය - ධම්මකථික වර්ගය - අවිජ්ජා සූත්‍රය]  
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - මහා වර්ගය - කාලී සූත්‍රය]
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුක්තය - උපය වර්ගය - සත්තට්ඨාන සූත්‍රය] 
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - මජ්ජිම පන්නාසකය - පරිබ්බාජක වර්ගය - මාගන්දිය සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරි පන්නාසකය - දෙවදහ වර්ගය - මහාපුණ්ණම සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - ධාතු සංයුත්තය - 4 චතුධාතු වර්ගය - පුබ්බ සූත්‍රය]


8) සෘද්ධි කොටස් පිලිබඳ විස්තර 
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - මජ්ජිම පන්නාසකය - පරිබ්බාජක වර්ගය - මහා සකුලුදායි සූත්‍රය] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ථෙරීගාථා පාළි - පඤ්චක නිපාතය - අඤ්ඤතරා ථෙරීගාථා] 


9) එකවර 60 නමක් ආර්‍යයන් රහත් වුනු විශේෂ සුත්‍රයක් 

පන්ච උපාදානස්කන්ධය කුමක් මුල් කොට ඇත්ද ?
පන්ච උපාදාන්ස්කන්ධයේ උපාදානය කුමක්ද ?
පන්ච ස්කන්ධය කුමක්ද ?
එක් එක් ස්කන්ධයෝ කුමක් හේතුවෙන් පවතීද ? කුමක් ප්‍රත්‍යයෙන් පවතීද ?
සත්කාය දිට්ඨිය කුමක්ද ?

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - ආත්මානු දිට්ඨිය]


10) නන්ද රහතන් විසින් 500ක් මෙහෙණුන් සෝවාන් කල විශේෂ බණක්  
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරි පන්නාසකය - සළායතන වර්ගය - නන්දකොවාද සූත්‍රය] 


11) චතුරාර්‍ය සත්‍යය ධර්ම දේශනාව (සැරියුත් හිමි)
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරි පන්නාසකය - විභංග වර්ගය - සච්ච විභංග සූත්‍රය]


12) ධම්මචක්කපවත්තන සූත්‍රය
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - ධම්මචක්කපවත්තන  වර්ගය - ධම්මචක්කපවත්තන සූත්‍රය]


13) සමථය හා විදර්ශණාව 
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දුක නිපාතය - බාල වර්ගය - 2.1.3.11]

14) ආර්යන් යනු 


සෝවන්නල සකෘදාගාමී හා අනාගාමීන්ය
අරහතුන්ට කියන්නේ පරිපූරකාරීන් ලෙසය  
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ශ්‍රමණ වර්ගය  පඨමසික්ඛා සූත්‍රය]


15) රහත් වන්නේ සියලු කර්මයන් ගෙවා නොව 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - බුද්දකපාඨ පාළි - රතන සූත්‍රය]


16) සෝවාන් අරිසවු යනු 
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුක්තය - අන්ත වර්ගය - සොතාපන්න සූත්‍රය]
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - රාධ සංයුක්තය - පඨම මාර වර්ගය - සෝතාපන්න සූත්‍රය]
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සෝතාපත්ති සංයුක්තය - වෙලුද්වාර වර්ගය - දුතීය සාරිපුත්ත සූත්‍රය]
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සෝතාපත්ති සංයුක්තය - 6 සප්පඤ්ඤ වර්ගය - ඵල සූත්‍රය]

 
17) දුක්ඛ සමුදය හා නිරෝධය පටිච්ඡ සමුප්පාදය තුලින් 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - උදාන පාළි - බොධි වර්ගය - ප්‍රථම හා ද්වීතීය බෝධි සූත්‍ර]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ප්‍රථම භූමි - අටළොස් මූල පදයෝ - 8] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - ශ්‍රැතමය ඤාණය - සමුදයසච්චනිද්දේස]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි - 6-4]
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - ධම්මචක්කපවත්තන  
වර්ගය - ධම්මචක්කපවත්තන සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - සුත්ත නිපාතය - මහා වර්ගය - ද්වයතානුපස්සනා සූත්‍රය] 


18) යෝනිසෝ මනසිකාරය 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ප්‍රථම භූමි - 1 වන ඡේදය] 


19) ධම්මානුධම්ම පිළිවෙත 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ඉතිවුත්තක පාළි - තික නිපාතය - සිවුවන වර්ගය - ධර්මානුධර්ම ප්‍රතිපන්න සූතය]


20) සත්වයෝ සෝවාන් නොවීමට හේතු හා සෝවාන් වීමට අවශ්‍ය සුදුසුකම් 
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - සීති වර්ගය - ආවරණ සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - අට්ඨක නිපාතය - ගහපති වර්ගය - අක්ඛණ සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - ආකංක වර්ගය - තයොධම්ම සූත්‍රය] 
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - ථෙර වර්ගය - පුණ්ණිය සූත්‍රය] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - උදාන පාළි - මෙඝිය වර්ගය - සුප්පබුද්ධකුට්ඨි සූතය] 
  

21) යසකුල පුත්‍රයා සෝවාන් වූ බණවර 
[විනය පිටකය - මහාවග්ගපාළිය - මහාඛන්ධකය] 


22) සම්මා දිට්ඨි 
[ත්‍රිපිටකය- සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - මග්ග සංයුක්තය - අවිජ්ජා වර්ගය - විභංග සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - කච්චානගොත්ත සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - අචෙලකස්සප සූත්‍රය]
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - සීති වර්ගය - චතුත්ථ අභබ්බට්ඨාන සූත්‍රය]


23) උපාදානයන්හි ආදීනව (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම)
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - නවක නිපාතය - මහා වර්ගය - ඣානනිස්සය සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ධම්මපද පාළි - මාර්ග වර්ගය]  


24) සත්කාය දිට්ඨියෙන් මිදීම 
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - දිට්ඨි සංයුක්තය - සෝතාපත්ති වර්ගය - සො අත්තා සූත්‍රය]
[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - තික වර්ගය - අස්සාද සූත්‍රය] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - ප්‍රේත වස්තු - මහා වර්ගය - නන්දක ප්‍රේත වස්තු] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - ආත්මානු දිට්ඨිය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - නයසමුට්ඨානය - 5වන ඡේදය] 
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ද්විතීය භූමි - මධ්‍ය කොටස]


25) විචිකිච්ඡාවෙන් මිදීම 
[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - දිට්ඨි සංයුක්තය - සෝතාපත්ති වර්ගය - වාත සූත්‍රය]
[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - එකක නිපාතය - නීවරණ ප්‍රහාණ වර්ගය - 5]
[අභිධර්ම පිටකය - විභංගප්‍රකරණය 2 - බුද්දකවත්ථු විභංගය - 919]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි - 6-22]
[අභිධර්ම පිටකය - ධම්මසංගණීප්‍රකරණය - 3 නික්ෂේප කාණ්ඩය - ත්‍රික නිර්දේශය - 1012] 


26) සීලබ්බත පරාමාසයෙන් මිදීම 
[අභිධර්ම පිටකය - විභංගප්‍රකරණය 2 - බුද්දකවත්ථු විභංගය - 919]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - බුද්දකපාඨ පාළි - රතන සූත්‍ර]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - සුත්ත නිපාතය - අට්ඨක වර්ගය - මහාවියූහ සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ද්විතීය භූමි - මධ්‍ය කොටස]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි - 6-22]


27) ආර්‍ය අෂ්ටාංගික මාර්ගය 
[ත්‍රිපිටකය- සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - මග්ග සංයුක්තය - අවිජ්ජා වර්ගය - විභංග සූත්‍රය]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ද්විතීය භූමි - මධ්‍ය කොටස]
[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 8]



* මේවාට අමතරව මෙම ලිපියට සම්බන්ධ සෙසු ලිපින්හි ත්‍රිපිටක පරිහණ සූත්‍රද එක්විය යුතුය 




Comments

  1. Replies
    1. පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  2. ඉතාමත් පැහැදිලියි බොහොම හොදයි, ගොඩක් මහන්සි වෙලා මෙය හදලා තියෙන්නේ, මම දන්නා තරමින් අනිවාර්‍යයෙන්ම දර්මය අවබෝධ වීමට ආර්‍ය ශ්‍රාවක උත්තමයෙක් ගෙන්ම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  3. ane godak pinsidda wenawa….meyin gatahaki yam deyak tyenva..obata me pinenma sowan pala awabodaya in obbata rahath pala mahanisansanaya wewa uthumanani

    ReplyDelete
    Replies
    1. පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  4. "පාරමිතා නොපුරා ඇති අයට කිසිකලක සෝවාන් ඵලයට පත්විය නොහැක." - මෙහෙම දෙයක් ත්‍රිපිටකයේ තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මේ ලිපිය යවත්කාලීන කරන්න කලින් මම අනිවාර්යයෙන්ම ඒගැන සැලකිලිමත් වෙන්නම්. පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  5. පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

    ReplyDelete
  6. මට මේක කියවන්න හේතුවුනේ පත්තරයක තිබ්බ සොවාන් කියන වචනෙ දැකලා. මම අාගම අතෑරපු කෙනෙක් අාගම අතෑරියේ මට හැමදෙයක්ම දිහා යථාර්තවාදීව බලන්න අවශය උනු නිසා මෙම ලිපිය කියෙව්වහම තේරුනා තවතව අවබෝධ කරගත. යුතු දෑ.. අප්‍රමාණයි කියලා සොවාන් ඵල ලබා ගන්න මටම පියවර කිහිපයක් ඉදිරියට යා යුතුයි....

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රාර්ථනාවා ඒ අයුරින්ම ඉෂ්ට වේවා ! .පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  7. obata mema pina niwan dakimata hethupala wasana wewa ! mem dharma dhanaya uthun anisansa obata anumodan wewa !!!

    ReplyDelete
    Replies
    1. ඔබගේත් නිවන පිණිස මෙහයවුනු ප්‍රාර්ථනාවා ඒ අයුරින්ම ඉෂ්ට වේවා ! .පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  8. මට ඇසීමේ (ශ්‍ර්ව්‍ය ) ආබාධයකින් පෙලෙන පුද්ගලයකු වෙමි බන අසන්නෙ රූපවාහිනී නාලිකාවලින්
    ඒ වගේම මෙවැනි ලිපි තෝරාගෙන කියවමින් මනසිකාර කරනු ලබනව ජීවිතයේ
    බොහෝ දේවල් දකින්නෙ දැන් ඉස්සර දැකපු ආකාරයට නොවේ පැහැදිලි මනසකින්
    ඒ තුලම ජීවත් වෙනව
    භාවනා පිලිබ්ඳත් දැන ගැනීමට කැමැත්තෙමි
    උතුම් වූ චතුරාර්‍යය්‍ය සත්‍ය අවබෝධ වේවා ..!

    ReplyDelete
    Replies
    1. එවැනි දුෂ්කර පසුබිමක සිටත් ධර්මාවබෝධය පිණිස ඔබගේ උත්සාහයට සාධු කාර වේවා! ඔව් අනිවාර්‍යයෙන්ම භාවනාව ගැන සඳහන් කලයුතුමයි.. 'සෝවාන් වීම පිණිස' ලිපිය නව කරුණු සමග යාවත්කාලීන කල පසුව "ධ්‍යාන වැඩීම සහ සෘද්ධි පාද" පිළිබඳව ලිපියක්ද ඉදිරිපත් කිරීමට ඉදිරීයේදී කටයුතු කරන්නම්.... ... . පතනා බෝධියකින් පතනා ලෙසම යම් කලක ඔබට නිර්වානය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙත්වා !

      Delete
    2. ලිපියේ කරුණු Update කලා

      Delete
  9. ලිපියේ කරුණු Update කලා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

1. සලායතන - සෝවාන් වීම පිණිස

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස