3. පටිච්ච සමුප්පාදය - සෝවාන් වීම පිණිස

 

3. පටිච්ච සමුප්පාදය




මෙය තරමක් ගැඹුරු කොටසක් බැවින් මෙය අධ්‍යනයට පෙර සලායතන හා පංච ස්කන්ධය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න.




රහතන් නොවූ සියලු සත්වයෝ තෘෂ්ණාව නම් දැවැන්ත බන්ධනය මගින්ද, අවිද්‍යාව නම් දැඩි අන්ධකාරය මගින්ද සංසාරය නම් වූ දුක් ගින්න තුලට කොටු කර තිබේ. 





නිදහස්ව යා නොහැකි වනසේ මහා අන්ධකාරයක් මධ්‍යයෙහි දම්වැල් යොදා තම දෙපා අගුලු දමා, නොයෙකුත් පීඩා වලට ලක් වෙමින්, තම දෙපා පාමුල පවතින අගුලු හැරිය හැකි යතුරද නොදකිමින් සිටින මිනිසෙකු යන්න "සංසාරය තුල දුක් විඳින සත්වයාට උපමා කල හැකිය".






එහි මහා අන්ධකාරය යනු අවිද්‍යාවයි. දෙපා ගැට ගසා තිබීම යනු තෘෂ්ණා බන්ධනයයි. අන්ධකාරය මගින් වැසීගිය තම දෙපා පාමුලම පවතින යතුර යනු ධර්මයයි. 

යම් කලෙක තමා මේ විඳිනා දුකින් එතෙර විය යුතු යැයි ලෙසට අවබෝධ කරන මිනිසා යම්සේ අඳුරේ වටපිටාව අතපත ගා පිහිටට යමක් සොයන්නේද, එවිට තම දෙපා පාමුලම වූ අගුලු ලිහන යතුර සොයාගන්නේය. එවිට ඔහු තමා බැඳ ඇති බැමුම් ලිහා අඳුරෙන් අලෝකය දෙසට ගමන් කර අවසානයේ නිදහසෙන් හා සැපයෙන් පිරුණු අලෝකමත් වූ මනරම් භූමියකට පැමිණෙන්නේය. 

ඒ උපමාවට අනුව සංසාර දුක දැකීම තුලින් මේ සංසාර දුකින් එතෙර විය යුතු යැයි ලෙසට අධිෂ්ඨාන කරන පෘථග්ජනයා යම් කලෙක ධර්මය අසා පැහැදීමෙන් සෝවාන් ඵලයට පත්වන්නේද එමගින් සංසාර දුකෙන් එතෙර වන මාර්ගයට අවතීර්ණ වන්නේද වෙයි. ඉන්පසු අනාගාමී බව පසක් කිරීමෙන් තෘෂ්ණා බන්ධනයෙන් මිදෙන්නේද වෙයි. එවිට ඒ අනාගාමී ආර්‍යා විසින් තවදුරටත් වීර්‍ය වැඩීමෙන් අරහත්වයට පත්ව එමගින් අවිද්‍යාව නම් අන්ධකාරය නසා නිමා නොවන නිදහසෙන් හා සැපයෙන් පිරුණු නිවනට පැමිණෙන්නේද වෙයි.




යම් සත්වයෙක් යම් භවයක උපත ලබන විට පෙර භවයේ අවසාන සිත වන චුති සිතද, තම කර්ම විපාකද පදනම් කර ගනිමින් අලුත් භවය පිණිස ප්‍රථම සිතක් උපදීම සිදුවේ. මේ ප්‍රතිසන්ධි සිතයි. මෙම ප්‍රතිසන්ධි සිතටද ආයුෂ ඇත්තේ එක චිත්ත ක්ෂණයකි. එහිදී එම ප්‍රතිසන්ධි සිත නිරුද්ධ වන විටම එහි පවතින භවයට අනුරූපී වන අංග සහිත තවත් සිතක් උපදීම සිදුවේ. 
ඉන්පසු තවත් සිතක් උපදී. මෙසේ උපදින භවය පවත්වනු ලබන එකී භවයේ අංග සහිත සිත් වලට "භවාංග සිත්" යැයි  කියනු ලැබේ. මෙසේ උපදින භවාංග සිත් තුල අලෝභය, අද්වේශය, අමෝහය යන කුසල මූල හෝ ලෝභය, ද්වේශය, මෝහය යන අකුසල මුලයන්ද ඇතිවීම සිදුවේ.  

ඊට අමතරව තමා පෙර කල කුසලයක හෝ අකුසලයක විපාක ලෙසද විවිධ අරමුණු සලායතනයන්ට ලැබීම සිදුවේ. මෙමගින් පවතින භවාංග සිත මදකට නැවතී මෙම විපාක සිත් ඇතිවීමද සිදුවේ. මේ උපදින සිත් මත්තෙහිද ඒ ඒ අරමුණු මුල්කරගෙන ලෝභ සහගත සිත්, ද්වේශ සහගත සිත්, මෝහ සහගත සිත් සේම අලෝභ, අද්වේශ, අමෝහ සහගත සිත්ද උපදිය හැක. 




මෙහිදී පවතින භවාංග සිත ඡේදනය කරමින් උපදින නව සිත් ප්‍රධාන වශයෙන් වර්ග 2කි.

  1. අහේතුක සිත් - හේතූන් නොමැතිව උපදින සිත් 
  2. සහේතුක සිත් - හේතූන් නිසා උපදින සිත් 
* මෙහිදී හේතූන් ලෙසට ගනෙනුයේ අලෝභ, අද්වේශ, අමෝහ, ලෝභ, ද්වේශ, මෝහ යන මූල 6යි 


1 අහේතුක සිත්

අහේතුක සිත් යනු කුසල් හෝ අකුසල් විපාකයක ඵල දීමක් නිසාවෙන් හෝ ජීවත් වනවිට සලායතනයන්ට පෙර සිතීමකින් තොරව එකවරම ග්‍රහණය වන විවිධ දෑ නිසාවෙන් ක්ෂණිකවම උපදින්නා වූ සිත් වේ. 




මෙහිදී මෙකී සිත් උපදීම කෙරෙහි ඊට පෙර පැවැති සිතක් තුල පැවැති ලෝභ, ද්වේශ, මෝහ, අලෝභ, අද්වේශ, අමෝහ යන කිසිඳු මූලයක් බල නොපායි. එනම් මේ සිත් ඇතිවීමට හේතූන් බල නොපායි. 

අහේතුක සිත්  
      • කාමාවචර අකුසල විපාක සිත් 
      • කාමාවචර කුසල විපාක සිත් 
      • රූපාවචර කුසල විපාක සිත් 
      • අරූපාවචර කුසල විපාක සිත් 
      • කාමාවචර ක්‍රියා සිත් 
      • රූපාවචර ක්‍රියා සිත් 
      • අරූපාවචර ක්‍රියා සිත් 
ලෙසට 7 ආකාර වේ 



2 සහේතුක සිත් 

සහේතුක සිත් යනු ඊට පෙර පැවැති සිත තුල පැවැති ලෝභය, ද්වේශය යනාදී යම් කිසි මූලයක් හේතුවක් ලෙසට බලපාමින් උපදිනා සිත් වේ. 

සහේතුක සිත් 

      • කාමාවචර අකුසල සිත්
      • කාමාවචර කුසල සිත් 
      • රූපාවචර කුසල සිත් 
      • අරූපාවචර කුසල සිත් 
      • කාමාවචර කුසල විපාක සිත් 
      • කාමාවචර කුසල ක්‍රියා සිත්  

ලෙසට 6 ආකාර වේ.




මේ අනුව සහේතුක වශයෙන් හා අහේතුක වශයෙන් උපදින සිත් වර්ග 3ක් යටතේ මෙසේ ඉදිරිපත් කල හැකිය.


            1 කුසල සිත් 
        • කාමාචර කුසල සිත් 
        • රූපාවචර කුසල සිත් 
        • අරූපාවචර කුසල සිත්
            2 අකුසල සිත් 
        • කාමාවචර අකුසල සිත් 
            3 අව්‍යාකෘත සිත් 
        • ක්‍රියා සිත් 
        • විපාක සිත් 


මේ අයුරින් ඉපිදෙන කවර ආකාරයක සිතක් වුවද ක්ලේශයන්ගෙන් කිලිටි නොවී ඉපදීම සිදුවේ. එය සහේතුකව උපදින සිතක් වුවද, අහේතුකව ඉපිදෙන සිතක් වුවද, ඉපදෙන විට නිශ්ක්ලේශීව පවතී.

මෙසේ භවාංග සිත ඡේදනය කරමින් උපදින සිත් තනි තනි වශයෙන් ඉපිද අවසන් නොවේ. ඒ සෑම සිතක්ම එකිනෙකින් බැඳුනු හා එකකට පසුව අනෙක ඉපිදීම සිදුවන චිත්තයන් පරම්පරාවකින් බැඳී ක්‍රියාත්මක වීම සිදුවේ. 

මේ ආකාරයේ චිත්ත පරම්පරාවක් චිත්ත වීතියක් ලෙසට හඳුන්වයි. චිත්ත වීතිය තුලදී නිශ්ක්ලේශීව උපදින සිතක් චිත්ත වීතිය අවසන් වන විට කෙලෙස් සහිත කිලිටි සිතක් ලෙසට අවසන් වීම සිදුවේ. චිත්ත වීතියේ අවසාන සිත නිරුද්ධ වීමෙන් පසු යලිත් භවාංග සිත් උපදීම සිදුවේ.



මෙසේ ප්‍රභාස්වරව උපදින සිතක් ක්ලේශී වූ සිතක් බවට පත්වීම පදනම් කරගනිමින් රහතන් නොවූ සියලු සත්වයන් හට සංසාර දුක නිර්මාණය වීමේ යාන්ත්‍රණයක් ස්වභාව ධර්මය තුල පවතී. මෙම යාන්ත්‍රණය තුලදී සංසාර දුක යන්න නිර්මාණය වීම සිදුවන්නේ දම්වැලක පුරුක් මෙන් එකිනෙකින් බැදී අනුපිළිවෙළින් ක්‍රියාත්මක වන්නා වූ දාමයන් පෙලක් මගිනි. 

මෙම දාමයෙහි ප්‍රථමයෙන් උපදින්නා වූ දෙය ප්‍රත්‍යය කොටගනිමින් මීලඟ දෙයද, එය ප්‍රත්‍යය කොටගනිමින් ඊට පසු දෙයද ලෙසට දාමය ඉදිරියට ගමන් කිරීම සිදුවේ. එහි අවසානය වන්නේ සංසාරික දුක ඇතිවීමයි.  

ඒවා මෙසේය 




  1. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති 
  2. සංස්කාරයෝ ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙති 
  3. විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම-රූප වෙති 
  4. නාම-රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙති 
  5. සලායතන ප්‍රත්‍යයෙන් ඵස්සය වෙති 
  6. ඵස්සය ප්‍රත්‍යයෙන් වේදනා වෙති 
  7. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙති 
  8. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන වෙති 
  9. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙති
  10. භවය ප්‍රත්‍යයෙන් ජාති වෙති 
  11. ජාති ප්‍රත්‍යයෙන් ජරාව වෙති 
  12. ජරා ප්‍රත්‍යයෙන් මරණය වෙති 
  13. මරණය ප්‍රත්‍යයෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ වෙති 
 
මෙම යාන්ත්‍රණය පටිච්ච සමුප්පාදය ලෙස හඳුන්වයි.


* රහතුන් තුල උපදින නිශ්ක්ලේශී සිත්ද පටිච්ච සමුප්පාදයකට බඳුන් වේ. එහෙත් එම සිත් නිශ්ක්ලේශී ලෙසින්ම අවසන් වේ. 

එය ආරම්භ වන්නේ ”සීලවතො අවිප්පටිසාරො ජායති” ලෙස (අවිද්‍යාවෙන් නොව) හා අවසන් වන්නේ "නාපරං ඉත්ථත්තායාති පජානාති” ලෙසය (ජරා මරණයෙන් නොව).

[සූත‍්‍ර පිටකය - ඛුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය -  ඕතරණහාරවිභංගය - 1 අග කොටස] 



* සහේතුකව උපදින සිත් ඝණයට අයත් වන අකුසල සිත් (අභිධර්මය තුල අකුසල සිත් වර්ග 12ක් විස්තර වේ) වල උපදීමට පමණක් ලෝභය හෝ ද්වේශය සමග මෝහයද ප්‍රත්‍යය වේ. මෝහය ප්‍රත්‍යය වන බැවින් අකුසල සිතක උපදීම නිසා ගලායන පටිච්ච සමුප්පාදය 

        අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ---- ලෙසට "අවිද්‍යාවෙන්" ආරම්භ වේ.


* කුසල සිත් (කාමාවචර, රූපාවචර, අරූපාවචර) වල උපදීමට අලෝභය, අද්වේශය, අමෝහය යන කුසල මූලයෝ ප්‍රත්‍යය වන බැවින් කුසල සිතක උපදීම නිසා ගලායන පටිච්ච සමුප්පාදය 

       කුසල මූල ප්‍රත්‍යයෙන් සංස්කාර ----- ලෙසට ආරම්භ වේ.


* බොහොමයක් අව්‍යාකෘත සිත් උපදින්නේ අහේතුකව නිසා එම සිත්වල උපතට අවිද්‍යාව හෝ කුසල මූල හෝ ප්‍රත්‍යය නොවේ. එබැවින් එවැනි අව්‍යාකෘත සිතක උපදීම නිසා ගලායන පටිච්ච සමුප්පාදය 

       සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ---- ලෙසට "සංස්කාර" යෙන් ආරම්භ වේ.





01 අවිද්‍යාව 


අවිද්‍යාව යනු විශ්වයේ ධාවනය වන සත්‍ය කුමක්ද යන්න තමන් විසින්ම යථාභූත වශයෙන් දැන අවබෝධයට පත් නොවීම නිසා මුලාවට පත්වීම නම් බන්ධනයයි. 

ඒ අනුව අවිද්‍යාව යනු චතුරාර්‍ය සත්‍යය තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කොට අවබෝධයට පත් නොවීම නිසා මුලාවට පත්ව සිටීමයි. 




සෝවාන් වන විට ලෝක යථාර්තය හෙවත් චතුරාර්‍ය සත්‍යය, වෙන අයෙකුගේ මගපෙන්වීම යටතේ තමාගේ තර්කන ඤාණය මගින් අවබෝධ කරගැනීම සිදුවේ. ඒ අනුව සෝතාපන්න ආර්‍යයා තුල අවිද්‍යාව යන්න දර්ශණමය වශයෙන් ප්‍රහාණය වී ඇත. එනම් තමා සිටින්නේ අන්ධකාරයක බව සෝවාන් ඵල ලාභියා විසින් ප්‍රත්‍යක්ෂ කොට දැනගත්තද, අලෝකය ලබාගැනීම මගින් අඳුර නැසීමක් එහිදී සිදු නොවේ.

එබැවින් අවිද්‍යාව යන සංයෝජනය මුලුමනින්ම ප්‍රහාණය වන්නේ අනාගාමී ඵල කෙලවරදී සිතේ උපදින්නා වූ දැඩි සමථය (සම්මා සමාධිය) හේතුකොටගෙන උපදින්නා වූ ආස්‍රවක්ෂය ඤාණය (ආදී සම්මා ඤාණයන්) මගින් සත්‍යාවබෝධයට පත්වීම මගිනි. එනම් මෙහිදී අනාගාමී ආර්‍යයා විසින් අලෝකය නම් ඤාණය ලබාගැනීම මගින් අඳුර නම් අවිද්‍යාව දුරලීම සිදුකරයි. එතෙකුදුත් සියලු සත්වයෝ තුලම අවිද්‍යාව යන්න අන්ධකාරයක් සේ මුල් බැසගෙන පැතිර පවතී. 


02 සංස්කාර  

සංස්කාර යනු යම් යම් හේතූන්හි පැවත්ම නිසා උපත ලබන දෑය. ඒ ඒ හේතූන්ද වූ කලී නොයෙක් නොයෙක් වූ හේතූන් හි පැවැත්ම නිසා උපත ලැබූ දෑම වෙයි. 


උදාහරණ ලෙස දැල්වෙන විදුලි බල්බයක් යනු සංස්කාරයකි. ඒ සංස්කාරයට හේතූන් ලෙසට 
    • ප්‍රමිතියට අනුව නිසි ලෙස පවතින බල්බය  
    • එම බල්බයට සැපයෙන විදුලි සැපයුම   
ආදිය සැලකිය හැකිය. 




මෙම සංස්කාරයට හේතූන් වන, නිසි ලෙස පවතින බල්බය හා ඊට නිසි ලෙස සැපයෙන විදුලි බලයද වනාහි ඊට අදාල වූ හේතූන් නිසාම පවතින දෑම වෙයි. එනම් ඒ හේතූන්ද සංස්කාරයෝම වෙති. එම හේතූන්හි පැවැත්මට හේතූන් ලෙසට 

    • බල්බයේ පිටත ආවරණය මත ඇති සම්මත පීඩනය, උෂ්ණත්වය, එම ආවරණයේ ශක්තිය, එම බල්බය තුල සක්‍රිය තත්වයෙන් ඇති ඉලෙක්ට්‍රොනික කොටස් 
    • විදුලිය සැපයෙන සම්මත වයර් ආදිය, බාහිරින් අකණ්ඩ විදුලි සැපයුමක් පැවතීම 
ආදිය සැලකිය හැකිය. මෙහි දෙවනුව සඳහන් කල එකඳු හෝ හේතුවක් නැතිවීමෙන්, ප්‍රථමයෙන් සඳහන් කල හේතූන්හි නැතිවී යාම සිදුවේ. එසේ එම හේතූන් නැතිවී යාමෙන් බල්බයේ දැල්වීම නතර වේ. 

එබැවින් සියලුම සංස්කාරයෝ ඒවා පවත්වනු ලබන හේතූන් නිරුද්ධ වී යාමෙන් විනාශයට පත්වේ.

සැ.යු. - මෙහි හේතූන් ලෙසට ගෙන ඇත්තේ ඉහත සඳහන් කල අලෝභ, අද්වේශ, අමෝහ, ලෝභ, ද්වේශ, මෝහ යන සිත් ඇතිවීමට මූල වන හේතූන් හේතූන් නොවේ.   

ඒ අනුව විශ්වයේ පවතින සියලුම දෑ සංස්කාරයෝ වෙති. ඒ ඒ සංස්කාරයේ උපතට හේතු වන දෙයද සංස්කාරම බැවින්, එම හේතූන් පවතින තාක් පමණක් ආයුෂ එම සංස්කාරයට පවතී. 


නමුත් පටිච්ච සමුප්පාදය තුලදී සංස්කාර ලෙස හැඳින්වෙන්නේ සිතක උපතයි. මූලික වශයෙන් ගත් කල, සිතක් යනු මනෝමය වශයෙන් උපත ලබන යම් අරමුණක් දැනගැනගත් බාවයයි. මෙසේ යම් අරමුණක් දැනගත් සිතට "විඤ්ඤාණය" ලෙසද පවසනු ලබයි (සෑම සිතක්ම විඤ්ඤාණ නොවේ. චිත්ත වීතිය තුල විවිධ කර්තව්‍යන් කරන සිත් ඇත). මෙවැනි මානසික වශයෙන් ඇතිවන දැනගැනීමක් හෙවත් සිතක් නිර්මාණය වන්නේ "සිතීම" නම් ක්‍රියාව සිදුවීම මගිනි. 

එනම් සංස්කාර යනු යම් සිතක් ඇතිවීම (උත්පාදය) පිණිස චෛතසික වශයෙන් සිදුකරනු ලබන සිතන ලද බවයි. මෙය චේතනා කිරීම ලෙසද හදුන්වනු ලබයි. 


* ප්‍රාණය නිරුද්ධ වූ මල මිණියක ඇති ඇස්, කන් ආදී පංචේන්ද්‍ර තුලට කෙතරම් අරමුණු පැමිණියද, එහි චෛතසික බාවයක් නොපවතින නිසා ඒ ඒ අරමුණු මත්තෙහි චේතනා කිරීම් (සිතන ලද බව) ඇති නොවේ. එබැවින් මල මිණියකට සිත් පහල වීමක් නොවේ. 


මෙහිදී සිත් වර්ග 3ක් සියලු සත්වයන් තුල උපත ලබන බව අපි පූර්වයේදී උගත්තෙමු. එබැවින් එම සිත් උත්පාදනය කරන සංස්කාරයෝද (චේතනා) වර්ග 3කින් විස්තර වේ.

    1. කුසල සංස්කාර (කුසල චේතනා)
      • කාමාවචර කුසල චේතනා (පුණ්‍යාභී සස්කාර)
      • රූපාවචර කුසල චේතනා (පුණ්‍යාභී සංස්කාර) 
      • අරූපාවචර කුසල චේතනා (ආනඤ්ජාභී සංස්කාර)
    2. අකුසල සංස්කාර (අකුසල චේතනා)
      • කාමාවචර අකුසල චේතනා (අපුණ්‍යාභී සංස්කාර    
    3.අව්‍යාකෘත සංස්කාර (අව්‍යාකෘත චේතනා) 
      • ක්‍රියා චේතනා 
      • විපාක චේතනා 

* මෙහි කුසල සංස්කාර තුල විස්තර වූ පුණ්‍යාභී සංස්කාර යනු 
    • අලෝභය (එනම් දානය)
    • අද්වේශය (එනම් ශීලය / මෛත්‍රීය)
    • අමෝහය (එනම් භාවනාව / නිවැරදි සිහියේ පිහිටීම / විමංසාව)
යනාදී ලෙසට කාමාවචර කුසල අරමුණක් හෝ රූපාවචර ධ්‍යාන අරමුණක් හෝ උදෙසා සිතන ලද බාවයයි.


* කුසල සංස්කාර තුල විස්තර වූ ආනඤ්ජාභී සංස්කාර යනු 
    • අරූපාවචර ධ්‍යාන අරමුණක් උදෙසා සිතන ලද බාවයයි. 

* අකුසල සංස්කාර හෙවත් අපුණ්‍යාභී සංස්කාර යනු 
    • ලෝභය 
    • ද්වේශය 
    • මෝහය 
යනාදී ලෙසට කාමාවචර අකුසල අරමුණක් උදෙසා සිතන ලද බවයි. 


* අව්‍යාකෘත සංස්කාර යටතේ ක්‍රියා සංස්කාර යනු 

   1.  කාය සංස්කාර - කායිකව යම් ක්‍රියාවක් සිදුකිරීම පිණිස සිතන ලද බවයි.

   උදා :- පුටුවක වාඩි වී සිටින අයෙකුට එම පුටුවෙන් නැගිටීම 
          රූපවාහිනිය නැරැඹීම,... 

 ආදී කායික ක්‍රියාකාරකම් සිදු කිරීම පිණිස සිතන ලද බව කාය සංස්කර වේ. 
   
   එනම් කාය සංස්කාර යටතේ හමුවන්නේ අප එදිනෙදා සාමාන්‍යයෙන් සිදුකරන කායික ක්‍රියාකාරකම් (කුසල් හෝ අකුසල් සිතකින් තොර) සිදුකිරීම පිණිස චේතනා කරනු ලබන අවස්ථාවන්ය.   


   2. වාක් සංස්කාර - වචනයෙන් යමක් ප්‍රකාශ කිරීම පිණිස සිතන ලද බවයි.

   උදා :- යමෙකුට "එන්න" කියා කථාකිරීම 
         "කාමරයේ දොර වසන්න" කියා පැවසීම,... 

   ආදී වාචික ප්‍රකාශයන් සිදු කිරීම පිණිස සිතන ලද බව වාක් සංස්කාර වේ.

   එනම් වාක් සංස්කාර යටතේ හමුවන්නේ අප එදිනෙදා සාමාන්‍යයෙන් සිදුකරන වාචික ක්‍රියාකාරකම් (කුසල් හෝ අකුසල් සිතකින් තොර) සිදු කිරීම පිණිස චේතනා කරනු ලබන අවස්ථාවන්ය.


   3. චිත්ත සංස්කාර - සිතින් යමක් සිතීම පිණිස සිතන ලද බවයි.

   උදා :- "මා හෙට උදේ වැඩට යා යුතුයි"
          "මා විභාගය සමත් විය යුතුයි"    


   ආදී චෛතසික මනෝභාවයන් සිදු කිරීම පිණිස (එනම් සිතීමේ ක්‍රියාව) සිතන ලද බව චිත්ත සංස්කාර වේ. 

    එනම් චිත්ත සංස්කාර යටතේ හමුවන්නේ අප එදිනෙදා සාමාන්‍යයෙන් සිදුකරන චෛතසික ක්‍රියාකාරකම් හෙවත් සිතීමේ ක්‍රියාව (කුසල් හෝ අකුසල් සිතකින් තොර) සිදු කිරීම පිණිස චේතනා කරනු ලබන අවස්ථාවන්ය.


* අව්‍යාකෘත සංස්කාර යටතේ විපාක සංස්කාර යනු

පෙර තමන් සිදුකල කුසලයක හෝ අකුසලයක විපාක වශයෙන් ප්‍රියක් ගෙනදෙන හෝ අප්‍රියක් ගෙනදෙන සුළු 

           රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ ධම්මයක් 

යන ඒවායින් කුමක් හෝ තමාට දර්ශණය වීම (රූපය), ඇසීම (ශබ්දය), ආඝ්‍රාණය වීම (ගන්ධය), රස බැලීමට ලැබීම (රසය), පහස ලැබීම (ස්පර්ශය) හෝ සිතීම (ධම්මය) සිදුවීම නිරතුරුවම අපට සිදුවන්නකි. මේ තමා පූර්වයේ සිදුකල කුසලයේ හෝ අකුසලයේ විපාක ලැබීමයි. 

මෙහිදී එම විපාක වශයෙන් තමාගේ සලායතන අතුරින් එක් ආයතනයක් වෙතට ලැබුනු රූපය හෝ, ශබ්දය හෝ, ගන්ධය හෝ, රසය හෝ, ස්පර්ශය හෝ හෝ ධම්මය කුමක් දැයි ලෙසට සිතනු ලැබීම එම විපාකයට අදාල විපාක සංස්කාරයයි.


උදා 1 :- කුසල විපාකයක් ලෙස ඉතා දර්ශණීය වූ පුෂ්පයක් දර්ශණය වීම 

මෙහිදී ඇස මගින් බාහිර පුෂ්පයේ රූපය ග්‍රහණය කලද එය තමන් විසින් දැනගනු ලබන්නේ මානසික වශයෙන් උපදින රූපය දැනගන්නා සිත හෙවත් චක්ඛු විඤ්ඤාණය මගිනි. මෙකී චක්ඛු විඤ්ඤාණ යනු බාහිර රූපය මනෝමය වශයෙන් දැනගත් බාවයයි. 

මෙසේ මෙම චක්ඛු විඤ්ඤාණය හෙවත් බාහිර රූපය දැනගත් සිත උපදිනුයේ ඇස අදාල රූපය ග්‍රහණය කරන විටම, එය කුමක්දැයි ලෙසට සිතීම නිසාවෙනි. 

මෙම සිතන ලබනු බව මෙම උදාහරණයට අදාල විපාක සංස්කාරයයි.  


උදා 2 :- අකුසල විපාකයක් ලෙස ඉතා පීඩාකාරී භයංකර ශබ්දයක් ඇසීම.

මෙහිදී කන මගින් එම ශබ්දය ග්‍රහණය කරන විට එය කුමක්දැයි ලෙසට චේතනා ඇති කිරීම සිදුවේ. මෙම චේතනා හෙවත් සිතන ලබන බාවය නිසා "සෝත විඤ්ඤාණයක්" උපදී. එම සෝත විඤ්ඤාණය ඇතිවීම මගින් එම බාහිර ශබ්දය, ශබ්දයක් ලෙසට දැනගැනීම සිදුවේ.

මෙම සිතන ලබනු බව මෙම උදාහරණයට අදාල විපාක සංස්කාරයයි. 


** සංස්කාර යටතේ වන සෙසු සියලුම සංස්කාර හේතු කොටගෙන උපදින්නේ "මනෝ විඤ්ඤාණයකි". නමුත් අව්‍යාකෘත සංස්කාර යටතේ වන විපාක සංස්කාර මගින් 

චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ යන විඤ්ඤාණ වර්ග 6ම උපදීම සිදුවේ. 





ඉහත කරුණු අනුව මෙම සංස්කාර වර්ග අනුව පටිච්ච සමුප්පාද චක්‍ර මෙසේ ආරම්භ වේ  

1. අකුසල පටිච්ච සමුප්පාදය

අවිද්‍යා -> සංස්කාර -> මනෝ විඤ්ඤාණය ->


2. කුසල පටිච්ච සමුප්පාදය 

කුසල මූල -> සංස්කාර -> මනෝ විඤ්ඤාණය -> 


3. අව්‍යාකෘත - ක්‍රියා සංස්කාර 

සංස්කාර -> මනෝ විඤ්ඤාණය -> 
(මෙය රහතුන් හට පවා අදාල වන චක්‍රයකි)


4. අව්‍යාකෘත - විපාක සංස්කාර 

සංස්කාර -> චක්ඛු / සෝත / ඝාණ / ජිව්හා / කාය / මනෝ විඤ්ඤාණ -> 
(මෙයද රහතුන් හට පවා අදාල වන චක්‍රයකි)

 


03 විඤ්ඤාණ  

සංස්කාර ප්‍රත්‍යය කොටගෙන එනම් පාදක කොටගෙන ඊට අදාල විඤ්ඤාණය උපදී.

  1. ඇසින් රූපයක් දකින විට එය කුමක්දැයි ලෙසට සිතින් සිතීම නිසා, එනම් සංස්කාරය නිසා එම රූපය රූපයක් ලෙසට සිතින් දැනගැනීම සිදුවේ. එනම් "රූපයකි" යන සිත ඇතිවේ. මේ චක්ඛු විඤ්ඤාණයයි. 
  2. කනින් ශබ්දයක් අසන විට එය කුමක්දැයි ලෙසට සිතින් සිතීම නිසා (සංස්කාරය) එම ශබ්දය ශබ්දයක් ලෙසට සිතින් දැනගැනීම සිදුවේ. එනම් "ශබ්දයකි" යන සිතයි. මේ සෝත විඤ්ඤාණයයි.
  3. නාසයින් ගන්ධයක් ආඝ්‍රාණය කරන විට සංස්කාර ප්‍රත්‍යයෙන් ඝාණ විඤ්ඤාණය ඇතිවේ.
  4. දිවෙන් රසයක් රස විඳින විට සංස්කාර ප්‍රත්‍යයෙන් ජිව්හා විඤ්ඤාණය ඇතිවේ. 
  5. ශරීරයෙන් ස්පර්ශයක් විඳින විට සංස්කාර ප්‍රත්‍යයෙන් කාය විඤ්ඤාණය ඇතිවේ. 
  6. මනසින් යම් අරමුණක් ලබාගන්නා විට එම අරමුණ කුමක්දැයි ලෙසට සිතින් සිතීම සිදුවේ. ඒ අනුව මෙම සංස්කාරය ප්‍රත්‍යයෙන් මනෝ විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය යනු සිතන ලද අරමුණ "දැනගත් බවයි". මෙසේ අරමුණ දැනගත් සිතක් යනුද මෙයම වේ. නමුත් මෙසේ ඇතිවන විඤ්ඤාණය හෙවත් අරමුණ දැනගත් සිත ක්ලේශයන්ගෙන් කිලිටි වූවක් නොවේ. ප්‍රභාස්වර වූ සිතකි. 

එනම් චක්ඛු විඤ්ඤාණය යනු ඇසින් දුටු රූපය එහි සඳහන් සැබෑම තොරතුරු සහිත හුදු රූපයක් සේ දැනගැනීමයි. එනම් දකිනා ලද රූපයේ යාථාර්තයම චක්ඛු විඤ්ඤාණය වේ. සෝත, ඝාණ ආදී සෙසු විඤ්ඤාණයෝද එසේමය. 



උදා :- ඔබ ඔබගේ අම්මාව දකින විට ප්‍රථමයෙන් උපදින චක්ඛු විඤ්ඤාණය තුල අම්මා ලෙසට ගත් රුවක් නොදකී. හුදු රූපයක් පමණක් දකී. 


උදා :- ප්‍රිය ජනක පලතුරක් වන ඉදුණු ඇපල් ගෙඩියක් දැකීම
 

චක්ඛු විඤ්ඤාණය මගින් අදාල ඇපල් ගෙඩියේ හැඩය, වර්ණය සහ පෙනුම මැනවින් දැනගැනීම සිදුකරයි.



නමුත් එම රූපය විශ්ලේශණය කොට බැලීමක් සිදුනොකරයි. එනම් මෙය ඉතා රසවත්ය, මෙය ඇපල් ගෙඩියකි,... ආදී විශ්ලේශණයන් සිදු නොවේ. 

එනම් චක්ඛු විඤ්ඤාණය යනු ඇසින් දුටු එම රූපය, ඊට අදාල ලක්ෂණ සහිත රූපයක් ලෙසින් සිතින් හඳුනා ගැනීම පමණි. මෙහි රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ නොපවතී. යථාර්තයම දැනගනී.


* අභිධර්ම කරුණු වලට අනුව බාහිර අරමුණක් කෙරෙහි විඤ්ඤාණයේ ඇතිවීමේ පටන්, එම අරමුණ මත්තෙහි උපාදානයෙන් යුතු සිතක් ඇතිවීම තෙක්ම පවතින්නේ තනි සිතක් නොවේ. සිත් 17ක් එකතුවකි. මෙය චිත්ත වීතියක් ලෙස හඳුන්වයි. 

චිත්ත වීතියක උපදින එක් සිතක ආයුෂ කාලය වන්නේ විශ්වයේ පවතින කුඩාම කාල පරතරය සේ සැලකෙන චිත්ත ක්ෂණ 1ක කාලයයි. සෑම චිත්ත ක්ෂණයක් පාසාම පූර්ව සිත නිරුද්ධ වන අතර නව සිතක් උපදීම සිදුවේ. 

චිත්ත වීතියෙහි පලමු චිත්ත ක්ෂණයේ අතීත භවාංග සිත පවතින අතර 5 වන චිත්තක්ෂණයි වන විට උපදින සිත වන්නේ අදාල අරමුණට අදාල විඤ්ඤාණයයි. 9 වන චිත්ත ක්ෂණය ඉක්මවන විට ජවන් සිත් උපදීම සිදුවේ. මෙමගින් ප්‍රභාස්වර වූ විඤ්ඤාණය කිලිටි වී උපාදානය කරා ගෙන යයි.


04 නාම - රූප 

විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වේ. එහි 

නාමය යනු - වේදනා ස්කන්ධය, සංඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය වේ
රූපය යනු  - රූප ස්කන්ධයයි 

විඤ්ඤාණයක් උපදින ඕනෑම තැනක එම විඤ්ඤාණය සමග බද්ධ වී වේදනා, සංඤා හා සංස්කාර ස්කන්ධයන්ද උපත ලැබීම සිරිතකි. නමුත් රූප ස්කන්ධය බිහිවීම එහිදී අනිවාර්‍ය නොවේ. 

උදාහරණ -

අරූප ධ්‍යාන තුලදී හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝක වලදී සත්වයන් තුල උපදිනුයේ මනෝ විඤ්ඤාණය පමණකි. එසේම එහි සිටින සත්වයා සතුව වේදනා, සංඤා හා සංස්කාර ස්කන්ධයන්ද පවතී. නමුත් රූප ස්කන්ධයක් නූපදී. එනම් එම බ්‍රහ්ම ලෝක වල චතුර් (සිව්) ස්කන්ධ සත්වයින් ජීවත් වේ.

එසේ වුවද රූප ධ්‍යාන තුලදී හෝ රූපාවචර බ්‍රහ්ම ලෝක වලදී හෝ කාම ලෝක වලදී සත්වයාගේ විඤ්ඤාණය සමග බද්ධ වී නාම (වේදනා, සංඤා හා සංස්කාර යන ස්කන්ධ 3) මෙන්ම රූප ස්කන්ධයද පවතී. එනම් එම ලෝක වල පංච (පස්) ස්කන්ධ සත්වයින් ජීවත් වේ. 

ඒ අනුව බිහිවන විඤ්ඤාණය ප්‍රත්‍යකොටගෙන නාම උපදීම හෝ නාම-රූප යන 2ම උපදීම හෝ පහත පරිදි සිදුවේ. 


(i) බොහෝ විට මනෝ විඤ්ඤාණ ප්‍රත්‍යකොටගෙන නාම පමණක් බිහිවේ. 

මෙයට හේතුව මනෝ විඤ්ඤාණය ඇතිවන්නේ මනායතනයට ආ අරමුණක් මුල්කොට නිසාවෙන් බැවින්, එකී අරමුණ මනායතනය මගින් ස්පර්ශ කරමින් "මෙය කුමක් වේදැයි" ලෙසින් හැඳින ගැනීම (සංඤා නැගීම) මීලඟට සිදුවීම පිණිස මන ආයතනය උපදීමට ලක්වීම ප්‍රමාණවත් වීමයි. 

එහිදී එකී මනායතනය කිසිඳු රූපයක් ඇසිරි කොට පවතින එකක් නොවන බැවින් (මනායතනයට රූපයන් ඇසිරි කොටගෙන හෝ නැතිව පැවතිය හැක. බොහෝ විට මනායතනය බිහිවන්නේ රූපයන් ඇසිරි කොට නොවේ) එහි ඇතිවීම පිණිස රූපයන්ගේ අවශ්‍යතාවක් නොවේ. එබැවින් බොහෝ මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම පමණක් බිහිවේ. 

[අවිද්‍යා -> සංස්කාර -> මනෝ විඤ්ඤාණ -> නාම -> මනායතනය --------->]


(ii) ඇතැම් විට මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යකොටගෙන නාම-රූප බිහිවේ. 

මෙයට හේතුව නාම-රූප ප්‍රතයෙන් බිහිවීමට නියමිත මනායතනය, නාම මෙන්ම රූපද යන දෙකම ඇසිරි කොටගෙන පවතින එකක් වීමයි. එබැවින් මෙහිදී එම මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යකොට ගෙන නාම හා රූප යන දෙකම උපදී.    

[අවිද්‍යා -> සංස්කාර -> මනෝ විඤ්ඤාණ -> නාම-රූප -> මනායතනය --------->]


(iii) චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා හා කාය යන විඤ්ඤාණයන් ප්‍රත්‍යකොටගෙන නාම පමණක් බිහිවන අවස්ථාද ඇත.

මෙයට හේතුව අදාල විඤ්ඤාණය මගින් දැනගත් රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය, මනායතනය මගින් ස්පර්ශ කරමින් "මෙය කුමක්දැයි" ලෙසට දැන හැඳින ගැනීම (සංඤා නැගීම) මීලඟට සිදුවීමයි. ඒ අනුව එකී මනායතනය උපදීම පිණිස නාම පමණක් පැවතීම ප්‍රමාණවත් නිසා, මෙහිදී අදාල විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම බිහිවීම සිදුවේ. 

[අවිද්‍යා -> සංස්කාර -> චක්ඛු ( /සෝත/ ඝාණ/ ජිව්හා/ කාය) විඤ්ඤාණ -> නාම -> මනායතනය --------->]


(iii) චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා හා කාය යන විඤ්ඤාණයන් ප්‍රත්‍යකොටගෙන නාම-රූප යන 2ම බිහිවන අවස්ථාද ඇත.

මෙයට හේතුව අදාල විඤ්ඤාණය මගින් දැනගත් රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය, ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය මගින් ස්පර්ශ කරමින් "මෙය කුමක්දැයි" ලෙසට දැන හැඳින ගැනීම (සංඤා නැගීම) මීලඟට සිදුවීමයි. ඒ අනුව එකී පංචේන්ද්‍රයෝ උපදීම පිණිස නාම හා රූප යන 2ම පැවතීම අත්‍යවශ්‍ය නිසා, මෙහිදී අදාල විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම-රූප බිහිවීම සිදුවේ.  

* පංචේන්ද්‍රයන්ගේ උපතට අත්‍යවශ්‍යයෙන්ම රූප ස්කන්ධය පැවතීම අනිවාර්‍ය වේ. 

ඒ අනුව මනායතනයද ඇතුලත් පංචේන්ද්‍රයන් බිහිවන විට, එනම් සලායතන බිහිවන විට අත්‍යවශ්‍යයෙන්ම ඊට පෙර නාම-රූප බිහිවීම සිදුවේ. 


[අවිද්‍යා -> සංස්කාර -> චක්ඛු ( /සෝත/ ඝාණ/ ජිව්හා/ කාය) විඤ්ඤාණ -> නාම-රූප -> සලායතන --------->] 


මේ සියලු කරුණු කැටිකොට පටිච්ච සමුප්පාදය තුල පොදුවේ මෙසේ සඳහන් කරයි 


අවිද්‍යා --> සංස්කාර --> විඤ්ඤාණ --> නාම-රූප --> සලායතන --> ස්පර්ශය --> ........


ඒ අනුව නාම-රූප යන්නෙහි 

නාම යනු - වේදනා ස්කන්ධය, සංඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය වේ 
රූප යනු  - රූප ස්කන්ධය වේ

  • සත්වයා සතුව උපරිම වශයෙන් ආයතන 12ක් පවතී.  ඒ 
    • ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන 6ත් 
    • රූපායතනය, ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, ස්පර්ශායතනය, ධම්මායතනය යන ආයතන 6ත් හි එකතුවයි.

  • මේ ආයතන 12 අතරින් 10ක් මුලුමනින්ම රූප ස්කන්ධයට අයත්වේ. ඒවා 
    •  ඇස, කන, නාසය, දිව, ශරීරය, යන ආයතන 5ත් 
    • රූපායතනය, ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, ස්පර්ශායතනය යන ආයතන 5ත් වේ.
 
  • ධම්මායතනය තුල ඇතැම් ධම්මයන් රූප ස්කන්ධයට අයත්වේ. උදාහරණ ලෙස 
    • ජීවිත ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය 

  • මනායතනය මුලුමනින්ම රූප ස්කන්ධයට අයත් එකක් නොවේ 

ඒ අනුව රූප ස්කන්ධය මෙසේද කැටිකොට දැක්විය හැකිය.
  • සතර මහා භූතයෝ යන රූප මෙන්ම මනෝ විඤ්ඤාණ ධාතුව පැවතීමට අවශ්‍ය වන යම් රූපයකුත් වේද, මේ රූප ලෙස හැඳින්වේ.
* මෙහි සතර මහා භූත යනු - අපෝ, තේජෝ, වායෝ, පඨවි වේ 


05 සලායතන 

නාම-රූප ප්‍රත්‍යයෙන් සලායතන වේ.

සලායතන යනු ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස වේ. 

විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූප ඇතිවූ විට එහි ඇති රූප යන්නට පංචේන්ද්‍රය අයත් වේ. එහි ඇති නාම යන්නට මනස අයත්වේ. ඒ අනුව නාම-රූප ඇතිවීම හේතුකොට ගෙන සලායතන ඉපදීම සිදුවේ.  



06 ඵස්ස 

සලායතන ප්‍රත්‍යයෙන් ඵස්සය වේ. 

පටිච්ච සමුප්පාද චක්‍රයේ 3වන පියවර ලෙසට විඤ්ඤාණය බිහිවන බැව් අපි දනිමු. ඉන්පසු එම බිහිවූ විඤ්ඤාණය නොනැසී ඉදිරියට ගමන් කරයි. නමුත් සැබැවින්ම මෙහිදී එම බිහිවූ විඤ්ඤාණයම අඛණ්ඩව ඉදිරියට යාමක් සිදු නොවේ. ඒ වෙනුවට එම චිත්ත වීතිය තුල මීලඟ චිත්ත ක්ෂණයෙන් චිත්ත ක්ෂණයට මුලින් බිහිවූ විඤ්ඤාණයට නෑකම් කියන අනුයාත සිත් බිහිවීම පමණක් සිදුවේ. මීට හේතුව සිතක් පවතින්නේ එක් චිත්ත ක්ෂණයක් වීමයි. 

  • මෙහි 5 ස්ථානයේ ඇත්තේ චක්ඛු විඤ්ඤාණයයි. 
  • ඉන්පසු චිත්ත ක්ෂණයේදී 6 ස්ථානයේ ඇති සම්පටිච්චන සිත ඇතිවේ. මෙම සිතෙහි රාජකාරිය වන්නේ එම චක්ඛු විඤ්ඤාණය ගත් අරමුණෙහි සිත් පරම්පරාව නොසිඳෙන පරිදි රඳවා ගැනීමයි. 
  • ඉන්පසු චිත්ත ක්ෂණයේදී 7 ස්ථානයේ ඇති සන්තීරණ සිත ඇතිවේ. මෙම සිතෙහි රාජකාරිය වන්නේ මීට පෙර සිත මගින් රඳවාගත් විඤ්ඤාණය ගනු ලැබූ අරමුණ පරීක්ෂාවට ලක් කිරීමයි. මේ සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය ඇතිවීමයි.  


මෙසේ සලායතන බිහිවන තෙක්ම මුලින් බිහිවූ විඤ්ඤාණය එම චිත්ත වීතිය තුල රඳවා ගැනීම සිදුවේ. මෙසේ රඳවා තබනුයේ එම විඤ්ඤාණය පවතින ස්ථානයට අදාල ආයතනය මගින් එය පරීක්ෂා කර බැලීමටය.

උදා -:
  • ඇස මගින් චක්ඛු විඤ්ඤාණය පරීක්ෂා කර බැලීම 
  • මන මගින් මනෝ විඤ්ඤාණය පරීක්ෂා කර බැලීම ආදී පරීක්ෂාවන්.
 
ඒ අනුව සලායතන බිහිවූ විට එම පැවති විඤ්ඤාණයට අදාල වන ආයතනය මගින් අදාල රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය මැන බැලීම සිදු කරයි (පරීක්ෂාව).

මෙම පරීක්ෂාව සිදු කරන්නේ අදාල විඤ්ඤාණයේද (විඤ්ඤාණයේ දැනුම) හවුල් වීමක් සහිතවය. නමුත් පටිච්ච සමුප්පාද ආරම්භයේදී සලායතන මගින් අදාල රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය ග්‍රහණය කරන විට මෙවැනි පරීක්ෂාවක් සිදු නොවේ. ඊට හේතුව ඒ වන විට අදාල විඤ්ඤාණය බිහිව නොපැවතීමයි. එනම් ඒ අවස්ථාවේදී සලායතන මගින් ග්‍රහණය වන්නේ කුමක්ද යන්න දැනගත් සිතක් (විඤ්ඤාණය) බිහිව නොපවතින නිසා මෙහිදී එම ග්‍රහණය සම්බන්ධ පරීක්ෂාවක් සිදු වීමට හැකි නොවේ. එබැවින් පටිච්ච සමුප්පාද ආරම්භයේදී සිදුවන්නේ සංස්කාරයක් පමණකි. 

මෙසේ පටිච්ච සමුප්පාදය තුල නාම-රූප ප්‍රත්‍යයෙන් සලායතන බිහිවීමෙන් පසු පවතින විඤ්ඤාණයේද හවුල් වීමකින් යුතුව අදාල ආයතන මගින් අදාල රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය පරීක්ෂාවට ලක්කොට හඳුනා ගැනීම සිදු කරයි. මෙය සලායතන වල අදාල ආයතනයේ ස්ඵර්ශය (ඵස්සය) ලෙස හඳුන්වනු ලබයි.  


උදා :- ඇසින් යම් රූපයක් දුටු විට 
  • සංස්කාර ප්‍රත්‍යයෙන් චක්ඛු විඤ්ඤාණය ඇතිවේ. එවිට එම රූපය ඊට අදාල භෞතික ස්වරූපයෙන් යුතුව දැනගනී. එනම් යමක් පෙනෙනවා පමණකි.
  • විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූප ඇතිවේ. එවිට චක්ඛු විඤ්ඤාණය පාදක කොට රූප, වේදනා, සංඤා, සංස්කාර යන ස්කන්ධයන්ගේ උපදීම සිදුවේ. 
  • නාම-රූප හි ඇති රූප ප්‍රත්‍යකොටගෙන ඇස උපදීම සිදුවේ. එසේම නාම-රූප ප්‍රත්‍යකොට සෙසු ආයතනද ඉපදීම සිදුවේ. 
  • මෙසේ ඇස උපදීම නිසා ඇස, චක්ඛු විඤ්ඤාණය සමග එක්ව එම රූපය පරීක්ෂා කොට බැලීම සිදු කරයි.
මේ පරීක්ෂාව "චක්ඛු සම්ඵස්සය" ලෙස හඳුන්වනු ලබයි. එසේම චක්ඛු සම්පස්සය යනු ඇසේත්, රූපයේත්, චක්ඛු විඤ්ඤාණයේත් එකතු වීම ලෙසද කෙටියෙන් හඳුන්වනු ලබයි. 

මේ ආකාරයට සලායතන වල එක් එක් ආයතන වලට අදාලව සිදුවන පටිච්ච සමුප්පාද චක්‍ර වලදී ඇතිවන ඵස්සය 

  1. ඇසට අදලව චක්ඛු සම්ඵස්සය  
  2. කනට අදාලව සෝත සම්ඵස්සය
  3. නාසයට අදාලව ඝාණ සම්ඵස්සය 
  4. දිවට අදාලව ජිව්හා සම්ඵස්සය 
  5. ශරීරයට අදාලව කාය සම්ඵස්සය 
  6. මනට අදාලව මනෝ සම්ඵස්සය  
ලෙස 6 ආකාර වේ. 


***

පටිච්ච සමුප්පාදය තුලදී සත්වයා තුල පවතින ක්ලේශයන් නිසා කර්ම රැස්වීම, රැස් නොවීම තීරණය කරන සංධිස්ථානය "ඵස්සය" වේ. එයට හේතුව සලායතන මගින් අදාල විඤ්ඤාණය සමග එක්ව අදාල රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය පරීක්ෂාවට ලක්කොට, විනිශ්චය කොට ඒ කෙරෙහි නාම-රූප පැනවීමයි. 

මේ චිත්ත වීතියක් තුල සන්තීරණ සිතට පසුව සිත, එනම් 8 වැනි සිත ඇතිවීමයි. 
මෙම 8 වැනි සිත හෙවත් වොත්තපන සිතෙහි රාජකාරිය වන්නේ සන්තීරණ සිත මගින් පරීක්ෂාවට ලක් කෙරුනු විඤ්ඤාණයේ (5 වන සිතේ) අන්තර්ගත අරමුණ කුමක්දැයි විනිශ්චය කිරීමයි.


උදා :- ඒ අනුව ඒ අරමුණ කෙරෙහි විනිශ්චයන් නිසාවෙන් නාම-රූප පැනවීමට උදාහරණ ලෙස, 

* මේ දුටු රූපය අසවල් රූපයයි, එහි ලිංගය අසවල් රූපයයි. එහි ලිංගය අසවල් පරිදි වේ. මේ රූපය අසවල් දෙය නිමිති කොටගෙන ඇත, එය මට සුව ගෙනදේ (හෝ නොවේ), ...  

ලෙසට එම රූපය කෙරෙහි සංඤාවන් ඇති කරගැනීම සිදුවේ. මෙය ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඤා ඇතිවීම ලෙස හඳුන්වයි.    

* එලෙසම මේ දුටු රූපය මට සුවය උපදවයි හෝ දුකක් උපදවයි හෝ උපේක්ෂාවක් උපදවයි

ලෙසට මානසික වශයෙන් වේදනාවක් ගොඩනගා ගැනීම සිදුවේ. මෙය ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ඇතිවීම ලෙස හඳුන්වයි. (මීලඟට ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට නියමිතය)

* එසේ අදාල රූපය කෙරෙහි රාගී සිතක් හෝ ද්වේශී සිතක් හෝ මෝහී සිතක් හෝ ඇතිවන්නේ සිතන ලද බවක් වීම නිසාය. මෙය ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංස්කාර හෙවත් චේතනා ඇතිවීම ලෙස හඳුන්වයි.

* ඒ අනුව අදාල රූපය කෙරෙහි රාගී / ද්වේශී / මෝහී හෝ ලෙසට ක්ලේශයන්ගෙන් යුතුව හඳුනාගැනීමක් සිදුකරයි. මේ හඳුනාගැනීම කල සිත ක්ලේශයන්ගෙන් කිලිටි වූ මනෝ විඤ්ඤාණයකි. මෙය ස්පර්ශ ප්‍රත්‍යයෙන් කිලිටි වූ විඤ්ඤාණයක බිහිවීම ලෙස හඳුන්වයි.


* මෙසේ ස්ඵර්ශ ප්‍රත්‍යයෙන් වන සංස්කාර, එනම් චේතනා කිරීම තම තමන්ට රිසි සේ ගැලපෙන සේ සිදුවේ. රහතන් වහන්සේ නමකට නම් තමන්ට ඒ කෙරෙහි තවදුරටත් ක්ලේශයන්ගෙන් යුතුව චේතනා කිරීමක් අවශ්‍ය නොවේ. එබැවින් තම තමන්ගේ කර්මයන් කෙසේ සකස් වේද යන්න මෙම අවස්ථාවේ සිදුවන චේතනාව මත තීරණය වේ. 

* සැබැවින්ම ස්ඵර්ශය ඇතිවන්නේ විඤ්ඤාණය ඇතිවීමට කාරක වූ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය කෙරෙහි අප විසින් අපට අවශ්‍ය පරිදි හෝ ලෝකයට අවශ්‍ය පරිදි ගොඩනගා ගත් ලිංගයන්, නිමිත්තන්ගේ පැවතීම නිසාය. එනම් නාමයන් හා රූපයන්ගේ පැවතීම නිසාය. සැබැවින්ම නාම-රූප යන්නක් නොවේ නම් පරීක්ෂා කොට බැලීමකින්ද පලක් නැත. එබැවින් නාම-රූප ප්‍රත්‍යකොටගෙන ස්ඵර්ශය ඇතිවේ ලෙසද මෙය ඇතැම්විට හඳුන්වනු ලබයි.

* ස්ඵර්ශය ප්‍රත්‍යකොටගෙන ඒ ඒ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය පිළිබඳව රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ මෝහයෙන් යුතුව සංඤාවන් බිහිවන්නේත්, වේදනා, සංස්කාර, විඤ්ඤාණ බිහිවන්නේත් අපට පෞද්ගලිකව ඒ කෙරෙහි පවතින විනිශ්චය හෙවත් ඡන්දය නිසාය. එබැවින් මේ සියලු කර්ම රැස්වීම් ආදී සංසාර දුකට හේතුව ඡන්දරාගය යැයි අපට මෙමගින්ද අවබෝධ කරගත හැකිය.

ඡන්ද රාගය යනු තමාට සැපක් ගෙනදෙන වස්තුවක් (උපාදානයෝ) කෙරෙහි තමන් සිදුකල විනිශ්චය නිසා උපන් රාගයෙන් යුතු ඡන්දයයි. එනම් පංච උපාදාන ස්කන්ධය මත ඇති රාගීය ඡන්දයයි. එබැවින් ඡන්දරාගය යනු පංච උපාදාන ස්කන්ධයේ ඇති උපාදානය වේ. 

උපාදානයෝ හටගන්නේ ස්පර්ශ ආයතන 6 ට ග්‍රහණය වන දෑ මත්තෙහි බැවින් ඡන්දරාගය යනු ස්පර්ශ ආයතන 6හි පවතින රාගය ලෙසද හඳුන්වනු ලබන අවස්තාද දැකගත හැකිය.
    


07 වේදනා 

ස්ඵර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව ඇතිවේ. 

ස්පර්ශ ආයතන 6න් යම් ආයතනයක් මගින් යම් රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ ධම්මයක් ග්‍රහණය කරගැනීමට අදාලව ස්ඵර්ශය ඇතිවීම හේතු කොටගෙන විනිශ්චයන් ඇතිවේ. මේ විනිශ්චයට හේතුව ලෝකයේ ඇති විවිධ දෑ කෙරෙහි තමා තුල පවතින විවිධ වූ ඡන්ද රාගයයි. 

මෙම ඡන්ද රාගය නිසා අදාල රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය වර්තමානයේදී අත්වීඳිනු ලැබීම මත්තෙහි කෘතිම වූ වින්දනයක් නිපදවා ගැනීම සිදුවේ. මෙම කෘතිම වින්දනය වූ කලී තමා තුල චෛතසික වූ සැප වේදනාවක් හෝ චෛතසික වූ දුක්ක වේදනාවක් හෝ චෛතසික වූ උපේක්ෂා වේදනාවක් හෝ වේ.

මේ උපදින කවර හෝ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව ලෙස හඳුන්වනු ලබයි. 

* චෛතසික වූ සැප වේදනාවට "ආස්වාදය" යැයි කියනු ලැබේ. 


08 තණ්හා (තෘෂ්ණා)

වේදනාව ප්‍රත්‍යකොටගෙන තණ්හාව ඇතිවේ. 

ආයතන 6 මගින්ම ස්ඵර්ශය වන හෙයින්, ඒ අනුව උපදනා ආස්වාදයන් මත තෘෂ්ණාව 6 ආකාරයෙන් ඉදිරිපත් කෙරේ. ඒ 
  1. රූප තෘෂ්ණා 
  2. ශබ්ද තෘෂ්ණා 
  3. ගන්ධ තෘෂ්ණා 
  4. රස තෘෂ්ණා 
  5. ස්පර්ශ තෘෂ්ණා 
  6. ධම්ම තෘෂ්ණා         ලෙසයි.
තෘෂ්ණාව යනු ඒ ඒ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ ධම්මය නිසා සිත තුල උපන් ආස්වාද වේදනාව මත්තෙහි රාගයෙන් ඇලීමයි. 

ඒ අනුව රහතන් නොවූ සියලු සත්වයෝ හට විවිධ දෑ කෙරෙහි තමා තුල පවතින ඡන්ද රාගය හේතුකොටගෙන ඒවා ලැබීමෙන් උපන් ස්පර්ශය හා ඉන් ලබන්නාවූ ආස්වාදය මත තදින් ඇලෙන ස්වභාවයක් ඇතිවීම සිදුවේ. 

රූපය (හෝ ශබ්දය හෝ ..., ධම්මය) ---> ස්පර්ශය ---> ඡන්ද රාගය ---> ආස්වාද වේදනාව ---> තණ්හාව --->



ඒ අනුව විවිධ දෑ කෙරෙහි ඡන්ද රාගය නොවුනි නම් එය අත්විඳින කල්හි ආස්වාද වේදනාවක් නිර්මාණය නොවේ. මෙය ස්පර්ශය ශුන්‍ය වී යාමක් සේ සලකන බැවින් ඡන්දරාගයෙන් තොර මෙවැනි අවස්ථාවන්හිදී ස්පර්ශය ඇති නොවේ යැයි ලෙසට සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් රහතන් වහන්සේ හට ස්පර්ශය නොවේ යැයි කියනු ලැබේ. 

එහෙත් රහතන් නොවූවන් සඳහා ඡන්ද රාගය පවතින බැවින්, ස්පර්ශයේදී ඒ අත්විඳිනු ලබන දෙය මත්තෙහි ආස්වාද වේදනාවක් නිර්මාණය වන බැව් අප ඉහතදී උගත්තෙමු. 

ඒ අනුව මෙහිදී එම ආස්වාද වේදනාව විඳවීම මත්තෙහි ලෝභමය සිතක් (කිසිවෙකුට නොදී තමා සතු කරගැනීමේ ආශාවක්) හෙවත් ඇලෙන ස්වභාවයක් ඇති වේ. මෙය තණ්හාව හෙවත් තෘෂ්ණාව ඇතිවීම ලෙස හඳුන්වනු ලැබේ. 

මේ වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා ඇතිවීමයි.



මෙහිදී ඡන්ද රාගය ඉලක්ක කරනා දෙය මත පදනම්ව තණ්හාව කොටස් 3 කට බෙදා දැක්විය හැකිය. ඒ මෙසේය.

  1. කාම තණ්හාව 
  2. භව තණ්හාව 
  3. විභව තණ්හාව 

(01) කාම තණ්හාව 


ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍ර මගින් ලබාගත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන "රූපයන්ගේ ඇති කාමය" ආස්වාදය කිරීමට ඇති ඡන්ද රාගය කාම රාගයයි. 

මෙසේ කාමරාගය පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන්ගේ (මේවා කාම ගුණ හෙවත් කාම වස්තූන් ලෙසද හැඳින්වේ) ආස්වාදයට ඇති ලෝභය, ගිජු කම, ඇලෙන ස්වභාවය කාම තණ්හාවයි. මෙය ක්ලේශ කාමය ලෙසද හඳුන්වයි.

කාම රාගය ඇතිවන්නේ රූප ස්කන්ධය මතය.

(02) භව තණ්හාව 

රූපාවචර බඹ ලොව හෝ අරූපාවචර බඹ ලොව හෝ රූපාවචර ධ්‍යානයක හෝ අරූපාවචර ධ්‍යානයක පවතින සුන්දර වූත් දැඩිවූත් "ශීලය හා වේදනාව" ආස්වාදය කිරීමට ඇති ඡන්ද රාගය භව රාගයයි.

මෙසේ භවරාගය පවතින ධ්‍යාන ශීලයන්ගේ ආස්වාදයට ඇති ලෝභය, ගිජු කම, ඇලෙන ස්වභාවය භව තණ්හාවයි.

භව රාගය ඇතිවන්නේ වේදනා ස්කන්ධය මතය.

(03) විභව තණ්හාව  

ලෝකයෙන් මිදීම නොහොත් නිවන යන "භවයෙන් නික්මීම යන අදහස (සංඤාව)" ආස්වාදය කිරීමට ඇති ඡන්ද රාගය විභව රාගයයි.

මෙසේ විභවරාගය පවතින අදහස මගින් ගෙනෙන ආස්වාදයට ඇති ලෝභය, ගිජුකම, ඇලෙන ස්වභාවය විභව තණ්හාවයි. 

විභව රාගය ඇතිවන්නේ සංඤා ස්කන්ධය මතය.  


* සැබැවින්ම අරහත්වය තෙක්ම නිවන් දැකීමට ආර්‍යයන් තුල තණ්හාවක් පවතී. මේද විභව තණ්හාවකි. 

අවසානයේ දුකට හේතුව නිරුද්ධයෙන් දුකින් එතෙර වන බවට වන අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගැනීමත් සමග විභව තණ්හාවද අවසන්වේ. 



09 උපාදාන 

තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. 

තණ්හාව යනු කුමක්දැයි දැන් ඔබට අවබෝධව පවතී. සත්වයා තම ඡන්දරාගයට භාජනය වූ ස්කන්ධයන් පරිශීලනය කිරීම නිසා (රූපයක් දැකීම, ශබ්දයක් ඇසීම,... ආදී) ස්පර්ශ අවස්ථාවේදී කෘතිම වූ වේදනාවක් එනම් ආස්වාදයක් (සෝමනස්ස වේදනාවක්) නිර්මාණය වේ. මේ ආස්වාදය කෙරෙහි සිතෙහි ඇතිවන ඇලෙන ස්වභාවය තණ්හාව බැව් අපි උගත්තෙමු. 

තණ්හාව නිසා (ඇලෙන ස්වභාවය නිසා) තමාට ආස්වාදය ලබාදෙන තම ඡන්දරාගයට බඳුන් වූ රූප ස්කන්ධය මත හෝ වේවා, වේදනා ස්කන්ධය මත හෝ වේවා, සංඤා ස්කන්ධය මත හෝ වේවා, සංස්කාර ස්කන්ධය මත හෝ වේවා, විඤ්ඤාණය ස්කන්ධය මත හෝ වේවා ඒ පවතින ඡන්දරාගයෙන් යුතුවම සිත ඇලීයාමක් / තදින් අල්ලා ගැනීමක් සිදුවේ. මේ රාගයෙන් යුතු අල්ලා ගැනීම හෙවත් ඒ ඒ ස්කන්ධය මත ඡන්දරාගයෙන් මත්වූ සිත පිහිටවනු ලැබීම "උපාදානය" නම් වේ. 

මෙහිදී තණ්හාව (ඇලෙන ස්වභාවය) හේතුවෙන් ඇතිවන උපාදානය (ඇලීයාම) බවට පත්වන්නේ ඒ ඒ ස්කන්ධය කෙරෙහි තමා තුල පවතින ඡන්දරාගයයි. මෙසේ ඡන්දරාගය පිහිටවනු ලබන හෙවත් උපාදානයට භාජනය වන ස්කන්ධ පහ, පංච උපාදාන ස්කන්ධය ලෙස හඳුන්වනු ලබයි. 

ඒ අනුව පංච උපාදාන ස්කන්ධයේ උපාදානය ඡන්ද රාගය බවත්, පංච උපාදාන ස්කන්ධය බිහිවන්නේ තණ්හාව ප්‍රත්‍යකොටගෙන බවත් පැහැදිලි වේ. 


* මෙහිදී අප කතා කලේ තණ්හාව ප්‍රත්‍යයෙන් උපදින උපාදානය පිළිබඳවයි. එයට හේතුව ධර්මය තුල "තණ්හාව" යන්නට හෙවත් ඊට හේතු කාරක වන "රාගයට" සුවිශේෂී තැනක් හිමිවීමයි. 

ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිවන වේදනාව ආස්වාදයක් ලෙසට දක්වන්නේත් ඒ තුල පවතින රාගය නිසාය. 

මේ හේතුව නිසා දුක යනු පංච උපාදාන ස්කන්ධය බවත්, දුකට හේතුව තණ්හාව ලෙසත් විස්තර කරන අවස්ථාද ධර්මය තුලදී අපට හමුවේ.  


* එසේ වුවත් පංච ස්කන්ධය තුල වන ස්කන්ධයන් වලට අයත් දෑ කෙරෙහි අපට ද්වේශයද උපදී. එසේම මෝහයද උපදී.

ඡන්ද රාගය යනු යම් යම් දෑ තමාට සැපය උපදවන දෑ ලෙසට රාගයෙන් ගත් විනිශ්චයන් බව අප දනිමු. එනමුත් අප සතුව පවතින තවත් විනිශ්චයන් වර්ග 2ක් පවතී. යම් යම් දෑ තමාට දුක උපදවන දෑ ලෙසට ද්වේශයෙන් ගත් විනිශ්චයන් සේම තමාට උපේක්ෂාව උපදවන දෑ ලෙසට මෝහයෙන් ගත් විනිශ්චයන්ද අප තුල පවතී.  
මේ අනුව ආස්වාදය හෙවත් චෛතසික සෝමනස්සය කෙරෙහි රගයෙන් යුතුව  තණ්හාව ඇතිවන්නා සේම, චෛතසික දෝමනස්සය කෙරෙහි ද්වේශයෙන් යුතුව ගැටීම ඇතිවේ. එසේම චෛතසික උපේක්ෂාව කෙරෙහි මෝහයෙන් යුතුව අවිද්‍යාව ඇතිවේ. 

ඒ අනුව එවැනි අවස්ථාවල පටිච්ච සමුප්පාදයේ ගලායාමද මෙලෙස වෙනස් වේ.  


--> රාගී ස්පර්ශය     -->  සෝමනස්සය -->  තණ්හාව -->  රාගමය උපාදානය 

--> ද්වේශී ස්පර්ශය --> දෝමනස්සය --> ගැටීම --> ද්වේශමය උපාදානය (අධිමෝක්ෂය)

--> මෝහී ස්පර්ශය --> උපේක්ෂාව --> අවිද්‍යා --> මෝහමය උපාදානය (අධිමෝක්ෂය)

         මෙහි අධිමෝක්ෂය යනු අරමුණ විනිශ්චය කරන ස්වභාවයයි. 



  • රාග ස්පර්ශයට බඳුන් වන්නේ ලෝකය තුල ඇති තමන් ප්‍රිය කරන දෑය.
  • ද්වේශ ස්පර්ශයට බඳුන් වන්නේ ලෝකය තුල ඇති තමන් අප්‍රිය කරන දෑය.
  • මෝහ ස්පර්ශයට බඳුන් වන්නේ ලෝකය තුල ඇති විවිධ මිත්‍යා දෘෂ්ටීන්ය.  
 
* එහෙත් මෙම රාගය හා ද්වේශය යන 2 එකම කරුණක දෙපැත්ත වේ.

උදා :-

ද්වේශ සහගත දෙයක් තමාගෙන් ඉවත් වීම සෝමනස්සය ගෙනදේ. 
රාග සහගත දෙයක් තමාගෙන් ඉවත් වීම දෝමනස්සය ගෙනදේ. 

ඒ අනුව ගැටීම තුල ඊට මූල වන කරුණු අහිමි වීම කෙරෙහි තණ්හාව පවතින බව වටහා ගන්න. 

ඒ අනුව තණ්හාව හා ගැටීම යන කරුණු දෙකම "තණ්හාව" යටතට ගැනේ. අවිද්‍යාව යන්න වෙනම කරුණක් සේ සලකනු ලැබේ.



තණ්හාව - කාම, භව, විභව ලෙස 3න් ආකාර වේ.
අවිද්‍යාව  - අන්තවාද, දිට්ඨි ලෙස 2 ආකාර වේ.  


ඒ අනුව පංච උපාදාන ස්කන්ධය තුල ඇති උපාදානයෝ ප්‍රධාන කොටස් 2ක් මගින් මෙසේ ඉදිරිපත් කල හැක. 


(1) තණ්හාමය උපාදානයන් 


(i) කාම උපාදානය 

  • කාම තණ්හාව (ක්ලේශ කාමය) නිසා තමාට කාම ආස්වාදය ලබාදෙන පංච කාම ගුණ (වස්තු කාමයන්) කෙරෙහි කාම රාගය පතුරුවා රාග සිත මගින් ඒවා තදින් අල්ලා ගැනීම කාම උපාදානයයි.
  • මෙහි පංච කාම ගුණ යනු සිත් කළු වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෝ වෙති.
  • එසේම මෙහිදී රූප ස්කන්ධය උපාදානයට ලක් වේ. 
  • එහෙත් කායික ස්පර්ශයෙන් උපදින සැප වේදනාව කෙරෙහිද සත්වයාට ඡන්ද රාගයක් පැවතියද, මෙහිදී වේදනා ස්කන්ධයද උපාදානයට ලක්වේ යැයි නොකියනු ලැබේ. මන්ද ශරීරයට දැනෙන සැබෑ වේදනාවන් මත්තෙහි කාම ආස්වාද ඇති නොවේ. එකී වේදනාව ලබාදෙන ස්පර්ශය කෙරෙහි පමණක් කාම ආස්වාදයන් ඇතිවේ.
  • ඒ ඒ පංච කාම ගුණ පිළිබඳව නිමිතීන් ආදිය කෙරෙහිද ඡන්දරාගය පවතින බැවින් සංඤා ස්කන්ධය මෙහිදී උපාදානයට ලක් වේ. 
  • දැඩි රාගයෙන් (ලෝභය) බහුල පුද්ගලයා විසින් කාම උපාදානය සිදු කරයි. 
  
(ii) සීලබ්බත උපාදානය 

  • භව තණ්හාව නිසා රූප, අරූප භවයන්හි පවතින ආස්වාදය ලබාදෙන, එනම් ඒ ඒ භවයන්හි පවතින මනරම්වූ ශීලයේ ආස්වාදය ලබාදෙන කායික හා මානසික වේදනාවන් කෙරෙහි භව රාගය පතුරුවා අලෝභ / අද්වේශ / අමෝහ සිත මගින් ඒවා තදින් අල්ලා ගැනීම සීලබ්බත උපාදානයයි. 
  • මෙහිදී වේදනා ස්කන්ධය උපාදානයට ලක් වේ.
  • එසේම එම වේදනා පිළිබඳව නිමිති මුල් කරගත් සංඤා ස්කන්ධයද මෙහිදී උපාදානයට ලක් වේ.
  • ද්වේශයේ විරුද්ධ අරුත වන මෛත්‍රීය (අද්වේශය) බහුල පුද්ගලයා විසින් සීලබ්බත උපාදානය සිදු කරයි. 
  • එසේම ලෝකයේ ජීවත් වීමට ද්වේශ කිරීම නිසා හටගත් විභව තණ්හාව නිසාද ලෝකයෙන් මිදීම නම් ආස්වාදය ලබාදෙන සීලබ්බත පරාමාසය (දෘෂ්ටිය) කෙරෙහි විභව විභව රාගය පතුරුවා ද්වේශ සිත මගින් ඒවා තදින් අල්ලා ගැනීමද සීලබ්බත උපාදානයයි. 
  • මේ අවස්ථාවේදී ද්වේශය බහුල පුද්ගලයා විසින් සීලබ්බත උපාදානය සිදු කරයි.   


(2) අවිද්‍යාමය උපාදානයන් 


(i) අන්තවාද උපාදානය

  • අවිද්‍යාව නිසා සෝවාන් නොවූ පුද්ගලයාට සක්කාය දිට්ඨිය පවතී. ඒ අනුව පංච ස්කන්ධය තුල ආත්මයක් පවතී යැයි හෝ, ආත්මය තුල පංච ස්කන්ධය පවතී යැයි හෝ, ආත්මය පංච ස්කන්ධයෙන් හැඩ ගැන්වුනු දෙයක් යැයි හෝ ලෙසට මිත්‍යා දෘෂ්ටීන්හි බැස ගැනීම සිදුවේ. මේ දිට්ඨින්ට අනුව පංච ස්කන්ධය නැසුනද ආත්මය නොනැසේ. මේ ශාශ්වත දෘෂ්ටියයි
  • එසේම පංච ස්කන්ධයම ආත්මයම වේ ලෙසට ගන්නා ලද දෘෂ්ටියක්ද වේ. මේ දෘෂ්ටියට අනුව මරණයේදී ස්කන්ධ විනාශයට පත්වන බැවින් ඒ සමගම ආත්මයද විනාශයට පත්වීමෙන් තමා (ආත්මය) සසරින් මිදේ. මේ උච්ඡේද දෘෂ්ටියයි.
  • මෙසේ ආත්මය පවතී යන දෘෂ්ටිය තුල අවිද්‍යාව පතුරුවා මෝහ සිත මගින් තදින් අල්ලා ගැනීම අන්තවාද උපාදානයයි. 
  • මෙහිදී යම් සිදුවීමක් (ආත්මය) ඇතිවීම හා නැතිවීම යන්න එනම් සංස්කාර ස්කන්ධය උපාදානයට ලක්වේ. 
  • එසේම ආත්මය පංච ස්කන්ධයම වේ ලෙසට හෝ පංච ස්කන්ධය ඇසුරෙන් හෝ ගන්නා බැවින් මෙහිදී පංච ස්කන්ධයම උපාදානය වේ.
  • දැඩි මෝහයෙන් තොර නමුත් අවිද්‍යාව බහුල පුද්ගලයා විසින් අන්තවාද උපාදනාය කරයි.  

(ii) දිට්ඨි උපාදානය

  • අවිද්‍යාව නිසා ඉතා මිත්‍යා දෘෂ්ටිකත්වයට පත් පුද්ගලයා විසින් ලෝකයේ නොපවතින හෝ සිදු නොවන දෑ (අසත්‍යයන්) කෙරෙහි දැඩි මිත්‍යා දෘෂ්ටියකට පත්ව ඒවා ලොව පවතී ලෙසට හෝ ඒවා ලොව සිදුවේ ලෙසට තදින් අල්ලා ගනී. 
  • මෙසේ දැඩි මිත්‍යා දෘෂ්ටීන් තුල අවිද්‍යාව පතුරුවා මෝහ සිත මගින් තදින් අල්ලා ගැනීම දිට්ඨි උපාදානයයි. 
එවැනි දැඩි මිත්‍යා දෘෂ්ටීන්ට උදාහරණ කීපයක් -
  1. දුන් දෙයෙහි විපාක නැත 
  2. ශීලය පූර්ණ කිරීම මගින් සංසාරය කෙලවර කල හැක
  3. මෙලොව යනුවෙන් තැනක් නැත 
  4. පරලොව යනුවෙන් තැනක් නැත
  5. මවු හෝ පියා යනුවෙන් විශේෂිත අය නැත 
  6. ඕපපාතික සත්වයෝ නැත  
  7. මෙලොවද පරලොවද යන්නක් නැත 
  8. තමාගේ විශිෂ්ට වූ ඤාණයෙන් ලොව යථාර්තය දැන අවබෝධයට පත් වූ අය නැත (බුදු වරුන් නැත)
  • මෙහිදී තමා සියල්ල හරියටම දනී ලෙසට තම සිතම උපාදානය සිදුකරයි. එනම් විඤ්ඤාණ ස්කන්ධය උපාදානයට ලක්වේ. 
  • එසේම මේ එක් එක් දිට්ඨීන් කෙරෙහි නිමිතීන්ද උපාදානය කරන නිසා සංඤා ස්කන්ධයද මෙහිදී උපාදාන වේ.
  • ඉතා අධික මෝහයෙන් යුතු අවිද්‍යාව බහුල පුද්ගලයා විසින් දිට්ඨීන් උපාදානය කරයි. 



10 භව

උපාදානය ප්‍රත්‍යයෙන් භවය වේ. 

උපාදානය යනු පංච ස්කන්ධයට අයත් එක් එක් ස්කන්ධය මත රාග සිතක් හෝ ද්වේශ සිතක් හෝ මෝහ සිතක් හෝ පිහිටුවනු ලැබීම බැව් අප උගත්තෙමු. 

රාග හෝ ද්වේශ සිතක් පිහිටුවනු ලැබීම තණ්හා උපාදානය වන බවත්, මෝහ සිතක් පිහිටුවනු ලැබීම අවිද්‍යා උපාදානය වන බවත් දැන් අපට පැහැදිලිය. 

මෙම උපාදාන සිත වූ කලී පංච ස්කන්ධය මත විවිධ දෑ කෙරෙහි විවිධ ලෙසට රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ මෝහයෙන් යුතුව විඤ්ඤාණයක් පිහීටුවීම ලෙසට වැඩි දුරටත් පැවසිය හැකිය. මෙම විඤ්ඤාණය ප්‍රත්‍යයෙන්ද නාම හෝ නාම-රූප යන දෙකම හෝ බිහිවිය හැක. එබැවින් මෙම විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් භවය තුල උපත ලබන කර්ම නාම-රූපයන් ඉපදිය හැකිය. එසේම මෙම විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් මීලඟ උපතට අදාල උප්පත්තියට අවශ්‍ය වන්නා වූ නාම-රූපයන්ද ඉපදිය හැකිය. 

මෙලෙස උපාදානය ප්‍රත්‍යයෙන් කර්ම නාම-රූප හෝ උපප්‍රාප්ති නාම-රූප යන කවරක් හෝ ඉපැද්දවීම පිණිස "සකස්වීම" භවය නම් වේ. 

ඒ අනුව උපාදාන ප්‍රත්‍යයෙන් ඇතිවන භවය මෙලෙස දෙයාකාරයකින් ඉදිරිපත් කල හැකිය.

  1. කර්ම භවය 
  2. උපප්‍රාප්ති භවය  

1 කර්ම භවය 


හැම භවගාමී කර්මයන් ඉපැද්දවීම පිණිස සකස් වීම කර්ම භවයයි. 

උපාදානී විඤ්ඤාණය කුසල එකක් නම් එමගින් කුසල කර්මයන් ඉපැද්දවීම පිණිස විපාක සකස් වේ. එනම් කර්ම භවය ඇති වේ. උපාදානී විඤ්ඤාණය අකුසල එකක් නම් එමගින් අකුසල කර්මයන් ඉපැද්දවීම පිණිස කර්ම භවය වේ. 

මේ උපාදාන ප්‍රත්‍යයෙන් භවය ඇතිවීමයි. 


2 උපප්‍රාප්ති භවය 

උපාදානී විඤ්ඤාණය තණ්හා උපාදානයක් නම් හා එහි පවතින තණ්හාව කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් වේ නම් එමගින් සත්වයාගේ මීලඟ උපත කාම භවයක හෝ රූප / අරූප භවයක හෝ ඉපැද්දවීම පිණිස විපාක සකස්වීම සිදුවේ.

එසේම උපාදානී විඤ්ඤාණය අවිද්‍යා උපාදානයක් නම් එහි පවතින අවිද්‍යාවේ බැසගැනීම ප්‍රත්‍යකොටගෙන දැඩි හා දරුණු විපාක සහිත භවයක ඉපැද්දවීම පිණිස විපාක සකස්වීම ද සිදුවේ.

මේ උපාදාන ප්‍රත්‍යයෙන් උපප්‍රාප්ති භවය ඇතිවීමයි.


* ඒ අනුව මෙම අද්විතීය පටිච්ච සමුප්පාද යාන්ත්‍රණය තුල ඇති සත්වයාට දුක උරුම කරදෙන තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙසට මෙම "උපාදාන ප්‍රත්‍යයෙන් භවය" ඇතිවීම සැලකිය හැකිය.  

ආයුෂ අවසාන වීමෙන් මරණයට පත්වන සත්වයාට අවසාන සිත තුල උපාදානයක් නොපැවතියේ නම් එම සත්වයාට ඉන් මතු අනාගතය උදෙසා කිසිඳු ආකාරයක පැවැත්මක් පිණිස කරුණු (උපප්‍රාප්ති භව) සකස්වීමක් සිදු නොවේ. 

මේ අයුරින් රහත්හු ලෝකයේ උපාදාන ක්ෂය කිරීමෙන් භවය සංසිඳුවන ලදී.



11 ජාතී 

භව ප්‍රත්‍යයෙන් ජාති වේ.

(i) උපප්‍රාප්ති ජාතී 


උපප්‍රාප්ති භව ඇතිවීම නිසා යම් කාම භවයක, රූප භවයක හෝ අරූප භවයක යම් ජාතියක් යටතේ උපත ලබයි. මේ උපප්‍රාප්ති භව ප්‍රත්‍යයෙන් ජාතීන් ඇතිවීමයි.

උදා :- කාම භව ප්‍රත්‍යයෙන් මරණින් මතු කාම ලෝකයන්ට අයත් වන තිරිසන් ලෝකයේ යමෙක් ඉපදීම 




(ii) කර්ම ජාතී 


කර්ම භව ඇතිවීම නිසා කුසල කර්ම හා අකුසල කර්ම විපාක සිත් උපදීම සිදුවේ. ඒ අනුව 
  • කුසල සිත් (කාම, රූප, අරූප කුසල් සිත්)
  • අකුසල් සිත් (කාම අකුසල් සිත්)
යන විපාක සිත් යම් ජාතියක් යටතේ උපදීම සිදුවේ. මේ කර්ම භව ප්‍රත්‍යයෙන් ජාතීන් ඇතිවීමයි. 

උදා :- කුසල කර්ම භවයක් ප්‍රත්‍යයෙන් කුසල ජාතියක් වන අලෝභ විපාක සිතක් උපදීම

මෙය සිදුවන්නේ "දන් දීම හෙවත් අලෝභය" යන්න තමාට ප්‍රිය උපදවන්නක් ලෙසට ගත් ඡන්ද රාගය නිසා දන් දීමේ ක්‍රියා (සංස්කාර ස්කන්ධය) උපාදානය කිරීමට ලක් වීමත්, එසේ එම උපාදානය ප්‍රත්‍යයෙන් කුසල කර්ම භවයක් ඇති වී ඉන් පසු අනාගතයේ යම් අවස්තාවක එම කර්ම භවය විපාක ලැබීම සිදුවේ. එනම් අලෝභ කුසලයේ විපාකය ලැබීම සිදුවේ. ඒ අනුව විපාකය වශයෙන් අලෝභ කුසල සිතක් උපත ලැබීම සිදුවේ. 

මෙහිදී අලෝභ කුසල විපාක සිතක් ඇතිවන අවස්ථාවකට උදාහරණයක් ලෙස දුප්පත් මනුස්සයෙකු හට යම් මුදලක් පරිත්‍යාග කිරීමේ විපාක සිතක් ඇතිවීම ගත හැකිය. 

උදා :- අකුසල කර්ම භවයක් ප්‍රත්‍යයෙන් අකුසල ජාතියක් වන ද්වේශ විපාක සිතක් උපදීම.

මෙහිදී අකුසල විපාක වශයෙන් පහර කෑමකට ලක්වන මිනිසකුට ඒ කායික වේදනාව මත්තෙහි ද්වේශ සිතක් උපදීම අකුසල කර්ම භවයක විපාකය උපදීමකි.



12 ජරා - මරණ  

ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ.

සත්වයා යම් භවයක උපත ලබන විට එනම් ප්‍රතිසන්ධියේදී උපප්‍රාප්ති භවය ප්‍රත්‍යයෙන් එම භවයට අදාල ජාතියක උපත ලබයි. මෙහිදී එම භවයට අනුරූපි ලක්ෂණ සහිත නාම-රූපයන් විඤ්ඤාණය සමග (පංච ස්කන්ධය) පහල වීම සිදුවේ.

ඉන්පසු මෙම පහල වූ ස්කන්ධයෝ එකී භවයේ අයුෂ වලට අනුරූප වන පරිදි ක්‍රමයෙන් වැඩී ඉන්පසු ක්ෂය වීමට ලක්වේ. මෙම ආයුෂ සමග සිදු වන ක්ෂය වීමට අමතරව විවිධ ලෙඩ රෝග හෝ අනතුරු නිසාද ක්ෂය වී යාම සිදුවේ. 

මෙසේ යම් ජාතියක උපත ලද සත්වයාගේ රූපය ක්ෂය වී ජරාවට පත්වේ. එහිදී හම රැලි වැටීම, හිසකෙස් ගැලවී යාම, හිසකෙස් සුදු වීම, තරුණ පෙනුම මහලු බාවයට පත්වීම ආදිය රූප ස්කන්ධයේ සිදුවන ජරාවට පත්වීම සේ ගත හැකිය.



සංවේදීතාව දුර්වල වීම, හිරිවැටීම, ස්නායු අඩපණ වීම මගින් වේදනා ස්කන්ධයද ජරාවට පත්වේ.

මතක ශක්තිය නැතිවී යාම, වැරදි ලෙසට විවිධ දේ හඳුනා ගැනීම ආදිය මගින් සංඤා ස්කන්ධයද ජරාවට පත්වේ.

චිත්තමය හැකියාවල මෙන්ම සිදුවන දුර්වලතාද වයස්ගත වන විට සිදුවන බැවින් සංස්කාර, විඤ්ඤාණ ස්කන්ධද තාරුණ්‍ය සමයේ මෙන් නොවී දුර්වලව ජරාවට පත්වේ.

මේ උපප්‍රාප්ති භවය නිසා උපන් ජාතියේ ජරාවීමයි.


එසේම භවය රැගෙන යාම පිණිස උපදින භවගාමී කර්මයෝද ජරාවට පත්වේ. එනම් කර්ම භව ප්‍රත්‍යයෙන් උපදින කර්මයෝද කර්ම ගෙවීමත් සමග ශක්තියෙන් හීන වී වියැකී යයි.

උදාහරණ ලෙස කුසල කර්ම විපාකයක් නිසා තරුණ වියේදී ධනවත්ව සිටි අයෙක් කාලය ගෙවෙත්ම අදාල කුසල කර්මය ගෙවීයාමෙන් දුප්පත් බවට පත්වීම ගතහැකිය.



මේ කර්ම භවයන් නිසා උපන් ජාතීන් හි ජරාවීමයි.



මෙසේ ජාති ප්‍රත්‍යයෙන් ජරාවට පත්වීම සිදුවේ. ජරාවට පත්වන දෑ අවසානයේ එහි පරම්පරානුගත ඉපදීම නැවතීම සිදුකරයි.

මේ අනුව යම් ජාතියකට අදාලව පහලවූ සත්වයාගේ පංච ස්කන්ධය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගොස් අවසානයේ එම ජාතියට අනුරූප වන ලෙසින් උපදීම නතර වීම සිදුවේ. මෙහිදී රූප ස්කන්ධයේ වියැකී යාම ඉතා පැහැදිලිව අධ්‍යනය කල හැකිය.

උදාහරණ ලෙස පොදුවේ සත්වයෝ වයසට යන අතර ආයුෂ කෙලවර වීමෙන් පසු එම ජාතියේ ස්කන්ධ පහල වීම නතර වේ. මෙය ජරා නිසා මරණ ඇතිවීමයි. 




* නමුත් මරණය මගින් එකී සත්වයාගේ පංච ස්කන්ධයන් පහල වීම නතර නොවන බව මතක තබා ගන්න. මරණය මගින් නතර වනුයේ එම ජාතියට අදාල පංච ස්කන්ධ පහල වීම පමණි.   
  

13 ශෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාස 

ප්‍රියයන්ගේ ජරාව හෝ මරණය වූ කලී දුක් උපදවන්නකි. තමාට ප්‍රියවූ යම් පුද්ගලයෙකු හෝ තමා සතු සම්පතක් හෝ ජරාවට පත්වීම හෝ මරණයට පත්වීම දුකකි. 


මෙසේ ප්‍රිය දෑ වින්දනයෙහි ලා ඇති තණ්හාවම නිසාම සත්වයෝ සංසාරය පුරාම සිය ඡන්දරාගය පැතිරී පවතින දෑ (උපාදානයන්) සොයමින් දිවයයි. එක් පලතුරු ගෙඩියකට තරඟ කරන ලෙහෙනුන් රැලක් හට මෙන් උපාදාන ලබාගැනීමේ ඇති දැඩි තරඟය නිසාම බොහෝවිටදී ඒවා නොලැබෙත්. එසේ ප්‍රියදෑ නොලැබීම නිසා සත්වයා එහි දුකට පත්වේ. 

තවත් විටක කුසල කර්ම මත ඒ සොයන්නාවූ දෑ ලබාගැනීමට හැකියාව ලැබෙත්. එහෙත් සංස්කාරයන්හි පවතින දැඩි අවිනිශ්චිත බව නිසාම ඒ ලබාගත් දෑ යම් මොහොතක තමාගෙන් ගිලිහී යයිදෝ යන බයෙන් යුතුව සිටීමට සත්වයාට සිදුවේ. මන්ද ඒ ප්‍රිය දෙය ලබාගත්තද තම ඡන්දරාගය අවසන් නොවන බැවිනි. එහියින් ප්‍රිය දෑ අත්පත් කරගත්තද සත්වයා දුකට පත්වේ.

තවත් විටක තමා සතුවූ ඒ ප්‍රිය වස්තුව තමා කෙරෙන් ගිලිහී යයි. එහිදී සත්වයා විපරිණාමය නිසා දුකට පත්වේ. 

ඡන්දරාගය නිසා සත්වයෝ සෑම මොහොතේම දැවෙමින් සංසාරගත දුක් ගින්නක සිරවී සිටින සැටි කෙතරම් ඛේදනීයදැයි දැන් ඔබට වැටහෙනවා ඇති. 

ප්‍රඤාවන්තයෝම පමණක් මේ සත්‍ය අවබෝධ කරන්නෝය.  


පටිච්ච සමුප්පාදය මෙතැනින් නිමි !



පරිහරණයට ත්‍රිපිටකය  


පටිච්ච සමුප්පාදය
 
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි - 6-8] 
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - ප‍්‍රත්‍යචතුෂ්ක - 370]

අකුසල පටිච්ච සමුප්පාදය 
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - ප‍්‍රත්‍යචතුෂ්ක - 370 - 394] 

කුසල පටිච්ච සමුප්පාදය
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - ප‍්‍රත්‍යචතුෂ්ක - 395 - 403]

අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය - කුසල 
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - ප‍්‍රත්‍යචතුෂ්ක - 404 -416]

අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය - අකුසල
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - ප‍්‍රත්‍යචතුෂ්ක - 418 - 420]

අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය - ක‍්‍රියා
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - ප‍්‍රත්‍යචතුෂ්ක - 422-428]

අවිද්‍යාව 
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුක්තය - ධම්මකථික වර්ගය - අවිජ්ජා සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - ධම්මචක්කපවත්තන වර්ගය - අවිජ්ජා සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - බන්ධ සංයුක්තය - අවිජ්ජා වර්ගය - පඨම සමුදය සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - බන්ධ වර්ගය - රාධ සංයුක්තය - පඨම මාර වර්ගය - සෝතාපන්න සූත‍්‍රය] 

සංස්කාරය
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - පපාත වර්ගය - පපාත සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - අට්ඨක නිපාතය - චාපාල වර්ගය - භූමිචාල සූත‍්‍රය] 
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - සචිත්ත වර්ගය - ගිරිමානන්ද සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - අංග ඤසූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - මුඤ්චිතුකම්‍යතා ඤානය] 
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඉන්ද්‍රිය කථා - ඉන්ද්‍රිය සමාධනය]                      
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - පපාත වර්ගය - පපාත සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - 6 දුක්ඛ වර්ගය - පරිවීමංසන සූත‍්‍රය] 
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - චිත්ත සංයුක්තය - දුතීය කාමභූ සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - 34 නිරෝධසමාපත්ති ඤණය] 
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - බ‍්‍රාහ්මණ වර්ගය - සංගාරව සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ආනාපාන සංයුක්තය - එකධම්ම වර්ගය - එකධම්ම සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - පුග්ගල වර්ගය - 3.1.3.3]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - චතුක්ක නිපාතය - සඤ්චේතනීය වර්ගය - සඤ්චේතනා සූත‍්‍රය]

විඤ්ඤාණ
[ත‍්‍රිපිටකය- සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුක්තය - 4 කළාරඛත්තිය වර්ගය - චේතනා සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - මජ්ජිම නිකාය - මූල පන්නාසකය - චූල යමක වර්ගය - මහා වේදල්ල සූත‍්‍රය]

නාම රූප
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - 7 මහා වර්ගය - නගර සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - මොළියඵග්ගුන සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 13]
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - 373]

සලායතන
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - මොළියඵග්ගුන සූත‍්‍රය]

ස්පර්ශය 
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡුක්ක නිපාතය - මහා වර්ගය - නිබ්බෙධික සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - විභංග සූත‍්‍රය]  
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය -  මොළියඵග්ගුන සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - උදාන පාළි - මුචලින්ද වර්ගය - සත්කාර සූත‍්‍රය] 
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - අෂ්ටම භූමි - 3 වන ෙඡ්දය] 
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - සුත්ත නිපාතය - අට්ඨක වර්ගය - කලහවිවාද සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - උදාන පාළි - නන්ද වර්ගය - කොලිත සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය -   අඤ්ඤතිත්ථිය සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය- සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුක්තය - 5 ගහපති වර්ගය - ඤාතික සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡුක්ක නිපාතය - මහා වර්ගය - සොණ සූත‍්‍රය]
[විනය පිටකය - මහාවග්ගපාළිය - චම්මක්ඛන්ධකය - 31]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - රථකාර වර්ගය - 3.1.2.6]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - ථෙරගාථා පාළි - දුක නිපාතය - වල්ලිය ස්ථවිරගාථා]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය - විචයහාරවිභංගය - 10]
[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 1 චිත්තොත්පාදකාණ්ඩය - පඨමං චිත්තං - පදභාජනීයං]
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය - පටිච්ච සමුප්පාද විභංගය - 393]
[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 2 රූප කාණ්ඩය - ද්විකය - වස්තු දුක / ආලම්බන දුක]
[පට්ඨාන මහා ප‍්‍රකරණය - තෘතීය මුද්‍රණය - රේරුකානේ චන්දවිමල හිමි - 64 පිටු අග]
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 1 - ධාතු විභංගය - 262]

වේදනා
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - නිදාන වර්ගය - අභිසමය සංයුත්තය - කළාර සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - වේදනා සංයුක්තය - සගාථා වර්ගය - පහාන සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉන්ද්‍රිය සංයුක්තය - සුඛින්ද්‍රිය වර්ගය තතිය විභංග සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - සුත්ත නිපාතය - අට්ඨක වර්ගය - කලහවිවාද සූත‍්‍රය]

තණ්හා 
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - ථෙරගාථා පාළි - චුද්දස නිපාතය - ගෝදත්ත ස්ථවිර ගාථා]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - ජම්බුඛාදක සංයුක්තය - තණ්හා සූත‍්‍රය]
[ත‍්‍රිපිටකය - සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - මග්ග සංයුක්තය -  ඕඝ වර්ගය - ඕඝ සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය -  ඕතරණහාරවිභංගය-1]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 12 - 13]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - භව - විභව දිට්ඨි]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - ආස්වාද දිට්ඨිය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - ශ‍්‍රැතමය ඤාණය - සමුදයසච්චනිද්දේස]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - බ‍්‍රහ්මණ වර්ගය - තිකණ්ණ සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - සච්ච සංයුක්තය - ධම්මචක්කපවත්තන වර්ගය - ධම්මචක්කපවත්තන සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 13]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - ථෙරගාථා පාළි - චුද්දස නිපාතය - ගෝදත්ත ස්ථවිර ගාථා]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - සුත්ත නිපාතය - අට්ඨක වර්ගය - කලහවිවාද සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - ශ‍්‍රැතමය ඤාණය - සමුදයසච්චනිද්දේස]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - දුක නිපාතය - සමචිත්ත වර්ගය - 2.1.4.6.]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - පඤ්චම භූමි - 13]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - චතුක්ක නිපාතය - භණ්ඩගාම වර්ගය - යොග සූත‍්‍රය]
[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 3 නික්ෂේප කාණ්ඩය - දුක නිර්දේශය - ආසවගොච්ඡුකය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - ධම්මපද පාළි - ප‍්‍රිය වර්ගය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - ධම්මපද පාළි - තෘෂ්ණා වර්ගය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - ඉතිවුත්තකපාළි - තික නිපාතය - පඨම වර්ගය - දෙවැනි වේදනා සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 12 - 11]

උපාදාන
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 12 - 11]
[අභිධර්ම පිටකය - ධම්මසංගණීප‍්‍රකරණය - 3 නික්ෂේප කාණ්ඩය - දුක නිර්දේශය - උපාදානගොච්ඡුකය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - ජම්බුඛාදක සංයුක්තය - උපාදාන සූත‍්‍රය]
[අභිධර්ම පිටකය - යමක ප‍්‍රකරණය - 7 අනුශය යමකය - 1 අනුසයවාර]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය - ආවට්ටහාරවිභංගය - 1]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - නයසමුට්ඨානය - 14 වන ෙඡ්දය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - නයසමුට්ඨානය - 16 වන ෙඡ්දය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - අෂ්ටම භූමි - 2 වන ෙඡ්දය]
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - වේදනා සංයුක්තය - සගාථා වර්ගය - සල්ල සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - පඤ්චම භූමි - 13]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ආනන්ද වර්ගය - දුතීයභව සූත‍්‍රය]
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 1 - සත්‍ය විභංගය - දුක්ඛ සමුදය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - දිට්ඨි කථා - ආත්මානු දිට්ඨිය]

භව
[සූත‍්‍ර පිටකය - සංයුත්ත නිකාය - සළායතන වර්ගය - ජම්බුඛාදක සංයුක්තය - භව සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය - පඤ්ඤත්තිහාරවිභංගය]
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - ඡුක්ක නිපාතය - මහා වර්ගය - නිබ්බෙධික සූත‍්‍රය]

චේතනාව
[පට්ඨාන මහා ප‍්‍රකරණය - තෘතීය මුද්‍රණය - රේරුකානේ චන්දවිමල හිමි - 61-65 පිටු]

අකුසල මූල හා කුසල මූල 

[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - සප්තම භූමි - 8]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - ෂෂ්ඨ භූමි - 6-16]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - තෘතීය භූමි - (7) - (9)] 
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - මහා වර්ගය - අකුසලමූල සූත‍්‍රය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - නෙත්තිප්පකරණ - පටිනිද්දේසවාරය - ආවට්ටහාරවිභංගය]
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පෙටකොපදෙශ - තෘතීය භූමි - 1 සිට 10]
[අභිධර්ම පිටකය - විභංගප‍්‍රකරණය 2 - බුද්දකවත්ථු විභංගය - 913]

භවාංග සිත  
[සූත‍්‍ර පිටකය - අංගුත්තර නිකාය - එකක නිපාතය - ශුක වර්ගය - 9]

අව්‍යාකෘත යන්න විස්තර වේ 
[සූත‍්‍ර පිටකය - බුද්දක නිකාය - පටිසම්භිදාමග්ගප්පකරණ - මහා වර්ගය - ඤාණකථා - 19 ධර්මනානාත්ව ඤණය]


Comments

  1. Why casinos are rigged - Hertzaman - The Herald
    In the UK, casino 메이피로출장마사지 games are rigged and there is https://deccasino.com/review/merit-casino/ evidence of fraud, crime งานออนไลน์ or disorder or poormansguidetocasinogambling.com an individual's 바카라 사이트 involvement. There are also many

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

1. සලායතන - සෝවාන් වීම පිණිස

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස