6. සෘද්ධිය ලබාගනිමු

 

6. සෘද්ධිය ලබාගනිමු 








සියලු සූත්‍රවල දේශනාවන පරිදි සිව් සෘද්ධිපාදයන් වැඩීම මගින් නොයෙක් සෘද්ධි කොටස් ලැබීම හා නිර්වාණය ලැබීම යන කරුණු 2ම සිදුවන බව බුදුන් විසින්ම දේශනා කර ඇත. 

එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන අයෙකුට අවශ්‍යනම් සෘද්ධි පාදයෝ වෙත සම්මා වායාම, සම්මා සති පවත්වා ලබන්නා වූ සම්මා සමාධිය උපයෝගී කරගෙන කෙලෙසුන්ගෙන් මිදීම මෙන්ම සෘද්ධි කොටස් අනුභව කිරීමද කල හැක. 

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉද්ධිපාද සංයුක්තය - පාසාදකම්පන වර්ගය - භාවනා සූත්‍රය]








සෘද්ධි වැඩීමට පෙර විශේෂයෙන්ම දතයුත්තක් තිබේද ?


සිත ප්‍රභාස්වර වූ කල්හි සෘද්ධි කොටස් වැලඳීමට යමෙක් කැමති වන්නේ නම් එසේ කල හැකිය. නමුත් එහි මෙසේද ඇත. ” මෙහි පෙය්‍යාල මුඛයෙන් ෂඩභිඤා චිත්තය දතයුතුය ”

[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ලෝණඵල වර්ගය - නිමිත්ත සූත්‍රය]



එසේම සෘද්ධිය වැඩීමට තමා සතුව තියුනු සමාධීන් එනම් ධ්‍යානයන් පැවතිය යුතුය. 

[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ලෝණඵල වර්ගය - පංසුධොවක සූත්‍රය]





සෘද්ධීන් පිළිබඳව දත යුතු මූලිකම විස්තර



සෘද්ධීහු 10 කි

  1. අධිෂ්ඨාන සෘද්ධී 
  2. විකුවර්ණ සෘද්ධී 
  3. මනෝමය සෘද්ධී 
  4. ඤානවිෂ්ඵාර සෘද්ධී 
  5. සමාධි විෂ්ඵාර සෘද්ධී 
  6. ආර්ය සෘද්ධී 
  7. කර්ම විපාකජ සෘද්ධී 
  8. පුණ්‍යවත්හුගේ සෘද්ධී 
  9. විද්‍යාමය සෘද්ධී 
  10. ඒ ධර්මයෙහි සම්‍යක් ප්‍රයෝග ප්‍රත්‍යයෙන් සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධී 


සෘද්ධිය ලබාගැනීමට භූමීහු 4කි

මේ සෘද්ධීන් ලබාගැනීමට පැමිණිය යුතු ස්ථානයි 

  1. ප්‍රථම ධ්‍යානය - විවේකජ භූමියයි 
  2. ද්විතීය ධ්‍යානය - ප්‍රීති සුඛ භූමියයි 
  3. තෘතීය ධ්‍යානය - උපේක්ෂා සුඛ භූමියයි 
  4. චතුර්ත ධ්‍යානය - අදුක්ඛම සුඛ භූමියයි 


සෘද්ධි පාදයෝ 4කි 

මේ සෘද්ධි ලබාගැනීමේ මාර්ග 4යි 

  1. ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්මා වායාමයෙන් යුතු - ඡන්ද සෘද්ධි පාදය
  2. වීර්ය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්මා වායාමයෙන් යුතු - වීර්ය සෘද්ධි පාදය
  3. චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්මා වායාමයෙන් යුතු - චිත්ත සෘද්ධි පාදය
  4. විමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්මා වායාමයෙන් යුතු - විමංසා සෘද්ධි පාදය



සෘද්ධීන් 10 විස්තරාත්මකව 


1) අධිෂ්ඨාන සෘද්ධිය 

අපෝ, තේජෝ, වායෝ, පඨවි යන කවර හෝ එක් කසිනයක් වෙනත් කසිනයක් බවට පත්වේවායි ! ලෙස අධිෂ්ඨාන කිරීමෙන් අනේප්‍රකාර වූ සෘද්ධිවිධ වළඳ කෙරෙයි.


■ බහු සිරුරු මැවීම 

සැබෑ ලෙසම එක් ශරීරයක් සහිත පුද්ගලයකු වශයෙන් සිටින සෘද්ධි ලාභියෙකු විසින් ”මා බොහෝ වේවායි” ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. සියයක්, දහසක්, ලක්ෂයක් ආදී කොට තම සෘද්ධියට අනුරූපව අධිෂ්ඨාන කරයි. මේ අධිෂ්ඨානය නිසා චේතෝ වශීප්‍රාප්ත වූ සෘද්ධිමත් පුද්ගලයා විසින් බහුප්‍රකාර වීම සිදුවේ. තමා ශරීරයන් බොහොමයක් බවට පත්වේ


■ බහු සිරුරින් එක් සිරුරකට මාරු වීම 

එසේම බොහෝ ශරීරයන් මවමින් සිටින අයෙකු විසින් මා එක් ශරීරයක් වේවායි ආවර්ජනය කරයි, එය අධිෂ්ඨාන කරයි. එපරිද්දෙන් එය සිදුවේ. 


■ නොපෙනී යාම 
තමා අන් අයට නොපෙනී සැඟව යත්වා ලෙස ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. එසෙකින්ම එම පුද්ගලයා අන්‍යන්ට නොපෙනී යයි. 


■ අන්‍යන්ට පෙනෙන ලෙස සිටීම 
තමා අන් අයට පෙනී යත්වා ලෙස ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. එසෙකින්ම එය සිදුවේ. 


■ බිත්ති හරහා ගමන් කිරීම 
පියවි සිහියේදී ආකාස කසින සමාපත්තිය ලැබූ සෘද්ධි ලාභියා විසින් පඨවි ස්වභාව ඇති බිත්තීන්, ගල් දොරවල් ආදී ඕනෑම දෙයක් අවර්ජනය කර ඒවා ආකාශය වේවායි අධිෂ්ඨාන කරයි. එය ඒ අයුරින්ම සිදුවේ. බිත්තියෙන් පිටතට ආදී ඝණ ද්‍රව්‍යයන් හරහා අහසේ මෙන් එහා මෙහා ගමන් කරයි. 


■ පොලවේ කිමිදීම 

පියවින් ආපෝ කසින සමාපත්තිය ලැබූ සෘද්ධි ලාභියා විසින් පඨවි ස්වභාවය ඇති ඕනෑම දෙයක් ආවර්ජනය කරයි. ඒවා ද්‍රව වේවායි ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. එය ඒ අයුරින්ම සිදුවේ. සෘද්ධි නැති සාමාන්‍ය මිනිසුන් ජලයෙහි කිමිදීම, යලි ඉහල ඒම සිදු කරන්නාක් මෙන් සෘද්ධි ලාභියා විසින් පඨවි ස්වභාව ඇති පොලවේද, ඕනෑම ඝණ වස්තුවක් තුලටද ඇතුලුවීම හා පිටටත යලි පැමිණීම සිදු කරයි. 


■ දිය මත ඇවිද යාම 

පියවින් පළවිකිසුණු සමාපත්ති ලැබූ සෘද්ධි ලාභියා විසින් දිය ආවර්ජනය කරයි. එය පොලව වේවායි ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. යම්සේ සෘද්ධි නැති මිනිසුන් පොලවේ ගමන් කරන්නේද එසෙයින්ම ඒ සෘද්ධි ලාභියා දිය මතුපිටද ගමන් කරයි. 


■ ආකාසයේ ඇවිද යාම 

පියවින් පළවිකිසුණු සමාපත්ති ලැබූ සෘද්ධි ලාභියා විසින් ආකාසය ආවර්ජනය කරයි. එය පොලව වේවායි ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. එය ඒ අයුරින්ම සිදුවේ. යම්සේ සෘද්ධි නැති මිනිසුන් පොලවේ ගමන් කරන්නේද එසෙයින්ම එකී සෘද්ධි ලාභියා විසින් පියාපත් ඇති ලිහිණියෙකු සෙයින් ආකාසයේ ගමන් කරයි. සක්මන් කරයි.


■ සඳ හිරු අතට ගැනීම 

සිත්විසීපත් සෘද්ධි ඇති පුද්ගලයා විසින් සඳහිරු දෙදෙන ආවර්ජනය කරයි. ඒවා තම අත්ල මත වේවායි ආවර්ජනය කරයි, අධිෂ්ඨාන කරයි. එය එසේම වෙයි. එකී සෘද්ධි ලාභියා විසින් එම සඳ හිරු තම අතින් පිරිමදිනු ලබයි.


බඹ ලොව තෙක් ශරීරයෙන් හෝ මනෝ කායෙන් ගමන් කිරීම 

සිත්විසීපත් සෘද්ධි ඇති පුද්ගලයා විසින් බඹ ලොව තෙක් ඇති ඕනෑම දිව්‍ය ලෝකයකට හෝ ස්ථානයකට හෝ යනු කැමැති වෙයි. දුර ඇති දේ ලඟ වේවායි ආවර්ජනය කරයි. ලඟ ඇති දේ දුර වේවායි ආවර්ජනය කරයි. බොහෝ වූ දෙය මද වේවායි ආවර්ජනය කරයි. මද වූ දෙය බොහෝ වේවායි ආවර්ජනය කරයි. දිවසින් ඒ දෙවියන්ගේ, ඒ බ්‍රහ්මයින්ගේ රූපය බලයි. දිව්‍ය ස්‍රෝතයෙන් ඔවුන්ගේ ශබ්දය අසයි. පරසිත් දක්නා නුවණින් ඔවුන්ගේ සිත් දැනගනී. 

  • ඒ අනුව ඒ සිත්විසීපත් සෘද්ධි ඇත්තා විසින් තම ශරීරයෙන් යුතුවම බඹ ලොව යාමට කැමති වන්නේ නම් කාය වශයෙන් සිත පිරිනමයි. කාය වශයෙන් සිත අධිෂ්ඨාන කරයි. ඉන්පසු සුඛ සංඤාවටද ලඝු සංඤාවටද බැසගෙන භෞතික සිරුරෙන්ම යුතුව බඹ ලොවට ගමන් කරයි.
  • එසේම ඒ සිත්විසීපත් සෘද්ධි ඇත්තා විසින් නොපෙනෙන ශරීරයෙන් යුතුව බඹ ලොව යාමට කැමති වන්නේ නම් චිත්ත වශයෙන් කය පිරිනමයි. චිත්ත වශයෙන් කය අධිෂ්ඨාන කරයි. ඉන්පසු සුඛ සංඤාවටද ලඝු සංඤාවටද බැසගෙන නොපෙනෙන සිරුරෙන්ම යුතුව බඹ ලොවට ගමන් කරයි. ඒ සෘද්ධි ඇත්තාහු බඹ ලොවදී කිසිදු අංගයකින් නොඅඩු මනෝමය සිරුරක් නිර්මාණය කරයි.  


2) විකුවර්ණ සෘද්ධි

විකුවර්ණ සෘද්ධි මගින් අනේක ස්වරූප මවමින් (ඇත්, සිංහ, උඩු කය පමණක්, යටි කය පමණක්, නොපෙනෙනා සේ ආදී ලෙස) බණ දෙසීමක්ය (හෝ වෙනත් ක්‍රියාවක යෙදීමක්ද විය හැක)


3) මනෝමය සෘද්ධි

මනෝමය සෘද්ධිය මගින් මනෝකාය මැවීම සිදු කරයි. එහිදී මේ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟ පසඟ ඇති නො පිරිහුන් ඉන්ද්‍රයන් ඇති තවත් කයක් (මනෝකායක්) නිර්මාණය කරයි.  


4) ඤාන විෂ්ඵාර සෘද්ධි

ඤාන විෂ්ඵාර සෘද්ධි යනු විදර්ශනාව මගින් යම් යම් සුවිශේෂ වූ මෝහ කොටස් ප්‍රහාණයයි. උදාහරණ ලෙස දුක්ඛානු දර්ශනයෙන් සුඛ සංඤාව ප්‍රහාණය සිද්ධ වීමයි.


5) සමාධි විෂ්ඵාර සෘද්ධි



සමාධි විෂ්ඵාර සෘද්ධි යනු සමාධිය මගින් යම් යම් සුවිශේෂ දෑ ප්‍රහාණය වීමයි. උදාහරණ ලෙස ප්‍රථම ධ්‍යානය මගින් පංච නීවරණයන් ප්‍රහාණය, ද්විතීය ධ්‍යානය මගින් විතර්ක විචාරයන් ප්‍රහාණය, තෘතීයික ධ්‍යානය ප්‍රීතිය ප්‍රහාණය ආදිය වේ.


6) ආර්‍ය සෘද්ධි

ආර්ය සෘද්ධිය යනු යමක් අරමුණු කර එය ශුභදායි ලෙස හෝ පිළිකුල් ලෙසට හෝ උපේක්ෂා ලෙසට හෝ ගෙන සිටීමයි. උදාහරණ ලෙස තමාට හානිකරන පුද්ගලයෙකු කෙරෙහි මෛත්‍රී වඩා ශුභ ලෙස ගෙන සිටීම.


7) කර්ම විපාකජ සෘද්ධි

කර්ම විපාකජ සෘද්ධි යනු කර්ම විපාකයෙන් ලැබෙන සෘද්ධීන්ය. උදාහරණ ලෙස අහසේ ගමන් කිරීමේ සෘද්ධිය හැම ලිහිණියෙකුටම ඇත, හැම දෙවියෙකුටම ඇත. මේ කර්ම විපාකයෙන් ලැබූ සෘද්ධීන්ය.


8) පින්වත්හුගේ සෘද්ධි

පින්වත්හුගේ සෘද්ධි යනු සක්විති රජුන් සියුරඟ සේනා සමග යටත් පිරිසෙයින් අස්පලු ගොපලු පුරුෂයන් දක්වා ගෙන අහස්හි යාම වැනි සෘද්ධීන්ය.


9) විද්‍යාමය සෘද්ධි

විද්‍යාමය සෘද්ධි යනු විද්‍යාධරයෝ විසින් ලබාගන්නා සෘද්ධීන්ය.


10) ඒ ඒ ධර්මයෙහි සම්‍යක් ප්‍රයෝග හේතුයෙන් සෘද්ධි 

ඒ ඒ ධර්මයෙහි සම්‍යක් ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්ථයෙන් සෘද්ධි යනු යමක නිරෝධ බද්ධය මගින් යමක් නිරෝධය කිරීමයි. උදාහරණ ලෙස නෙක්ඛම්මයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය. මෛත්‍රීයෙන් ව්‍යාපාදය ප්‍රහාණය ආදී.

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - ප්‍රඤ්ඤා වර්ගය - සෘද්ධි කථා] 








සෘද්ධි පාද 4 විස්තරාත්මකව 


1) ඡන්ද  - කැමැත්ත 
 
2) වීරිය  - වීර්ය වැඩීම හෙවත් සම්මා වායාමය 

3) චිත්ත - අධිෂ්ඨානය (ඇතැම් ස්ථාන වල චිත්තය යනු සමාධියට නමක් බව සලකන්න) 

4) විමංසා - නුවනින් විමසා බැලීම හෙවත් සම්මා සතියෙන් විමසීම



ඡන්දසමාධියෙන් - ප්‍රථම ධ්‍යානය ලබා ගත හැක


මීට අමතරව කාම හා ව්‍යාපාද විතර්ක සන්හිඳීමෙන්ද ප්‍රථම ධ්‍යානය වෙයි 
මීට අමතරව අප්පනිහිත සමාධියෙන්ද ප්‍රථම ධ්‍යානය වෙයි 
මීට අමතරව ත්‍යාග අධිෂ්ඨානයෙන් ද ප්‍රථම ධ්‍යානය වෙයි  

* ඡන්ද සමාධිය වඩන සුප්‍රසිද්ධ ක්‍රමය වන්නේ ඔබ දන්නා මොනයම් හෝ ක්‍රමයක් ඔස්සේ ප්‍රථම ධ්‍යානයට පැමිණි පසු එම ධ්‍යානය තුලදී ඔබගේ පවතින කුසල ඡන්දය සිහිපත් කිරීමයි. ඒ අවස්ථාවේදී එකී ඡන්දය අරමුණු කරමින් බලපවත්නා ප්‍රථම ධ්‍යානමය සමාධිය, ඡන්ද සමාධියයි.  
 


වීර්ය සමාධියෙන් - ද්විතීයික ධ්‍යානය ලබා ගත හැක


මීට අමතරව විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන්ද ද්විතීයික ධ්‍යානය වෙයි 
මීට අමතරව ශුන්‍යතායෙන් ද ද්විතීයික ධ්‍යානය වෙයි 
මීට අමතරව සත්‍ය අධිෂ්ඨානයෙන් ද ද්විතීයික ධ්‍යානය වෙයි 

* වීර්ය සමාධිය වඩන සුප්‍රසිද්ධ ක්‍රමය වන්නේ ඔබ දන්නා මොනයම් හෝ ක්‍රමයක් ඔස්සේ ද්විතීයික ධ්‍යානයට පැමිණි පසු එම ධ්‍යානය තුලදී ඔබගේ පවතින චෛතසික වීර්ය සිහිපත් කිරීමයි. ඒ අවස්ථාවේදී එකී වීර්ය අරමුණු කරමින් බලපවත්නා ද්විතීයික ධ්‍යානමය සමාධිය, වීර්ය සමාධියයි.



චිත්ත සමාධියෙන් - තෘතීයික ධ්‍යානය ලබාගත හැක


මීට අමතරව සුඛීන්ද්‍රිය හා සෝමනස්ස ඉන්ද්‍රියන්ගේ සන්හිඳීමෙන්ද තෘතීයික ධ්‍යානය වෙයි 
මීට අමතරව අනිමිත්ත සමාධියෙන්ද් තෘතීයික ධ්‍යානය වෙයි 
මීට අමතරව ප්‍රඤා අධිෂ්ඨානයෙන් ද තෘතීයික ධ්‍යානය වෙයි 

* චිත්ත සමාධිය වඩන සුප්‍රසිද්ධ ක්‍රමය වන්නේ ඔබ දන්නා මොනයම් හෝ ක්‍රමයක් ඔස්සේ තෘතීයික ධ්‍යානයට පැමිණි පසු එම ධ්‍යානය තුලදී ඔබගේ පවතින සමාධිය හෙවත් සිතෙහි ඒකාග්‍රතාවය සිහිපත් කිරීමයි. ඒ අවස්ථාවේදී එකී චිත්තය අරමුණු කරමින් බලපවත්නා තෘතීයික ධ්‍යානමය සමාධිය, චිත්ත සමාධියයි.



විමංසා සමාධියෙන් - චතුර්ත ධ්‍යානයද ලැබේ 


මීට අමතරව කාය සංස්කාර සන්හිඳීමෙන්ද චතුර්ත ධ්‍යානය වෙයි 
මීට අමතරව ආනාපාන සතියෙන්ද චතුර්ත ධ්‍යානය වෙයි 
මීට අමතරව උපේක්ෂා අධිෂ්ඨානයෙන් ද චතුර්ත ධ්‍යානය වෙයි

* විමංසා සමාධිය වඩන සුප්‍රසිද්ධ ක්‍රමය වන්නේ ඔබ දන්නා මොනයම් හෝ ක්‍රමයක් ඔස්සේ චතුර්ත ධ්‍යානයට පැමිණි පසු එම ධ්‍යානය තුලදී ඔබගේ පවතින සිහිය, විදර්ශනාව, ඤාණය, අමෝහය හෙවත් විමංසාව සිහිපත් කිරීමයි. ඒ අවස්ථාවේදී එකී විමංසාව අරමුණු කරමින් බලපවත්නා චතුර්ත ධ්‍යානමය සමාධිය විමංසා සමාධියයි.

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 1]

[අභිධර්ම පිටකය - විභංගප්‍රකරණය 1 - සෘද්ධිපාද විභංගය 515 - 520] 

[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - පඤ්චක නිපාතය - සඤ්ඤා වර්ගය - පඨම ඉද්ධිපාද සූත්‍රය] 

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉද්ධිපාද සංයුක්තය - පාසාදකම්පන වර්ගය - ජන්ද සූත්‍රය]

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - දීඝ නිකාය - සීලස්කන්ධ වර්ගය - මහාලී සූත්‍රය]

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - දීඝ නිකාය - සීලස්කන්ධ වර්ගය - කේවට්ට සූත්‍රය]







සෘද්ධිය වැඩීම පිණිස සුදුසු භූමියට (ධ්‍යානයට) පැමිණ අදාල සමාධිය ද සිහිපත් කල පසු සෘද්ධිය වඩනු ලබන ආකාරය 





මාගේ ඡන්දය (හෝ වීර්ය හෝ චිත්තය හෝ විමංසාව)



ඉතා සැඟවුණු එකක් නොවේ  - කිසිදු ආශාවක් උවමනාවක් නැති කම නිසා අරමුණ තමාට අවශ්‍ය නොවේ යැයි යන අදහස 


ඉතා දැඩිව ගත් එකක් නොවේ  - රාගය හෝ ද්වේශය පතුරවමින් ඉතාමත් දැඩි ලෙස, ඉතා තදින්ම ඕනෑයි ලෙස ගත් මට්ටම


■ ඇතුලත හැකුළුණු එකක් නොවේ - අරමුණ මත්තෙහි පවතින චෛතසික වීර්ය ඉතා මදකම නිසා එම අරමුණ නිදි මත (ථීන මිද්දය) මගින් සැඟවී ගිය මට්ටම 


පිටත විසිරිනු යනු එකක් නොවේ - අරමුණ මත්තෙහි මහත් ඕනෑ කමකින් හටගත් බලවත් වීර්ය නිසා එම අරමුණ උද්ධච්ඡය මගින් විසිරී යාම. ඒකාග්‍රතාව ගිලිහී යාම


පෙර යම්සේ නම් පසුත් එසේය. පසු යම්සේ නම් පෙරත් එසේය 


යට යම්සේ නම් උඩත් එසේය. උඩ යම්සේ නම් යටත් එසේය 


දහවල යම්සේ නම් රෑත් එසේය. රෑ යම්සේ නම් දහවලුත් එසේය 


පසු පෙර හැඟීම් ඇත්තේද වෙසෙයි



මෙසේ තම ඡ්න්දය අරමුණු කරමින් විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිතව සෘද්ධිපාදයෝ වඩයි.

මෙසේ ඔබ විසින් සතර සෘද්ධි පාදයෝ වැඩූ කල්හි, මෙසේම බහුල කල කල්හි නන් වැදෑරුම් සෘද්ධීන් අනුභව කරයි.



[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉද්ධිපාද සංයුක්තය - පාසාදකම්පන වර්ගය - විභංග සූත්‍රය]

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉද්ධිපාද සංයුක්තය - පාසාදකම්පන වර්ගය - හේතු සූත්‍රය]

[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - මහා වර්ගය - සොණ සූත්‍රය]

[විනය පිටකය - මහාවග්ගපාළිය - චම්මක්ඛන්ධකය - 23]

[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - පඤ්චක නිපාතය - පඤ්චංගික වර්ගය - පංචඤ්ගිකසමාධි සූත්‍රය]

[සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සතිපට්ටාන සංයුක්තය - අම්බපාලි වර්ගය - භික්ඛුනුපස්සය සූත්‍රය]







දිවැස් වඩන අයුරු 


දිවැස් ලැබීම පිණිස ආලෝක සංඤාව මෙනෙහි කරන සමාධීන් වැඩිය යුතුය. ධ්‍යාන ගත වූ පසු ඔබ විසින් ආලෝකයන් දකිනු ලබයි. ඒ දකින ආලෝකයන් අරමුණු කිරීම මගින් දිවැස් උපද්දවා ගත හැකිය.

ධ්‍යාන වඩත්ම අලෝක සංඤාවේ පහල වීම යනු ඇස් පියන් සිටියද අලෝකය සහිත දෑ මෙනෙහි වීමයි. 

ඒවා තරුකැට, මැණික්, දුම්රොටු ආදී ස්වරූපයෙන් දර්ශනය විය හැකිය. සිත තව තවත් සමාධිගත වනවිට පහල වන අලෝක සංඤාව තව තවත් තීව්‍ර වේ.



උපුටා ගැනීම – 

සැවැත් නිදානයි :

ඇවැත්නි කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්ශනඥානය (දිවැස් නුවණ) ලබනු පිණිස පවත්නේ ද යත් ඇවැත්නි,

මෙහි මහණ තෙමේ තමා දහවල් දුටු ආලෝකය යම් සේ නම් එසේ ම එය රාත්‍රියෙහි ද, රාත්‍රියෙහි දුටු ආලෝකය යම්සේ නම් එසේ ම එය දහවල් දැ යි (හිරු පහන් ආදීන්ගේ ආලෝකය අරමුණු කොට) ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි, දහවලැ යි සංඥාව සිත පිහිටුවයි. 

මෙසේ නොවැසුණු (විවෘත වූ) හාත්පසැ නොබැඳුණු සිතින් ආලෝක සහිත ධ්යාන සිත වඩයි.
 
ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්ශනඥානය (දිවැස්නුවණ) ලබනු පිණිස පවතී.



[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - චතුක්ක නිපාතය - රෝහිතස්ස වර්ගය - සමාධිභාවනා සූත්‍රය]

[සූත්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - 50 සිට]

[ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - දීඝ නිකාය - පාඨ්ක වර්ගය - සංගීති සූත්‍රය]

[සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - අනුත්තරීය වර්ගය - උදායි සූත්‍රය]




                                                            නිමි !


Comments

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

1. සලායතන - සෝවාන් වීම පිණිස

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස